×

චීන රාජ්‍ය රූපවාහිනිය තුළදී ප්‍රවීනයෙකුගෙන් ලිංගික අපයෝජනයට ලක් වූ යුවතියගේ නඩුව විභාගයට ගැනේ

චීනයේ රාජ්‍ය රූපවාහිනිය තුළ පුහුණුව සඳහා පැමිණ සිටි යුවතියක ප්‍රවීණයෙකු විසින් ලිංගික අතවරයකට ලක් කිරීම පිළිබඳ නඩුව පසුගිය දෙසැම්බර් 2 වැනිදා විභාගයට ගැනුණේ චීනයේ #MeToo ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් සටහන් කරමිනි.


මෙයට අදාළ සිදුවීම මෙයට වසර 6කට පෙර සිදුවූවක් වන අතර, එය විභාගයට ගැනීම වසර 2 කින් ප්‍රමාද කර තිබිණි.

ෂියැන්සි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ෂෝයු ක්සියාෂුවාන් – Zhou Xiaoxuan චීනයේ රාජ්‍ය රූපවාහිනිය වන CCTV හි සීමාවාසිකයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතරවාරයේදී ලිංගික අපයෝජනයට සහ අතවරයට ලක් වූයේ රටේ ප්‍රකට සහ එම නාලිකාවේ විශාල බලයක් හිමි ව තිබූ ජ්‍යේෂ්ඨ වැඩසටහන් මෙහෙයවන්නෙකු විසින් බව කියැවේ.

එම පුද්ගලයා ඔහු ඇය ගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇයට සහ ඇගේ සහය දක්වන්නන් හට විරුද්ධ ව වෙනත් නඩුවක් පවරා තිබුණේ තමන්ගේ කීර්තිනාමයට සහ මානසික සෞඛ්‍යයට හානි කිරීම යන චෝදනා ය.

චීනයේ මෙ වැනි ගැටලු මෙතරම් දුර යාම පවා ඉතා දුලබ බව විශ්ලේෂකයෝ පවසති.

මහජනයාට විවෘත නොවන මේ නඩු විභාගයට පෙර, තමාට කිසිදු පසුතැවීමක් නොවන බව සියැන්සි BBC වෙත කීවා ය. “මා දිනුව හොත්, එය බොහෝ කාන්තාවන්ට ඉදිරියට පැමිණ තමන් ගේ කතාව කියන්නට උනන්දු කරවනු ඇති. මට දිනීමට නො හැකිවුව හොත්, යුක්තිය ඉටුවන තුරු මම අභියාචනය කරනවා.”

සියැන්සි වෙත තම සහය පළ කරන්නට සියයක පමණ පිරිසක් බීජිංහි හයිඩියන් දිස්ත්‍රික් උසාවිය ඉදිරිපිට රැස්ව සිටියහ. බොහෝ දෙනා #MeToo යැයි සදහන් කළ පෝස්ටර් ඔසවා ගෙන සිටියෝ ය. “අතීතයෙන් පිළිතුරක් ලැබෙන තුරු අප ඔබ සමග සිටිනවා” යැයි තවත් සටහනක් කීවේ ය.

2018 වසන්ත සමයේ හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයකු වන හාවී වෙයින්ස්ටයින්ට විරුද්ධව නැගුණු චෝදනා පිළිබද දැනගත් සියැන්සි ඇය ගේ ඒ හා සම්බන්ධ අත්දැකීම ඇගේ වීචැට් (WeChat) ගිණුමේ ලියා තැබුවා ය. ඇය මෙසේ කරන්නේ දූෂණයකට ලක්වූ තම මිතුරියකට තම සහයෝගය පළ කරන්නට ය.

වචන 3000ක් වූ එම රචනයේ එවකට 25 හැවිරිදි වූ ඇය 2014 දී වූ අත්දැකීමක් ලියා තැබුවේ CCTV හි නේවාසික පුහුණුව ලබන සමයේදී ෂූ ජුන් නමැති ප්‍රකට වැඩසටහන් මෙහෙයවන්නා විසින් ඇයව ලිංගික ව හිංසනයට ලක්කළ බව පවසමිනි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ නමුත් පොලිසිය බල කර තිබෙන්නේ එම පැමිණිල්ල ඉල්ලා අස් කරගන්නා ලෙසයි.

ෂියැන්සි ගේ ලිපිය ඇයගේ මිතුරියක වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරී ෂූ චාඕ එය ඇගේ පොදු වෙයිබෝ (Weibo) ගිණුමේ පළ කළ පසු එය චීන අන්තර්ජාලය පුරා ‘වයිරල්’ වූවේ ය. ඒ වන විට ‘ලිංගික හිංසනය’ යන වදන චීන මාධ්‍ය හදුනාගෙන තිබුණේ එක්සත් ජනපදයේ සහ යුරෝපයේ #MeToo ව්‍යාපාරයට සහ ගණනින් අඩු එහෙත් සාර්ථක වූ චෝදනා කිහිපයකට ස්තූතිවන්ත වන්නට ය.

ඒ වසරේ ජනවාරි මාසයේ බිජිංහි විශ්වවිද්‍යාලයක් හිටපු සිසුවියක ලිංගිකව අතවරයට පත් කිරීමේ චෝදනා මත මහාචාර්‍යවරයකු ගේ රැකියාව අහිමි කළේ ය. මාස කීපයකට පසුව, ප්‍රසිද්ධ පුණ්‍යායතනයක මුල් පුටුව දැරූවකු ඔහු ගේ තනතුරින් ඉවත් වූයේ 2015 වසරේ දී ස්වෙච්ඡා සේවිකාවක දූෂණය කළැයි චෝදනාව නැගුණු පසුව ය.

චීන මාධ්‍ය සියැන්සි ගේ චෝදනාව සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් පෙන්වූවේ ඇගේ චෝදනාවට ලක් වූ තැනැත්තා චීන නිවෙස්වල නිතර කියැවෙන නමක් වූ බැවිනි. බොහෝ පිරිමින් මෙන් ම කාන්තාවන් ද ඔහුට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ සහයෝගය දැක්වූහ. එහෙත්, අදාළ සිද්ධියට සම්බන්ධ මාධ්‍ය වාර්තා වාරණය කර ඇති බව ඇයට දැන ගන්නට ලැබුණ බව සියැන්සි කියා සිටියා ය.

සති කීපයකට පසු සියැන්සිට සහ ඇගේ මිතුරිය වන ෂූ චාඕට, ෂූ විසින් ඔහු ගේ කීර්තිනාමයට සහ මානසික සෞඛ්‍යයට හානි කළේ ය යන චෝදනා නගනු ලැබිණ. උත්ප්‍රාසාත්මකව, මේ සිදුවීම පිළිබද චීන මාධ්‍ය උනන්දු වූයේ මේ චෝදනා කිරීමට ඔවුන් ලක්වුවාට පසු ව ය. පැපරාසීන්ට ෂියැන්සි ගේ ඡායාරූප අවශ්‍ය වූ අතර, එවක සිට දහස් ගණනක් ලිංගික අතවරවල වින්දිතයන් වූ ගැහැණුන් හා පිරිමින් තමන් හා සම්බන්ධ වූ ඇය කියයි.

අධිකරණය වෙත යාමේදී ඇයට විශාල සහයෝගයක් ලැබිණි. (Associated Press)

මැයි මාසයේ චීන නිති සම්පාදකයන් නව සිවිල් නීතියක් ගෙන ආ අතර එය 2021 ජනවාරි පළමුවැනි දා සිට බලාත්මක වෙයි. ඊට අනුව ලිංගික හිංසනයට “අනෙකා ගේ කැමැත්තෙන් තොරව සිදුවන කතාව, ලිවීම, රූප හුවමාරුව හෝ කායික කටයුතු” අයත් වෙයි. රජයේ ආයතන, ව්‍යාපාර සහ පාසල් මෙය නතර කරන්නට පියවර ගත යුතු බව ද එය කියා සිටියි.

මෙම නීතිය ලිංගික හිංසනය අවම කරන්නට ප්‍රමාණවත් නොවන බව කියා සිටින විචාරකයෝ සියැන්සි ගේ සිද්ධියෙන් ලිංගික හිංසනයට පත් වින්දිතයන්ට ලැබෙන දෘෂ්‍යතාව අගය කරති.

#MeToo සමාජ ව්‍යාපාරය පුස් බෝම්බයක් ද?

හාවි වෙයින්ස්ටයින්

2018 වසෙර්දී සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂ හාවි වෙයින්ස්ටයින් ට විරුද්ධව #MeToo ව්‍යාපාරය හිස ඔසවන විට බොහෝ දෙනා හාවි වෙයින්ස්ටයින් වෙනුවෙන් කතා කළේ, මේ ගැහැණුන් ලිංගික අල්ලස් දෙමින් තමන්ට අවශ්‍ය දේ ලබාගෙන, ඉන්පසු පුරුෂයාට චෝදනා කරන බව පවසමිනි.

කෙසේ වෙතත්, එම සිද්ධිවලදී හටගත්තේ ලිංගික අතවරයක්ද, නැතිනම් කැමැත්තෙන් අනෙකාට තමන්ව ලිංගිකව පරිහරණය කරන්නට ඉඩ දීම ද යන්න තීරණය කළ යුතු වූයේ අධිකරණයයි.

හාවි වෙයින්ස්ටයින්ට එරෙහිව නැගුණු චෝදනා කිහිපයකට අදාළ නඩු විභාග මේ වන විට අවසන් ව ඇත. ඒවායෙන් ලෝකය ඉදිරියේ සනාථ වූයේ හාවි වෙයින්ස්ටයින් විලෝපිකයෙකු සේ හැසිරෙමින් සිය බලය අයථා ලෙස යොදවමින් තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගත් බවයි. එහි ප්‍රතිඵලයක් ලෙසට හාවි වෙයින්ස්ටයින් මේ වන විට convicted sex offender හෙවත් ‘අධිකරණයෙන් වරදකරුවෙකු බව සනාථ වූ ලිංගික අපරාධකරුවෙකු‘ බවට පත් ව සිර දඬුවම් විඳිමින් සිටියි. #MeToo ව්‍යාපාරයෙන් සිය අසාධාරණයන්ට විරුද්ධව හඬ ගාන ගැහැණුන් හුදෙක් අනුන්ගේ කීර්ති නාමයන් විනාශ කරන්නට පසුකාලීනව ඉදිරියට එන අය පමණක් නොවන බව ඒ අනුව ලොවට පිළිගන්නට සිදුවිය.

ප්‍රධාන ඡායාරූපය – REUTERS

පෙර ලිපි

#MeToo ස්වීඩනයේ පාසල් විෂය මාලාවට

#MeToo ස්වීඩනයේ පාසල් විෂය මාලාවට

බ්‍රිතාන්‍යයේ #MeToo සමග ටෙලිග්‍රාෆ් පුවත්පත මාධ්‍ය නිදහස අලුතෙන් ලියයි!

බ්‍රිතාන්‍යයේ #MeToo සමග ටෙලිග්‍රාෆ් පුවත්පත, මාධ්‍ය නිදහස අලුතෙන් ලියයි!

හොලිවුඩය කැළඹූ ලිංගික අපචාර පිළිබඳ #MeToo සමාජ ව්‍යාපාරය බොලිවුඩයටත්

හොලිවුඩය කැළඹූ ලිංගික අපචාර පිළිබඳ #MeToo සමාජ ව්‍යාපාරය බොලිවුඩයටත්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි