×

රජවරු වෙනස් නොවෙති – හැරී සහ මේගන් අපට කියන කතාව

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස හැඳින්වෙන හැරී - මේගන් යුවල තමන්ට හිමි සියලුම රාජකීය වරප්‍රසාද අත්ඇරල දාල, ඔවුන්ගෙ පුංචි පුතා ආචි එක්ක කැනඩාවෙ පදිංචියට ගියේ 2020 අවුරුද්දෙ මාර්තු මාසෙදි. ඔවුන් මේ වෙද්දි ඇමරිකාවෙ කැලිෆෝනියාවල තමයි වාසය කරන්නෙ.


හැරී කුමාරයා මේගන් මාර්කල් එක්ක විවාහ වීම ඒ දවස්වල අපි දැක්කෙ සෑහෙන්න රැඩිකල් ක්‍රියාවක් විදියට. මොකද මේගන් කියල කියන්නෙ මීට කලින් විවාහ වෙලා හිටපු කාන්තාවක්. ඇය රාජකීය පවුලක තැනැත්තියකුත් නෙවෙයි. ඒ වගේම ඇයට තියෙන්නෙ මිශ්‍ර ජාතික සම්භවයක්. මේ කාරණා ඔක්කොම එකට අරගෙන සලකලා බලද්දි මහ රැජිණ ඇතුලු එංගලන්ත රජ පවුල මේ විවාහයට අනුමැතිය දීපු එක ඉතාම ඉදිරිගාමී පියවරක් කියලයි අපි හිතුවෙ. මොකද එංගලන්තෙ රාජකීය පරම්පරාව කියන්නෙ ඉතාම දැඩි නීති – රීති සහ සම්ප්‍රදායන් මැද්දෙ පැවතීගෙන එන එකක්. විශේෂයෙන්ම ඔවුන් ඩයනා කුමරියට සලකපු විදිය තාමත් බොහෝ දෙනෙකුට මතක ඇති. ඇගේ හදිසි මරණය ගැනත් රජ පවුලට ඇඟිල්ල දිගු වුණා. ඉතින් එහෙම පසුබිමක් මැද්දෙ ඩයනාගෙ පොඩි පුතා හැරීගෙ විවාහය අර ආකාරයට සිද්ධ වුණාම අපි හිතුවෙ රැජිණත්, රජ පවුලත්, ඔවුන්ගෙ දැඩි මතවාදත් දැන් වෙනස් වෙලා ඇති කියල.

හැබැයි හැමදාම වගේ අපිට මෙතැනත් වැරදුණා. එහෙම මොකුත් වෙනස් වෙලා නැති බව ඊයෙ පෙරේදා දවසක හැරී සහ මේගන් ම අපිට පසක් කළා. ඔවුන් දෙදෙනා පහුගිය දවසක ඔප්රා වින්ෆ්‍ නම් ප්‍රකට ඇමරිකානු රූපවාහිණී නිවේදිකාව සමඟ කළ සම්මුඛ සාකච්ඡාව අද ලෝකය පුරා කතා බහට ලක් වෙලා. ඒ සංවාදයෙදි වැඩසටහන මෙහෙයවපු ඔප්රා වින්ෆ් පවා විස්මයෙන් ‘ඔහ්’ ගෑවෙන කතන්දර ටිකක් හැරී සහ මේගන්ගෙ කටින් පිටවුණා. ඒ හැම කතාවක්ම අපිට කියන්නෙ එකම එක කතාවක්. කවදාවත් රජවරු වෙනස් වෙන්නෙ නෑ, රජවරුන්ව විශ්වාස කරන්න එපා ! හැමදේම තෝරල බේරල, කිරල මැනල ගත්තම ඔන්න ඕක තමයි හැරී සහ මේගන් අන්තිමට අපිට කියන කතාව.

සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය ලෙස හැඳින්වෙන හැරී – මේගන් යුවල තමන්ට හිමි සියලුම රාජකීය වරප්‍රසාද අත්ඇරල දාල, ඔවුන්ගෙ පුංචි පුතා ආචි එක්ක කැනඩාවෙ පදිංචියට ගියේ 2020 අවුරුද්දෙ මාර්තු මාසෙදි. ඔවුන් මේ වෙද්දි ඇමරිකාවෙ කැලිෆෝනියාවල තමයි වාසය කරන්නෙ. ඒ දවස්වල ඔවුන් එහෙම කළේ ඇයි කියන කාරණාව ප්‍රසිද්ධියට පත්වුණේ නැහැ. දැන් තමයි ඇත්ත එළියට ඇවිල්ල තියෙන්නෙ.

පසුගිය දා ඇමරිකාවෙ විකාශය වුණ මේ ඔප්රා වින්ෆ්‍ සංවාදයෙදි මේගන් කියනවා රජ පවුල සමඟ ජීවත් වුණ කාලෙදි තමන් දැඩි මානසික පීඩාවකට ලක්වෙලා හිටපු බව. ඒ නිසාම තමාට ජීවිතය එපා වී තිබුණ බවත් ඇය කියනවා. ඇය කියන මේ කතාව ඇගේ නැන්දණිය වුණු ඩයනා කුමරියගෙ කතාවට බෙහෙවින් සමානයි. ඩයනාටත් ඒ රාජකීය පවුල නිසා ජීවිතය කොපමණ එපා වෙලා තිබුණද කිව්වොත් ඇය කීපවරක්ම සියදිවි හානි කරගන්න උත්සහ කරල තිබුණා. මේගන් තව දුරටත් කියන්නෙ රජ පවුල තුළ ජීවත්වීම අතිශය දුෂ්කර වීම නිසා සමහර කාලවල තමන් මාස ගණනක් මාළිගාවෙන් පිටතට නොගොසින් සිටී බව. ඒ වගේම තමන්ට අවශ්‍ය උදව් ඉල්ලද්දි රජ පවුලෙ කිසිවෙකුගෙන් ඒ උදව් තමන්ට නොලැබුණු බව ඇය ප්‍රකාශ කරනවා.

ඇගේ සිත වඩාත් කම්පාවට පත්වෙලා තියෙන්නෙ ඔවුන්ගෙ පුතා ආචි ඉපදෙන්නත් කලින් ඔහුගෙ සමේ පැහැය ගැන රජ පවුලෙ කිසිවෙක් හැරීගෙන් ඇසූ ප්‍රශ්නයක් නිසා. මේගන් මිශ්‍ර ජාතික කාන්තාවක් නිසා ඔවුන්ගේ දරුවාගේ සම කොයිතරම් අවපැහැ වෙන්න පුළුවන්ද කියල එක්තරා අවස්ථාවක රජ පවුලෙ කෙනෙක් හැරීගෙන් අහල තියෙනව. ඒක ඔවුන් දෙන්නාම දැඩි කම්පාවකට පත් කළ ප්‍රශ්නයක්. නමුත් එහෙම ඇහුවෙ කවුද කියල ඇය මේ සංවාදයෙදි එළි කරන්නෙ නෑ. නිවේදිකාව ඒ ගැන හැරීගෙන් ප්‍රශ්න කරද්දිත් තමා ඒ ගැන දැඩි විස්මයටත්, කම්පාවටත් පත්වූ බව කියනවා ඇරෙන්න හැරී වැඩි විස්තර ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරනවා. සමහර විට ඔහුට තමන්ගෙ අම්මා මතක් වෙන්න ඇති. තමන්ගෙ අම්මාට වුණ දේ ම තමන්ගෙ බිරිඳට සිද්ධ වෙනවට ඔහු කැමති නැතුව ඇති.

කොහොම වුණත් හැරී සහ මේගන්ගෙ මේ හෙළිදරව් කිරීම් නිසා රාජකීය පවුල දැඩි කැළඹීමට සහ අපහසුතාවයට පත්වෙලා ඉන්න බව පැහැදිලියි. රැජිණ නියෝජනය කරමින් මාළිගාවෙන් නිකුත් වූ ප්‍රකාශයකින් කියන්නෙ ඔවුන් සඳහන් කළ කාරණා ගැන රජ පවුල දැඩි අවධානය යොමු කරන බව. විශේෂයෙන්ම රජ පවුල තුළ ප්‍රකාශ වුණ බව කියන වර්ගවාදී ප්‍රකාශය සම්බන්ධව ඉතා බැරෑරුම්ව සිතන බවත්, හැරී – මේගන් සහ ආචි තවදුරටත් රජ පවුලේ ආදරණීය සාමාජිකයන් ලෙස සලකන බවත් ඒ පණිවිඩයේ සඳහන් වෙනව. ඒත් ඉතින් ඇත්ත ම ප්‍රශ්නය ඕක නෙවෙයි. මෙච්චර දේවල් වුණාට පස්සෙත් අපි තව දුරටත් රජවරුන්ව විශ්වාස කරන්න ඕනෙද? ඔවුන් කියන දේවල් අපි දේව වාක්‍ය වගේ අදහන්න ඕනෙද? ඒක නෙවෙයිද ඇත්ත ප්‍රශ්නය?

ඒ ප්‍රශ්නෙ එංගලන්තයට වගේම ශ්‍රී ලංකාව කියන අපේ රටටත් ඉතාම අදාළයි. අපිත් රජවරු විශ්වාස කරනවා. දැන් අපි වෙනස් වෙලා කිව්වම බුරුතු පිටින් ගිහින් එක රජෙක් නෙවෙයි රජවරු පවුල් පිටින් බලයට ගේන්න කතිරෙ ගහල එනව. හැබැයි හැමදාම වගේ ඒගොල්ල අපිව රවට්ටනවා. බලාගෙන ගියාම එංගලන්තය, ශ්‍රී ලංකාව කියල වැඩි වෙනසක් නෑ වගේ. කොහේ වුණත් රජවරු කවදාවත් වෙනස් වෙන්නෙ නෑ. වෙනස් වෙන්න ඕනෙ අපි. ඒ කියන්නෙ රටක පුරවැසියො. අන්න ඒක තමයි හැරී සහ මේගන් මේ මොහොතෙ නැවතත්, නැවත නැවතත් අපිට සිහිපත් කරන කතාව !

– SVR –



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි