×

ගෝලීය කොවිඩ් රෝගීන් ගණන මිලියන 1.6 ඉක්මවා යද්දී ඇමරිකාව 1948 මහා උද්ධමන සමය වෙත – අද කොවිඩ්-19 ලෝක සිතියම

පහත දැක්වෙන්නේ ගෙවී ගිය පැය 24 ඇතුළත කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලෝක සිතියම තුළ සිදුව ඇති වෙනස්කම් පිළිබඳ සමාලෝචනයකි.


ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවයි!

අද දිනය ගෝලීය වසංගතයේ අඳුරු කඩඉමක් සලකුණු කරන්නේ ගෝලීය ආසාදන සංඛ්‍යාව මිලියන 1.5 හෙවත් ලක්ෂ 15 සීමාව ඉක්මවා යාම හේතුවෙනි.

මෙය ලක්ෂය හෙවත් මිලියන 1 සීමාව පසු කළේ අප්‍රේල් 3 වැනිදා ය. ඒ අනුව සතියක් ඇතුළත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන භාගයකින් වැඩි වී තිබේ.

වසංගතයේ තත්වය දෛනිකව සිතියම්ගත කරන ජෝන් හොජ්කින්ස් සරසවියේ නිල දත්තවලට අනුව මේ වන විට ගෝලීය කොරෝනා ආසාදන ගණන 1,601,984 කි. ඇමරිකාවෙන් ඉහළම ආසාදියන්ගේ සංඛ්‍යාව වන 440,000 වාර්තා වේ.

ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව අද වන විට සටහන් වන්නේ 96,788 ක් ලෙස ය.

එක්සත් රාජධානියේ කොවිඩ් මරණ ගණන 7,978 සලකුණු කරයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, සිව්වැනි දිනයටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස්ථාවර සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සමත්වුවත් එක්සත් රාජධානිය දිනෙන් දින රෝගී වෙමින් තිබේ.

මේ වන විට එක්සත් රාජධානියේ 243,421 ක පමණ ජනතාවක් කොවිඩ්-19 සඳහා පරීක්ෂාවන්ට ලක්ව ඇත. ඔවුන්ගෙන් 65,077 ක් දෙනා කොවිඩ්-19 පොසිටිව් බව සොයා ගැනිණි. රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත ව ඇති පිරිස 16,784 කි.

වෛරසය ශරීරගතව ප්‍රතිකාර ලබමින් සිටි අය අතරින් ගතවූ පැය 24 ඇතුළත 881 දෙනෙක් මරණයට පත් වූහ. ඒ අනුව අද දිනය වන විට එක්සත් රාජධානියේ කොවිඩ් මරණ ගණන 7,978ක් ලෙස සටහන් වේ.

ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ පළමු ගොදුර තරුණ පරපුරයි!

ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ ගොදුරු බවට පත්වූවන්ගෙන් 47%ක්ම වයස අවුරුදු 40 ට අඩු අය බව හෙළිදරව් වූයේ, කොරෝනා වෛරසයට ගොදුරු වන්නේ වයස අවුරුදු 60ට වැඩි අය ය යන ගෝලීය මතය මිත්‍යාවක් බවට පත් කරමිනි. මේ පිළිබඳ සම්පූර්ණ ලිපිය මෙතැනින් කියවන්න…

ඇමරිකාව 1948 යුගය වෙත ආපසු යයි!

මේ වන විට බටහිර අර්ධගෝලයේ කොවිඩ් අපිකෙන්ද්‍රය බවට පත්ව තිබෙන්නේ ඇමරිකාවයි. මේ වන විට වැඩිම ආසාදියන් සංඛ්‍යාව වාර්තා වන්නේ ද ඇමරිකාවෙනි.

මෙහි සමාජයීය බලපෑමක් වශයෙන් බොහෝ දෙනෙකුට සිය රැකියාවන් අහිමි වී ඇති අතර, ගතවූ සතිය තුළ පමණක් ලියාපදිංචි රැකියා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව මිලියන 6.6 ක් විය.

මේ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානු ආර්ථිකය ශුන්‍යයක් දක්වා කඩා වැටෙමින් සිටියදී, ගතවූ සති 3 තුළ විරැකියාවෙන් පෙළෙන්නන් සංඛ්‍යාව මිලියන 16 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අන්දමින් විරැකියාව ඉහළ යන විට, ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්ය පටිපාටිය අනුව ඔවුන්ට රජයෙන් ලබාදෙන ‘විරැකියා ප්‍රතිලාභ‘ (unemployment benefits) සඳහා ඉල්ලුම් කළ හැක. ආර්ථික විශේෂඥයන් පවසන්නේ අප්‍රේල් 4 වැනිදායින් අවසන් වන මේ සතිය අග වනවිට ඇමරිකානුවන් මිලියන 5.25 ක් ඒ සඳහා ඉල්ලුම් කරනු ඇති බවයි. ඒ අනුව ඇමරිකානු ආර්ථිකයට ඔවුන්ට ප්‍රතිලාභ සැලසීමේ බර ද දරාගැනීමට සිදු වනු ඇත.

අලුත්ම වාර්තාවලට අනුව ගතවූ සති 3 ක කාලය තුළ සෑම ඇමරිකානුවන් 10 දෙනෙකුගෙන්ම එක් අයෙකුට සිය රැකියාව අහිමි වී තිබේ. මෙය ඇමරිකානු ආර්ථිකය 1948 වසර දක්වා ආපස්සට ඇදගෙන යාමකි. එම කාලයේ ඇති වූ මහා උද්ධමනය පුරා සති 44 ක් එනම් මාස 10කට අධික කාලයක් පැවති අතර, එහිදී උද්ගත වූ විරැකියාවේ ප්‍රමාණයම, මෙවර සති 3 ක් ඇතුළත ඇති වී තිබේ.

ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ ගණන 15,000 පන්නයි!

ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 ඇතුළත වාර්තා වන කොවිඩ් මරණ ගණන 740 සිට 683 දක්වා පහළ බැස ඇතත්, සම්පූර්ණ මරණ ගණන 15,000 සීමාව ඉක්මවා ගියේය. අද වන විට ස්පාඤ්ඤයේ සම්පූර්ණ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 152,336 ක් වන අතර, මරණ ගණන 15,238 කි.

කෙසේ නමුත් මීට පෙර ද අප සඳහන් කළ පරිදි මේ වන විට වෛරසයට ගොදුරු වීමේ වේගය අඩු වී තිබේ. මාර්තු අග භාගයේදී නව ආසාදිතයන් හමුවීමේ වේගය 12%ක් වූ අතර, මාර්තු මැද භාගයේදී එය 20%ක් විය. නමුත් මේ වන විට එය 3.9% දක්වා අඩු වී තිබේ.

ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චැස් මෙසේ කියයි. ‘‘ඇති වූ ගින්න පාලනය වීම ආරම්භ වී තිබෙනවා. වෛරසයට එරෙහි මේ යුද්ධය ජය ගැනීම සම්පූර්ණ ජයග්‍රහණයක් වේවි..‘‘

ඉතාලියේ 610ක් මිය යයි.

ඉතාලියේ කොරෝනා වෛරස් ආසාදිතයන් හමුවීමේ වක්‍රය පසුගිය දින කිහිපය තුළ පැතලි වී තිබූ නමුත්, ගතවූ පැය 24 ඇතුළත නැවතත්, රෝගීන් 610 ක් දෙනා මිය ගොස් තිබේ. එය පෙර දිනයට වඩා මරණ 68 ක වැඩි වීමකි. නිල දත්තවලට අනුව නව ආසාදනයන් ද 1.7%කින් ඉහළ ගොස් තිබේ.

මේ වන විට ඉතාලියේ තහවුරු කර ගත් රෝගීන් 143,626 ක් සිටින අතර, එයින් 8,279 මිය ගොස් ඇත. සුවපත් වූ සංඛ්‍යාව 28,470 කි.

ඉතාලියේ ලොක්ඩවුන් තත්වය අප්‍රේල් 13 දා ඉවත් කිරීමට නියමිත ව තිබූ නමුත්, දැනට පවතින තත්වය අනුව එය තවත් සති 2 කින් දීර්ඝ කිරීමට නියමිත ය.

ඔස්ට්‍රේලියාවට කොරෝනා බෝ කළ නෞකාවේ කළු පෙට්ටිය පොලිස් අත්අඩංගුවට

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් වසංගතයට වැඩිම දායකත්වය ලබා දී තිබුණේ, කොවිඩ් පරීක්ෂාවන්ට ලක් නොකර මගීන් 2,700 දෙනා රට තුළට යැවූ නෞකාවක් නිසා ය. එහි නම ‘රූබි ප්‍රින්සස්‘ ය.

මෙහි ගමන් ගත් මගීන්ගෙන් සිය ගණනක් පසුව පොසිටිව් තත්වයට පත්වූ අතර, 15 දෙනෙක් මිය ගියහ. මේ ප්‍රමාණය, ඔස්ට්‍රේලියාවෙන් අද දක්වා වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව වන 51 න් කාලකට ද වඩා අධික ය.

දකුණු දිග සිඩ්නි වරායේ නැංගුරම් ලා තිබූ මෙම නෞකාවේ කළු පෙට්ටිය මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, කපිතාන්වරයා ව ප්‍රශ්න කෙරෙමින් පවතියි.

චීනයෙන් නැවතත් අලුත් රෝගීන් හමුවෙයි

චීනයෙන් ඊයේ දිනයේ නව රෝගීන් 42 දෙනෙකු හමු වූ අතර, ඔවුන්ගෙන් 38 දෙනෙකු විදේශවල සිට සිය මව්රට බලා පැමිණි චීන ජාතිකයන් ය. මේ වනවිට පොසිටිව් තත්වයේ සිටින නව රෝගීන් 1169 ක් ද දැඩි අධීක්ෂණය යටතේ සිටිති. චීනයේ ආසාදන සංඛ්‍යාව 81,907 ක් වූ අතර, මරණ 3,336 ක් ලෙස නතර වී තිබේ. නමුත් තවමත්, දිනකට රෝගීන් 60කට අධික පිරිසක් හමුවෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි