×

ගෝලීය කොවිඩ් මරණ ගණන මිලියන භාගය ඉක්මවයි- දෙවැනි රැල්ල කඩිනමින්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොව පුරා මේ වන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා ගියේය.


ඒ, ඇමරිකානු වේලාවෙන් ඊයේ රාත්‍රි 10 වන විට ගෝලීය මරණ සංඛ්‍යාව 500,108 දක්වා ඉහළ යාම මගිනි.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි. එම මරණ ගණන 125,000 කට අධික ය. දෙවැනි වැඩිම මරණ ගණන බ්‍රසීලයෙනි. එම මරණ සංඛ්‍යාව 57,000 ඉක්මවයි. එක්සත් රාජධානිය මේ වන විට අවම වශයෙන් මරණ 43,000 ක් වාර්තා කරන්නේ කොවිඩ් වසංගතයෙන් ලෝකයේ 3 වැනියට වැඩිම මරණ ගණන වාර්තා කරමිනි.

කෙසේ වෙතත් ලියාපදිංචි වී ඇති මරණ ගණන අනුව ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ එක්සත් රාජධානියේ කොවිඩ් හේතුවෙන් සිදුව ඇති සත්‍ය මරණ සංඛ්‍යාව මෙයට වඩා 10,000 ක් පමණ අධික විය යුතු බවයි.

අද (29) දිනයේ එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් පවසා තිබෙන්නේ වසංගතය අවසන් යැයි නොසිතන ලෙසයි. එනම්, ලොක්ඩවුන් නීතිරීතිවලට (සමාජ දුරස්ථකරණ නීති) වලට දැඩි ලෙස අවනත විය යුතු බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ලොව පුරා හිස එසවූ මෙම ගෝලීය වසංගතයට ගොදුරු වූ ලෝක ජනගහනය මේ වන විට මිලියන 10 ඉක්මවා ගොස් ඇත.

2020 ජූනි මාසයේ දෙවැනි සතියේදී බ්‍රසීලයේ සුසාන භූමියක දසුනක්

දෙවැනි රැල්ලට අප සූදානම්ද?

මේ අතර දෙවැනි කොවිඩ් වසංගත රැල්ලක් පිළිබඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් දැඩි අනතුරු ඇඟවීමක් කරති. ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ ප්‍රකාශ කර තිබුණේ මෙම දෙවැනි කොවිඩ් රැල්ල, පළමු රැල්ලට ද වඩා බෙහෙවින් භයානක විය හැකි බවයි. කොරෝනා දෙවැනි රැල්ලනේ මිලියන ගණනක් මිය යා හැකියි – ලෝක සෞඛ්‍ය සංවිධානය

ඒ අනුව ලොක්ඩවුන් තත්වය අඩු කිරීම කොයි තරම් දුරට යෝග්‍ය වේ ද යන්න පිළිබඳ පවතින්නේ අවිනිශ්චිතතාවයකි. නමුත් මෙයට සාපේක්ෂව ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම්වලට මේ වන විටත් එල්ල වී තිබෙන්නේ මරු පහරකි.

යුරෝපයේ ලොක්ඩවුන් තත්වයට පිවිසි පළමු රට වන්නේ ඉතාලියයි. නමුත් එවැනි තත්වයක් තුළ පවා එරට ජනගහනයෙන් 34,716 දෙනෙකු මිය ගොස් තිබේ. ස්පාඤ්ඤයේ ද 28,341 දෙනෙක් මරණයට පත් වූයේ දැඩි ලොක්ඩවුන් තත්වයක් පවතින අතරවාරයේම ය. ප්‍රංශයෙන් ද මරණ 29,778 ක් වාර්තා විය.

මේ අතර මාර්තු මාසයේදී මහා පරිමාණයෙන් රෝග පරීක්ෂාවන් සිදුකිරීම සාර්ථක කර ගත් ජර්මනිය, සෙසු යුරෝපා රටවලට වඩා සිය ජනතාවගේ ජීවිත බේරාගැනීමට සමත් විය. ඒ අනුව මරණ සංඛ්‍යාව 10,000 ක් ලෙස පවත්වාගැනීමට මේ වන විට ජර්මනියට හැකි වී තිබේ.

අසල්වැසි ඉන්දියාවේ ලක්ෂ 5කට අධික කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර, මරණ 16,000 ක් වාර්තා වේ.

වසංගතය සාර්ථක ලෙස පාලනය කර ගත නොහැකිව මේ වන විට මෝදි රජය දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවට ද වාර්තා තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි