×

ජනපති ට්‍රම්ප් කළේ මොනවාද? නොකළේ මොනවාද? – 1 කොටස

ජනාධිපති ට්‍රම්ප් නිරතුරුව ම කියන්නක් තිබේ; එ නම් ඇමරිකාව “ලොව ශ්‍රේෂ්ඨතම රාජ්‍යය” බව යි. නමුත් Pew පර්‍යේෂණ ආයතනය රටවල් 13 ආශ්‍රයෙන් කරන ලද සමීක්ෂණයකට අනුව නම් එසේ කියන්නට තරම් ඔහු එක්සත් ජනපදයේ ප්‍රතිරූපය වෙනුවෙන් යමක් කර නොමැත.


බොහෝ යුරෝපීය රටවල ඇමරිකාව පිළිබද ඇති යහපත් ප්‍රතිරූපය අවුරුදු විස්සකට ආසන්න කාලයකින් ලබා ඇති අඩු ම අගය ලබා ගෙන ඇත. එක්සත් රාජධානියේ මේ අගය 41%ක් වන අතර ප්‍රංශයේ සහ ජර්මනියේ පිළිවෙළින් 31% සහ 26% වේ.

මීට ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය කොවිඩ් 19 ගෝලිය වසංගතයට මුහුණ දුන් ආකාරය හේතුවකි – ජූලි සහ අගෝස්තු මාසයේ සංඛ්‍යාලේඛනවලට අනුව තමා ගෝලීය වසංගතයට හොඳින් මුහුණ දෙන්නේ යැයි ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානුවන් 15%ක් පමණි.

පහත ගැලීම් සටහන මගින් දක්වන්නේ වෙනත් නායකයන්ට වඩා ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය විදෙස් රටවල් තුළ ද පහළ ගොස් ඇති ආකාරයයි. මෙහිදී ඔස්ට්‍රේලියාව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන රටවල ජනතාව යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

 

දේශගුණික වෙනස්වීම්

ජනාධිපති ට්‍රම්ප් දේශගුණික වෙනස්වීම් ගැන විශ්වාස කරන්නේ කුමක් ද යන්න පැහැදිලි කර ගන්නට අපහසු ඔහු එක මොහොතක එය, “වියදම්කාරී රැවටිල්ලක්” ලෙස ද තවත් මොහොතක එය “ඔහුට ඉතා ම වැදගත් බැරෑරුම් මාතෘකාවක්” ලෙස ද සලකන බැවිනි. මින් පැහැදිලි, ජනාධිපති ධූරය ලබා මාස හයක් ඇතුළත පැරීසියේ දේශගුණ ගිවිසුමෙන් ඉවත් වන්නට ඔහු ගත් තීරණය ය. මේ දේශගුණ ගිවිසුමේ දී ගෝලීය උෂ්ණත්වය 2Cට අඩුවෙන් පවත්වා ගන්නට රටවල් දෙසියයක් ගිවිස ගත්හ.

චීනයට පසු වැඩි වශයෙන් ම හරිතාගාර වායූන් නිකුත් කරන්නේ එක්සත් ජනපදය යි. ජනාධිපති ට්‍රම්ප් නැවත පත්වුවහොත් එය පාලිත තත්ත්වයක පවත්වාගන්නට අපහසු වනු ඇතැයි දැනටමත් පර්‍යේෂකයෝ අනතුරු අගවා ඇත.

පැරීසියේ ගිවිසුම ප්‍රතික්ෂේප කරමින්, ජනාධිපතිවරයා කියා සිටියේ එය “ඕනෑවට වඩා බාධක දමමින් ඇමරිකානු නිශ්පාදකයන් වසා දමන්නක්” විය හැකි බව යි. මෙලෙස ගල් අගුරු, තෙල් සහ වායූන් අඩු වියදමින් නිෂ්පාදනය කරන්නට ජනාධිපති ට්‍රම්ප් පරිසර දූෂණය අවම කරන නීති රීති බොහෝ වශයෙන් කපා හැරියේ ය.

දේශසීමා බාධක නොහොත් ලොකු – ලස්සන තාප්ප !

ජනාධිපති ට්‍රම්ප් ඔහු ගේ දිව්රුම් දීමෙන් සතියකට පසුව මුස්ලිම් බහුතරයක් සිටින රටවල් හතක සංචාරකයන්ට එක්සත් ජනපද දේශසීමා වසා දැමුවේ ය. මේ වන විට ජාතීන් දහතුනකට දැඩි සංචාරක බාධා පනවා ඇත.

මේ වන විට එක්සත් ජනපදයේ ජීවත් වන වෙනත් රටවල උපත ලැබූවන් ගේ ප්‍රතිශතය 2016 වර්ෂයට වඩා 3%කින් 2019 වන විට ඉහළ ගොස් තිබුණ ද, මේ සංක්‍රමණිකයන් කවුරුන් ද යන්න වෙනස් වී තිබේ.

මෙක්සිකෝවේ සිට එන සංක්‍රමණිකයන් ප්‍රමාණය අඩු වී ඇති අතර, ලතින් ඇමරිකාවේ සහ කැරිබියානු දූපත්වලින් පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. එක්සත් ජනපදයේ දිගටම පදිංචි වන්නට ඉල්ලුම් කරන්නන් ගේ, විශේෂයෙන් ම වර්තමාන පදිංචිකරුවන් ගේ ඥාතින් ගේ වීසා ඉල්ලුම් පත්‍ර පෙරට වඩා දැඩි බාධක යටතේ සලකා බැලෙන බව ද කියැවේ.

ජනාධිපති ට්‍රම්ප් ගේ විදේශ ප්‍රතිපත්තියට යම් සංකේතයක් ඇති නම්, ඒ ඔහු මෙක්සිකානු දේශසීමාව ඔස්සේ තනවන්නට සපථ කළ “ලොකු, ලස්සන” තාප්පය‘‘ යි. පසුගිය ඔක්‍ තොම්බර් 19 වැනි දින වන විට, ප්‍රාකාරයේ සැතැපුම් 371ක් නිමවා ඇති බව එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂණය පවසයි.

මේ කර්තව්‍යය මෙක්සිකානු දේශසීමාව හරහා ඇමරිකාවට එන්නට උත්සහ දරන්නන් මන්දෝත්සාහී කළේ නැත.

2019 වර්ෂයේ දී, එක්සත් ජනපද- මෙක්සිකානු දේශසීමාවේ රදවාගෙන සිටි පිරිස් ප්‍රමාණය වසර 12කට පසු ඉහළ ම අගය ගත්තේ ය. ඉන් අඩකටත් වඩා පිරිසක් දරිද්‍රතාවෙන බැට කන හොන්ඩුරාස්, ගෝතමාලාව, සහ එල් සැල්වදෝරය වැනි රටවලින් පැමිණෙන පවුල් ය.

සරණාගතයන් සම්බන්ධයෙන්, ජනාධිපති ට්‍රම්ප් දැඩි පියවර ගෙන තිබෙන බව පැහැදිලි ය. 2016 වසරේ සරණාගතයන් 85 000ක් සිය රට වෙත ගත් එක්සත් ජනපදය ඊට පසු අවුරුද්දේ එය 54,000කට කපා හැරියේ ය. මේ අගය 2021 වන විට 15 000 දක්වා කපා හරින්නට නියමිත ය. 15 000 යනු 1980 දී සරණාගතයන් සම්බන්ධ වැඩසටහනේ ආරම්භයේ සිට ඇමරිකාව ගනු ලබන වඩාත් අවම සංඛ්‍යාව යි.

පහත ගැලීම් සටහන මගින් දැක්වෙන ආකාරයට ට්‍රම්ප් ජනපතිවරයාගේ ධුර කාලය තුළ ඇමරිකාවේ ජීවත් වන්නට සංක්‍රමණිකයන් පැමිණෙන වේගය ක්‍රමයෙන් අඩු වී තිබේ.

ව්‍යාජ ප්‍රවෘත්ති (fake news)

“මා භාවිත කළ යෙදුම් අතුරින් විශිෂ්ටතම ‍යෙදුම ‘ව්‍යාජ’ (fake) යන්නයි” යැයි 2017 වසරේ ඔක්තොම්බර් මාසයේ පැවැති සම්මුඛ සාක්ච්ඡාවක දී ජනාධිපති ට්‍රම්ප් කීවේ ය. ව්‍යාජ ප්‍රවෘත්ති යන යෙදුම ඔහු නිර්මාණය නොකළත් පැහැදිලිව ම ඔහු එය ජනප්‍රිය යෙදුමක් බවට පත් කළේ ය. සමාජ මාධ්‍ය පෝස්ටු සහ ශ්‍රව්‍ය පිටපත්වලට අනුව ඔහු ජනාධිපති ධූරයට පත් වූ දා සිට 2000 වාරයක් පමණ fake news යන්න කියා තිබේ.

2016 ජනාධිපතිවරණ සමයේ fake news යන්නෙන් අදහස් වූයේ සැබැවින් ම සත්‍ය නොවන ප්‍රවෘත්ති වුවත් මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප් තමා ගේ මතයට එකග නොවන ප්‍රවෘත්ති හැදින්වීමටත් එම යෙදුම භාවිතයට ගනියි.

මේ වන විට මේ යෙදුම තායිලන්තයේ, පිලිපීනයේ, සවුදි අරාබියේ සහ බහරේනයේ රාජ්‍ය නායකයන් ද භාවිත කරති. ඇතැමෙක් තම විරුද්ධවාදීන් නිහඬ කිරීමට ද කූට ප්‍රවෘත්ති බෙදා හරින්නේ ය යන චෝදනාව භාවිත කරති.

පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ fake news යන යෙදුම ඇමරිකාව තුළ ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා සෝදිසි කිරීම පිළිබඳ තත්වයයි.

“නිම නොවන යුද්ධ” සහ මැදපෙරදිග සමග ගනුදෙනු

2019 වසරේ එක්සත් ජාතින් අමතමින් ට්‍රම්ප් සිරියාවෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කරගන්නා බවද, තමන් “නිම නොවන යුද්ධ නොකරන” බව ද කියා සිටියේ ය.

එහෙත් සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ වෙනස් ම ආකාරයක තත්ත්වයකි. තමන් සිරියාවෙන් හමුදා ඉවත් කර ගන්නා බව කියා මාස කීපයක් ඇතුළත ඔහු හමුදා කණ්ඩායම් 500ක් පමණ සිරියාවේ තැබුවේ ය. ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ සිරියාවේ හමුදා කපා හැරීමකට ලක් කෙරුණ ද, ඉවත් කෙරුණේ නැත.

හමුදා නොමැති ව ද මැද පෙරදිගට බලපෑම්

ජනාධිපති ට්‍රම්ප් පෙර සිටි ජනාධිපතිවරුන් ගේ විරෝධතා අනෙක් පස හැරැවූයේ එක්සත් ජනපද තානාපති කාර්‍යාලය 2018 වසරේ දී ටෙල් අවිව් සිට ජෙරුසලම වෙත ගෙනගොස් එම නගරය ඊශ්‍රායලයේ අග නගරය ලෙස පිළිගනිමිනි.

පසුගිය මස “ නව මැද පෙරදිගක ආරම්භය” ඔහු දුටුවේ එක්සත් අරාබි එමිරේටය සහ බහරේනය අතර ඊශ්‍රායලය සමග සම්බන්ධත සාමාන්‍යකරණය කිරීමේ ගිවිසුමක් අත්සන් තැබීමෙන් පසුව ය. ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස මෙය ඇතැම්හු හඳුන්වති.

වාණිජ ගනුදෙනු

තමන් තැරැව්කාරකම නොකරන ගනුදෙනු (ඩීල්ස්)වලට ජනපති ට්‍රම්ප් දොස් කියන බව පෙනේ. ජනපති ඔබාමාගේ පාලන සමයේදී ජාතීන් 12 ක ගේ එකතුවෙන් සිදුකරන්නට නියමිතව තිබූ ට්‍රාන්ස්-පැසිෆික් හවුල්කාරිත්වය හෙවත් Trans-Pacific Partnership ධවල මන්දිරයේ වැඩ පටන් ගත් පළමු දිනයේදීම ඔහු ඉවත දැමුවේ එය ‘හොරිබල්‘ යැයි කියමිනි. ඇත්තෙන්ම එම හවුල්කාරිත්වය නතර කිරීමෙන් වැඩි වාසියක් අත් වුණේ චීනයට ය. චීනය එය දුටුවේ තමන්ගේ ආසියා-පැසිෆික් කලාපයේ ලාභ ඉපැයීමට එල්ල වන්නට නියමිත ව තිබූ පහරක් ලෙස ය. නමුත් එම හවුල්කාරිත්වය හේතුවෙන් ඇමරිකානු රැකියා අහිමි වේ යැයි මතයක් ඇමරිකාව තුළ පැවති නිසා මේ තීරණය සාදරයෙන් පිළිගැනුණි.

කැනඩාව සහ මෙක්සිකෝව සමග පැවති උතුරු ඇමරිකානු නිදහස් වෙළඳ ගිවිසුම ට ට්‍රම්ප් අලුත් කොන්දේසි එක් කළේ ‘‘සමහරවිට එය එදා මෙදාතුර සිදුකළ නරකම වාණිජ ගනුදෙනුව ‘‘ යැයි කියමිනි. නමුත් අලුත් කොන්දේසි එක් කළ විට ද ගිවිසුමේ විශාල වෙනසක් සිදුනොවිණි. එයින් සිදුකර තිබුණේ ශ්‍රමය පිළිබඳ ප්‍රතිපාදන තද කිරීම සහ මෝටර් රථ අමතර කොටස් පිළිබඳ රීති දැඩි කිරීම පමණයි.

ට්‍රම්ප්ගේ සැබෑ අරමුණ වූයේ ලෝකය සමග කරන ගනුදෙනුවලින් ඇමරිකාවේ කුට්ටිය විශාල කර ගන්නේ කෙසේද යන්න බව පෙනෙයි. මෙහි ප්‍රතිඵලය වූයේ චීනය සමග වෙළඳ යුද්ධයක් හට ගැනීමයි. ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර ඇති වූ මෙම ගැටුම, දෙපාර්ශවයේම භාණ්ඩවලට ඩොලර් බිලියන ගණනක අමතර බදු එකතු කළේය. එය ඇමරිකාවේ සෝයා බෝංචි වෙළෙඳුන්ට, ටක් සහ මෝටර් රථ කාර්මික ක්ෂේත්‍රයට මහත් හිසරදයක් විය. චීනය ට ද මෙයින් බලපෑම් සිදුවිය. සිය වියදම් කපා හැරීම සඳහා චීනය සිය නිෂ්පාදන දාමයන් වියට්නාමය, කාම්බෝජියාව වැනි රටවලට ගෙන ගියේය.

පහත ප්‍රස්ථාරයෙන් දැක්වෙන්නේ චීනය සමග ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ ගනුදෙනු 1990-2020 අතර කාලය තුළ වෙනස් වූ ආකාරයයි. මේ වන විට ඇමරිකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 193 ක් දක්වා වර්ධනය වී තිබෙන්නේ ඉතිහාසයේ විශාලතම කඩා වැටීම පෙන්නුම් කරමිනි.

 

A BBC chart showing US trade with China by imports and exports
1px transparent line

කෙසේ නමුත් කෝවිඩ්-19 වසංගතයේ බලපෑම තුළ ඇමරිකාව තවමත් අපනයනය කරනවාට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරමින් සිටියි.

චීනය සමග හබය

ජයග්‍රහණය ලැබූ විගස ට්‍රම්ප්, චීන කොලනියක් සේ සැලකෙන තායිවානයේ ජනපතිවරයා තමන්ට දුරකථන ඇමතුමක්ම ලබාදී සුබ පැතූ බව ට්වීට් කළේ මෙසේ ය.

This Trump tweet refers to a policy rollback so stunning that the phone call in question has its own Wikipedia page.

1px transparent line

2016 දෙසැම්බර් 2 වැනිදා එනම් මෙම ට්වීටයට පෙර දිනයේ ට්‍රම්ප් තායිවාන ජනාධිපතිවරයාට සෘජුවම කතා කර තිබුණේ, 1979 වසරේ තායිවානය සහ ඇමරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් කපා දැමුණු පසු ප්‍රථම වතාවට ය. තායිවානය චීනයේ පළාතක් ලෙස මිස ස්වාධීන රාජ්‍යයක් ලෙස නොපිළිගන්නා චීනයේ කෝපය ඇවිස්සීමට මෙය හේතු වන බවට මත රැසක් පළ විය.

මෙය භූ දේශපාලන සතුරන්ගේ එදිරිවාදිකම්වල ආරම්භයක් පමණක් විය. ඇමරිකාව ඉන් අනතුරුව චීනය කෝපයට පත් කළේ චීනය විසින් දකුණු චීන මුහුදට අයිතිවාසිකම් කීම නීති විරෝධී බව පැවසීමත් සමග ය. ඉන්පසුව චීනය විසින් නිෂ්පාදනය කළ TikTok සහ WeChat යෙදවුම් (ඇප්ස්) ඇමරිකාව තුළ තහනම් කිරීම සිදුවිය. චීන ටෙලිකොම් දැවැන්තයෙකු වූ හුආවෙයි සමාගම ට්‍රම්ප් පාලනය විසින් අසාධුගත (බ්ලැක්ලිස්ට්) කිරීම සිදුකළේ හුආවෙයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමිනි.

මේ ආතතිය චීන ජනපති ෂී ජින් පින්ගේ පාර්ශවයෙන් ද ප්‍රතිනිර්මාණය කෙරිණි. 2013 සිට බලයේ සිටින ෂී ජින් පින්, චීනයේ මුස්ලිම් සුළුතරය වන උයිගුර් ජාතිකයන් මහා පරිමාණයෙන් සිරගත කිරීම පිළිබඳ චෝදනා ලැබුවේය.

ඉන් පසුව ජනපති ට්‍රම්ප්, කෝවිඩ්-19 වෛරසය එනම් කොරෝනාවෛරසය ‘චීන වෛරසය‘ යනුවෙන් ලේබල් කිරීමත් සමග ඒ මිත්‍රත්වය තවදුරටත් දෙදරා ගියේය. පවතින තත්වය අනුව චීනය සමග ඇමරිකාවට හොඳ හිතක් ඇති කර ගැනීම නම් පහසු නොවනු ඇත. රිපබ්ලිකන් අපේක්ෂක ජෝ බයිඩන් ද චීන ජනපති ෂී ජින් පින් ‘මැරයෙක්‘ ලෙස හඳුන්වා දී ඇති අතර ‘චීන නායකයාගේ ශරීරයේ (ප්‍රජාතන්ත්‍රවාදී) අස්ථියක් නැත‘ යැයිකියා තිබේ.

ඉරානය සමග ඔන්න මෙන්න යුද්ධය

2019 නව අවුරුදු සැඳෑවේ ට්‍රම්ප් මෙසේ ට්වීට් කළේය. ‘‘ඉරානය නැති වූ ජීවිතවලට හෝ හානි වූ දේපළවලට, සිදුවූ සියලු හානිවලට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. ඔවුන්ට බොහොම විශාල මිලක් ගෙවන්නට සිද්ධ වේවි! මේක අනතුරු ඇඟවීමක් නෙවෙයි, මේක තර්ජනයක්, සුබ අලුත් අවුරුද්දක්!‘‘

“Iran will be held fully responsible for lives lost, or damage incurred, at any of our facilities. They will pay a very BIG PRICE! This is not a Warning, it is a Threat,”  “Happy New Year!”

එයින් දින කිහිපයකට පසුව ඉරානයේ වඩාත්ම බලගතු ජනරාල්වරයා ලෙස සැලකෙන ක්වාසම් සුලෙයිමාන් ඇමරිකාව විසින් ඝාතනය කෙරිණි. ඉරානයේ මැදපෙරදිග භූමිකාව ඉටුකරමින් සිටියේ ක්වාසම් සුලෙයිමාන් විසින් ය. ඉරානය මෙයට එකට එක කළේ ඉරාකයේ තිබෙන ඇමරිකානු කඳවුරු දෙකකට බැලස්ටික් මිසයිල දුසිම් දෙකක් පමණ එල්ල කිරීම මගිනි. ඇමරිකානු භටයන් 1000 කට වඩා මෙයින් තුවාළ ලැබූ අතර, විශ්ලේෂකයන් අනතුරු ඇඟවූයේ දෙරට යුද්ධයක් වෙත පිය නගමින් සිටින බවටයි.

යුද්ධයක් ඇති නොවූවත්, අහිංසක සිවිල් වැසියන් තවමත් මරුමුවට පත් වෙමින් තිබුණේය. ඉරාන මිසයිල ප්‍රහාරයට පැය කිහිපයකට පෙර ඉරාන හමුදාව විසින් වැරදීමකින් යුක්රේන ප්‍රහාරක යානාවක් බිම හෙළුවේ එය ඉරානයට ඉහළ අහසේ පියාසර කරමින් තිබියදී ය. එහි ගමන් ගත් 176 දෙනාම එයින් ජීවිතක්ෂයට පත් විණි.

මෙය සිදුවුණේ කෙසේද? අවිශ්වාසය නමැති පසුබිම තුළ සිදුකළ පොදු අවගණනයන් මාලාවක් හේතුවෙනි.

ඉරානයේ සහාය ලද ෂා රජු 1979 වසරේදී බලයෙන් පහ කළ දා පටන් ඇමරිකාව සහ ඉරානය අතර පවතින්නේ යහපත් වාතාවරණයක් නොවේ. එම සිදුවීමේදී ඇමරිකානුවන් 52 දෙනෙක් ටෙහෙරානයේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූහ. 2018 මැයි මස ට්‍රම්ප් දෙරට අතර විරසකය අවුළා දැමුවේ 2015 න්‍යෂ්ටික ගනුදෙනුවක් අත්හැර දැමීමෙනි. එම එකඟතාවයට අනුව ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමට එකඟවන්නේ ඇමරිකාව විසින් පනවා ඇති ආර්ථික සම්බාධක අඩු කිරීමේ පොරොන්දුව නිසා ය. නමුත් ට්‍රම්ප්, ඉරානයට ‘එදාමෙදාතුර පනවා තිබෙන දරුණුම සම්බාධක‘ ඉරානය වෙනුවෙන් පැනවූවා පමණක් නොව ඒ වචනම භාවිතා කරමින් ඒ ගැන කතා කළේය.

ටෙහෙරානය ඒවාට නැමෙන්නට අකමැති විය. සම්බාධක හේතුවෙන් ඉරාන ආර්ථිකය දරුණු අවපාතනයකට හසු විය. 2019 ඔක්තෝබර් වන විට ඉරානයේ ආහාරද්‍රව්‍යවල වාර්ෂික මිල ඉහළ යාම 61%ක් විය. දුම්කොළ මිල 80%කින් ඉහළ ගියේය. ඉරාන වැසියෝ උද්ඝෝෂණය කරන්නට පටන් ගත්හ.

මූලාශ්‍රය – US election 2020: How Trump has changed the world

ජනපති ට්‍රම්ප් කළේ මොනවාද? නොකළේ මොනවාද? – 2 කොටස බලාපොරොත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි