×

ජපානයේ සිට ඇමරිකාවට සැතපුම් 5000 ක් පිහිනා ගිය සුනාමි මාළුවා

ජපන්, කොරියා සහ චීන මුහුදුවලට පමණක් ආවේණික මත්ස්‍යයෙක් ඇමරිකාවේ කැලිෆෝනියා මුහුදෙන් හමු වී ඇති අතර, විශ්වාස කෙරෙන්නේ මේ මත්ස්‍යයා සුනාමි සුන්බුන් සමග ඇමරිකාව දක්වා පිහිනා යන්නට ඇති බවයි.


‘Barred Knifejaw’ හෝ Stripe Beakfish’ වර්ගයට අයත් මෙම මත්ස්‍යයා කැලිෆෝනියාවේ මොන්ටෙරිවලට යාබද මුහුදු කෙල්ප් ශාඛ ගොනු අතර නිතර නිතර සිටිනු මුලින්ම ඇස ගැටී තිබෙන්නේ කිමිදුම්කරුවන් හට ය. ඔවුන් මුලින් එම මත්ස්‍යයාගේ කිසිදු විශේෂත්වයක් දැක නැත. නමුත් කළු පැහැති සම මත දීප්තිමත් සුදු ඉරි සහිත මෙම මත්ස්‍යයා, කිසිසේත්ම තමන් සැරිසරන පරිසරයට උචිත පෙනුමක් නොදරන හෙයින්, ඔවුන් අතර සිටි පළපුරුදු කිමිදුම්කරුවෙකුට යම් විශේෂත්වයක් දැනී තිබේ.

මෙම මත්ස්‍යයන් මුලින්ම කැලිෆෝනියානු මුහුදේ දැකගත හැකි වී තිබෙන්නේ 2014 දෙසැම්බරයේ ය. පසුව 2015 වසරේදී ද කිහිප වරක් උන්ව ඇස ගැටී තිබේ. අනතුරුව 2018 ඔක්තෝබරය වන තෙක් මේ මසුන් කිසිවිටෙක දැක ගත හැකි වී නැත. අවසානයේ 2018 නොවැම්බරයේ, උන් ගැන ඇස ගසා සිටි නිකොලස් ටා නමැති කිමිදුම්කරුවා, මේ මත්ස්‍යයා රූගත කරමින් වීඩියෝවක් සකස් කළේය. විද්‍යාඥයන් එම මත්ස්‍යයාගේ අනන්‍යතාවය නිවැරදිව හඳුනාගත්තේ ඒ අනුව ය.

පැසිෆික් සාගරය හරහා මේ මසුන් කැලිෆෝනියාව බලා පිහිනා ගොස් තිබෙන්නේ සැතපුම් 5000 ක් දුර ගෙවමිනි. 2011 වසරේ ජපානයේ හටගත් රික්ටර් ඒකක 9.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය නිසා හටගත් සුනාමි රළ සමග, සුනාමි සුන්බුන් සමග මෙම මසුන් එම සංචාරයේ යෙදෙන්නට ඇතැයි මත පළ වේ.

2011 ජපන් සුනාමිය හේතුවෙන් මුහුදෙන් විශාල පරිමාණයක් ගොඩබිමට ඇදී ආ අතර, ගොඩබිමේ සුන්බුන් අති දැවැන්ත ප්‍රමාණයක් සාගරයට එක් විය. මේ සුන්බුන්, පසුකාලීනව සාගර නිකේතනයේ සාමාන්‍ය ලක්ෂණයක් බවට පත් වූ බව පෙනෙන්නට තිබේ. ඒවා බීක්ෆිෂ් මත්ස්‍ය විශේෂය ද සමග දියවැල් ඔස්සේ ජපානයේ සිට ඇමරිකාව දක්වාම ගසාගෙන ගොස් ඇති බවට විශ්වාස කෙරේ.

නුපුරුදු නිකේතනයකට මේ මසුන් මනාව හුරු වී ඇති බව ද මේ අනුව පෙනී යන්නේ, උන් දැන් වසර 7 ක පමණ කාලයක් ඇමරිකානු ජල තීරය අත්පත් කර ගනිමින් ‘කැපී පෙනෙන හාදයන්‘ බවට පත් ව ඇති නිසා ය.

Source: CNN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි