×

චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නියුමෝනියා රෝගයක් – ආසියාව සීරුවෙන්

චීන ජාතිකයන් අතර හඳුනා නොගත් නිව්මෝනියා රෝගයක් පැතිරෙමින් තිබෙන බවත්, චීන සංක්‍රමණිකයන් සහිත ආසියාතික රටවල් මේ වන විට ඒ පිළිබඳ අවධානයෙන් පසුවන බවටත් CNN පුවත් සේවය වාර්තා කරයි.


මෙම නිව්මෝනියා තත්වයට සමාන මෙම ශ්වසන රෝගය මාරාන්තික ‘සාර්ස්‘ (SARS) (නතුකරගත් තීව්‍ර ශ්වසන සහලක්ෂණය) බවට සැක පළ වේ.

වයිරස් රෝගයක් වන මෙය, මධ්‍යම චීනයේ වුහාන් පළාතෙන් මුල් වරට වාර්තා විය. රෝගීන් 59 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර, එයින් 7 දෙනෙකු බරපතළ තත්වයේ පසු වන බව වුහාන් නාගරික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කරයි.

එසේම චීනයේ වුහාන් හි මස් සහ සතුන් විකුණන අපිරිසිදු විවෘත වෙළඳපොළක් ආශ්‍රිතව මෙම රෝගීන් පිළිබඳව වාර්තා වී ඇති බව ද සඳහන් ය. මේ අනුව, මෙය සතුන්ගෙන් මිනිසුන්ට බෝවන රෝගයක් බවට සැක පළ කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)පවසන්නේ මෙය සාර්ස් රෝගය දැයි නිශ්චිතවම තහවුරු වී නොමැති බවයි. නමුත් මෙවැනි තත්වයක් හටගෙන ඇති බව එය තහවුරු කරයි.

හුස්ම ගැනීමේ අපහසුතා මෙහිදී දැකගත හැකි වන අතර, පෙණහළුවල කුඩා තුවාළ ද ඇති වේ.

සාර්ස් නිසා මරණ 774 ක්

2002 වසරේදී ලොව පුර රටවල් 37 ක් තුළ පැතිරී ගිය සාර්ස් රෝගය හටගත්තේ ද චීනයෙනි. එයින් මරණ 774 ක් වාර්තා වූ අතර, 8000 කට ආසන්න පිරිසක් රෝගයට ගොදුරු වුහ. උණ, කැස්ස, දරුණු හිසරදය, නිදිබර ගතිය සහ වෙනත් ෆ්ලූ රෝග ලක්ෂණ මෙහිදී දක්නට ලැබිණි.

සාර්ස්, මර්ස්, සහ කුරුළු උණ

මේ අතර, හොංකොං හි චීන සරසවියේ මාහචාර්ය ඩේවිඩ් හියු-ෂු පවසන්නේ මෙය සාර්ස්, කුරුළු උණ හෝ මර්ස් (මැදපෙරදිග ශ්වසන රෝගය) නොව, අලුත්ම ආකාරයක වෛරස් රෝගයක් ද විය හැකි බවයි.

චීන නව වසර අබියස

මෙම වසංගත තත්වය වාර්තා වන්නේ ජනවාරි 25 ට යෙදී තිබෙන චීන නව වර්ෂය ආසන්න කාලයේ වීම, මෙම රෝගය ලොව පුරා පැතිරීමට ඇති අවදානම තවදුරටත් වැඩි කරවයි.

මෙම කාලයේදී මිලියන ගණන් චීන ජාතිකයන් තදබදය සහිත දුම්රියවල තෙරපෙමින් ගම් බිම් බලා යන අතර, තවත් දහස් ගණනක් නිවාඩු ගත කිරීම සඳහා පිටරට යති.

මේ තත්වය තුළ මෙය ගෝලීය වසංගතයක් බවට පත්වීමේ අවදානම අධික ය.

ආසියාව සීරුවෙන්

මේ වන විට ආසියානු රටවල් ගණනාවක් මෙම තත්වය කෙරෙහි අවධානය යොමු කර ඇත.

හොංකොං

හොංකොං පාලිකා කේරි ලෑම් පවසා තිබෙන්නේ ‘වහාම ක්‍රියාත්මක විය යුතු‘ බව ය. හොංකොං හි සිටින බහුතරය චීන ජාතිකයෝ වෙති. හොංකොං රෝහල් අධිකාරිය පවසන්නේ වුහාන් හි සිට පැමිණෙන දුම්රිය මගීන් අතරින් 21 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති බවයි.

සිංගප්පූරුව

සිංගප්පූරුව ද මේ වන විට චීනයේ සිට පැමිණෙන මගීන් ව උෂ්ණත්ව පරීක්ෂණයකට ලක් කරන්නේ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ය. නියුමෝනියාවට සමාන රෝග ලක්ෂණ සහිත වුවන් ගැන සැලකිලිමත් වන ලෙස වෛද්‍යවරුන් විසින් ජනතාවට අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබේ.

දකුණු කොරියාව

දකුණු කොරියාවේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් නිරෝධායන කාර්ය බලකායක් සක්‍රිය කර තිබෙන්නේ මේ තත්වයට මුහුණ දීම සඳහා ය.

තායිවානය

තායිවානය ද පසුගිය ඉරිදා දිනයේ පටන් ‘වුහාන් නියුමෝනියාව‘ලෙස ඔවුන් නම් කර ඇති රෝගී තත්වය පිළිබඳ දැඩි අවධානයකින් පසුවන බව ප්‍රකාශ කරයි.

ඇමරිකාවේත් අවදානමක්

උත්තරාර්ධ ගෝලයට මේ වන විට උදා වී ඇත්තේ ශීත සෘතුවයි. සාමාන්‍යයෙන් ශීත සෘතුවේදී නියුමෝනියාව වැනි ෆ්ලූ (සෙම්ප්‍රතිශ්‍යා රෝග) වසංගත ආකාරයෙන් පැතිර යාමේ අවදානම අධික ය. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය, දශකයකින් පමණ හටගත් දරුණුතම ෆ්ලූ වසංගත තත්වයට මුහුණ දී සිටියි.  වුහාන් නියුමෝනියා වෛරසය අතිශය වේගයෙන් මෙවැනි පරිසරයක් තුළ ව්‍යාප්ත විය හැකිය.

මුලාශ්‍රය CNN : A mysterious virus is making China (and the rest of Asia) nervous. It’s not SARS, so what is it?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි