×

ජමාල්ගේ ඝාතනය ගැන තවත් මතයක්

ජමාල් ඛෂෝගීගේ දේහය ඇසිඩ්වල බහා දියකර හැරියේයැයි කියා තුර්කිය පවසයි.


තුර්කි ජනාධිපතිවරයාගේ උපදේශකයකු වන යාසින් අක්ටයි මේ බැව් මාධ්‍යට පවසා තිබිණ. ඔහුගේ ප්‍රකාශය හුදෙක් තර්කය මත පමණක් පදනම් වූ ප්‍රකාශයකි. ඛෂෝගීගේ මෘත දේහය හෝ මෘත දේහයේ කොටසක් හෝ සොයා ගන්නට තුර්කි බලධාරීන් මේ වනතුරුත් සමත්ව නැත. ඛෂෝගී මරා දැමීමෙන් පසු එම ඝාතනයට සම්බන්ධ කිසිදු සලකුණක් ඉතිරි නොකරන්නට ඝාතකයන්ට වුවමණා වූවා විය හැකිය. එකී කාරණාවන් ජනාධිපති උපදේශක යසින් අක්ටයිට සිය තර්කය ගොඩනඟන්නට පාදක වී ඇත.

“… ඛෂෝගීගේ දේහය කොටස්වලට ඡේදනය කර තිබෙන්නේ එම කොටස් ඇසිඩ්වල බහා දියකර හැරීම පහසු වන නිසයි. දැන් බලන විට ඔවුන් ඛෂෝගීගේ දේහය විච්ඡේදනය කරලා විතරක් නෙවෙයි; වාෂ්ප කර කරලත් තියෙනවා. …” කියා යාසින්, “හැරියෙට් ඩේලි” පුවත්පතට පසුගිය දා පවසා තිබිණ.

කෙසේ වුවත්, ජමාල් ඛෂෝගීගේ දේහය ඇසිඩ්වල බහා දියකර හැරියේයැයි කියා තහවුරු කළ හැකි වෝහාරික වෛද්‍යය විද්‍යාත්මක සාක්ෂි කිසිවක් මේ වනතුරු හමු වී නොමැත

තුර්කි බලධාරීන් මෙම තොරතුරු අනාවරණය කර තිබුණේ ජමාල් ඛෂෝගීගේ පෙම්වතිය – හටිසේ සෙන්ගිස් ලෝක නායකයන්ගෙන් ප්‍රසිද්ධියේ කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙනි. හටිසේ ලෝක නායකයන්ගෙන් ඉල්ලා තිබුණේ ජමාල් ඛෂෝගී ඝාතනයේ අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන මෙනි.

මේ අතර සෞදියේ ඔටුන්න හිමි මොහම්මද් බින් සල්මාන් කුමරු එක්සත් ජනපද බලධාරීන්ට පවසා තිබුණේ ජමාල් ඛෂෝගී “මහා භයානක ඉස්ලාමිකයකු” යැයි කියාය. මොහම්මද් කුමරු මේ බැව් ඇමෙරිකා බලධාරීන්ට කියා ඇත්තේ ධවල මන්දිරයට දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. ඇමතුම මඟින් ඔහු ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන ජාරෙඩ් කුෂ්නර් සහ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් අමතා තිබිණ. එම ඇමතුම කුමරු ලබාගෙන තිබුණේ ජමාල් ඛෂෝගී ගැටුමකින් මියගිය බව සෞදිය පිළිගැනීමට පෙරාතුවයි. එනම් ඔක්තෝම්බර් මස 9වැනිදාය. තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලයට ගිය ජමාල් ඛෂෝගී අතුරුදහන් බව සඳහන් මාධ්‍ය වාර්තා ලෝකයේ සෑම මාධ්‍ය ආයතනයක්ම ඒ වනවිට පළ කරමින් තිබිණ. එපමණක් නොව, සෞදි රජ පවුල මේ අතුරුදන් වීම පසුපස සිටින්නේදැයි කියන සැකයත් එම වාර්තා හරහා එළි දැක්වෙමින් තිබුණේය. ජමාල්, “මුස්ලිම් සහෝදරත්වය” නැමැති සංවිධානයේ සාමාජිකයකුව සිටි බව ඇමතුම ලබාදෙමින් මොහම්මද් කුමරු ඇමෙරිකා බලධාරීන්ට පවසා ඇත. අමෙරිකාවත් සෞදියත් අතර සහයෝගිතාවය ඉදිරියටත් පවත්වා ගෙන යෑමේ වැදගත්කම ද කුමරු මෙම ඇමතුමෙන් අවධාරණය කර තිබේ.

ජමාල් ඛෂෝගී, “මුස්ලිම් සහෝදරත්වය” නමැති සංවිධානයේ සාමාජිකයකුවත්, ඒ කියන අන්දමේ භයානක පුද්ගලයකුවත් නොවන බව ඔහුගේ පවුලේ සාමාජිකයෝ සනාත කරති. තමන් එවැනි සංවිධානයක සාමාජිකත්වයක් නොදරණ බව ජමාල් ජීවත්ව සිටි අවධියේදී පවුලේ සාමාජිකයන්ට පවසා තිබුණු බව එම සාමාජිකයෝ පෙන්වා දෙති.

ජමාල්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පෙම්වතිය ඉල්ලා සිටින්නේ සාධාරණ පරීක්ෂණයකි. ඒකාධිපති රෙජිමයන්ට මාධ්‍යවේදීන් මරා දමන්නට නැවත ඉඩක් නැතැයි කියන පැහැදිලි පණිවුඩය ලෝකයට ඒ හරහා යා යුතු බැව් ඈ අවධාරණය කරන්නීය.

https://www.bbc.co.uk/news/amp/world-middle-east-4607008



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි