×

ජමාල් කෂූගි ඝාතනයට සලමාන් කුමරු සම්බන්ධ බවට සම්පූර්ණ වාර්තාව ලබන සතියේ එළියට

මුලින් රහස්‍ය තොරතුරු ලෙස හැඳින්වූ මෙම වාර්ථාව පසුගිය බ්‍රහස්පතින්දා එළි දැක්වීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වන්නේ, කිසිදු රාජ්‍යයකට මානව හිමිකම් නිගරු කර, ඒවායේ ප්‍රතිඵල භුක්ති නොවිඳ ගැලවී යාමට සිය රාජ්‍යය ඉඩ නොදෙන බව තහවුරු කිරීම යැයි ධවල මන්දිර මූලාශ්‍ර සඳහන් කරනවා...


මාධ්‍යවේදී ජමාල් කෂූගි ඝාතනයට සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මුහම්මද් බින් සල්මාන් කුමර් සම්බන්ධ බවට තොරතුරු සහ සාක්ෂි සහිත බුද්ධි වාර්ථාවක් ඇමරිකා එක්සත් ජනපදය විසින් එළි දක්වා තිබෙනවා…

මෙම වාර්ථාව සඳහන් කරන්නේ ජමාල් කෂූගිට එල්ල වූ බුද්ධි ප්‍රහාරය, සල්මාන් කුමරුගේ අනුමැතියෙන් තොරව සිදුවිය නොහැක්කක් බවයි….

හෙළිදරව්වත් සමඟ සවුදි අභ්‍යන්තර දේශපාලනයද මහත් ආන්දෝලනයකට පත්ව තිබෙනවා…

මේ සමඟම එක්සත් ජනපද – සවුදි අරාබි සබඳතා දැඩිව අර්බුදයට යනු ඇති බව විදෙස් විචාරකයන් සඳහන් කරනවා…

මුලින් රහස්‍ය තොරතුරු ලෙස හැඳින්වූ මෙම වාර්ථාව පසුගිය බ්‍රහස්පතින්දා එළි දැක්වීමෙන් එක්සත් ජනපදය බලාපොරොත්තු වන්නේ, කිසිදු රාජ්‍යයකට මානව හිමිකම් නිගරු කර, ඒවායේ ප්‍රතිඵල භුක්ති නොවිඳ ගැලවී යාමට සිය රාජ්‍යය ඉඩ නොදෙන බව තහවුරු කිරීම යැයි ධවල මන්දිර මූලාශ්‍ර සඳහන් කරනවා…

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් පෙන්ස්කි සඳහන් කරන්නේ සවුදි අරාබිය සමඟ පවතින සබඳතා “ප්‍රතිශෝධනය” කිරීමට බයිඩ්න් පාලනය අදහස් කරන බවයි…

මෙම වාර්ථාවේ ඇති සියළු තොරතුරු ලබන බ්‍රහස්පතින්දාට පෙර ලොවටම හෙළිදරව් කරන බවට පැවසෙන අතර, මේ වනවිට එක්සත් ජනපද ජාතික බුද්ධි අධ්‍යක්ෂක කාර්යාලයෙන් එහි සාරාංශයක් නිකුත් වී තිබෙනවා…

59 හැවිරිදි ජමාල් කෂූගි ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිකරුවෙකු වන අතර, වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සක්‍රීයව දායක වෙමින්, සවුදි අරාබියේ මුහම්මද් බින් සල්මාන් ගෙන යන නිළ නොවන පාලනයට එරෙහිව බොහෝ අදහස් ඵල කළ, බොහෝ හෙළිදරව් සිදු කළ අයෙකු ලෙස සඳහන්…

2018 වසරේ ඔක්තෝම්බර් මස 2 වැනි දින, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සවුදි තානාපති කාර්යාලයේදී මාධ්‍යවේදී ජමාල් කෂූගි මරා දැමුණා….මරණයෙන් පසුව ඔහුගේ ශරීර අවයව වෙන්කොට ඉවත දැමීමට සූදානම් කර තිබුණා….

මෙම ඝාතනය සඳහා සවුදි අරාබියේ මුහම්මද් බින් සල්මන් කුමරුගේ සෘජු අධීක්ෂණය යටතේ පවතින බුද්ධි ඒකකයක 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තුර්කියට පැමිණ ඇති බවට පසුව තොරතුරු හෙළිවුනා….

එසේ පැමිණි කණ්ඩායම සවුදියේ සිට තුර්කියට රැගෙන ආවේ සවුදි මහජන ආයෝජන අරමුදල විසින් 2017 වසරේ සිට පවරාගනු ලැබූ “ස්කයි ප්‍රයිම් ඒවියේෂන්” නම් සමාගමට අයත් පුද්ගලික ගුවන් යානා දෙකකින් බව, මෙම වසර මුලදී සවුදි බුද්ධි නිළධාරියෙකු වන සාජ් අල් ජබාරි නම් පුද්ගලයාට එරෙහිව කැනේඩියානු අධිකරණයක පවරන ලද නඩුවක රහස්‍ය වාර්ථාවල සඳහන්ව තිබෙනවා….

මෙම මහජන ආයෝජන අරමුදලේ සභාපතිත්වය දරන්නේ සවුදි ඔටුන්න හිමි කුමරු බින් සල්මාන්…

පසුගිය 2020 වසරේ අගෝස්තු මාසයේදී මෙම අල් ජබාරි විසින්, සවුදියේ සල්මාන් කුමරු කෂූගි ඝාතනයෙන් දින කිහිපයකට පසුව, තමාද ඝාතනය කිරීමට ඝාතක කණ්ඩායමක් එවූ බවට චෝදනා කරමින් ඇමරිකානු අධිකරණයක, සල්මාන් කුමරුට එරෙහිව නඩු පැවරුවා….එයට ප්‍රතිචාරයක් ලෙස කැනේඩියානු අධිකරණයක ජබාරිට එරෙහිව සවුදි රාජ්‍ය සමාගම් කිහිපයක් පවරන ලද නඩුවකට ඉදිරිපත් කරන ලද වාර්ථාවක තිබී, කෂූගිගේ ඝාතකයන් ප්‍රවාහනය කළ පුද්ගලික ගුවන් යානා දෙක අයත් සමාගම පවතින අරමුදලේ සභාපතිත්වය සල්මන් කුමරු සතු බව සොයාගැනුනා…

එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩ්න් මහතා සවුදි ඔටුන්න හිමි කුමරු සල්මාන් සමඟ සබඳතා නොපවත්වන බවත්, ඔහු කෙළින්ම සල්මාන්ගේ පියා වන, සවුදියේ නායක සල්මාන් අබුදුල් අසීස් සවුද් රජ සමඟ පමණක් සබඳතා පවත්වන බවයි….

“මානව හිමිකම් සුරැකීම” නව එක්සත් ජනපද පාලනයේ ප්‍රමුඛ අභිලාෂයක් බවත්, එයට අනුගත විය හැකි ලෙස සවුදිය සහ එක්සත් ජනපදය අතර සබඳතා ප්‍රතිශෝධනයට තමා අදහස් කරගෙන සිටින බවත් ජෝ බයිඩ්න් ජනාධිපතිවරයා සවුදියේ රජු සමඟ කළ දුරකථන සංවාදයකදී සඳහන් කර තිබෙනවා…
සී.අයි.ඒ සංවිධානයේ මූලිකත්වයෙන් කෂූගි ඝාතනය පිළිබඳව කරන ලද ගවේෂණ වාර්ථාව එළිදක්වන ලද්දේ ඉන් පසුවයි…

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සවුදියේ විවිධ පාර්ශව සමඟ පවත්වන ලද සබඳතාවල ස්වරූපය මේ වනවිට නව ඇමරිකන් පාලනය යටතේ පරීක්ෂාවට ලක්වෙමින් පවතිනවා… ඉන් ප්‍රධානම එක වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණියක වන ඉවන්කා ට්‍රම්ප්ගේ සැමියා වන යාරෙඩ් කුෂ්නර් හරහා සල්මාන් කුමරු සමඟ ඇති කරගෙන තිබූ සමීප සම්බන්ධතාවයයි….

සල්මාන් කුමරු පිළිබඳව සී.අයි.ඒ පරීක්ෂණ කරළියට එන්නේ, නව ඇමරිකානු රජය මේ සියළු දේ තදින්ම පරීක්ෂාවට ලක් කිරීම ආරම්භ කළ පසුවය….හෙළිවන සියලු තොරතුරු ලොවටම මුදා හරින බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලය පවසනවා….

– දමිත් කේතක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි