×

ජාත්‍යන්තර IDAHOT දිනය අදයි!

ජාත්‍යන්තර IDAHOT දිනය අදයි. ලොව පුරා වසන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, ප්‍රශ්ණභාවී හා අන්තර්ලිංගික (LGBTIQ) ප්‍රජාවන් ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පාදක කොටගත් වෛරය, හිංසන, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිටු දැකීමට මෙම දිනය සමරනු ලබයි. IDAHOT, නැතහොත්, International Day Against Homophobia, Transphobia and Biphobia (සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය) […]


ජාත්‍යන්තර IDAHOT දිනය අදයි. ලොව පුරා වසන සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, ප්‍රශ්ණභාවී හා අන්තර්ලිංගික (LGBTIQ) ප්‍රජාවන් ලිංගික දිශානතිය හා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව පාදක කොටගත් වෛරය, හිංසන, ප්‍රචණ්ඩත්වය, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් පිටු දැකීමට මෙම දිනය සමරනු ලබයි.

IDAHOT, නැතහොත්, International Day Against Homophobia, Transphobia and Biphobia (සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය) මැයි මස 17 වන දින ලොව පුරා LGBTIQ මානව හිමිකම් ව්‍යාපාර තුළ උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබයි. එමඟින් සමරිසිභීතිකාව, සංක්‍රාන්ති සමාජභාවී භීතිකාව, ද්විරිසි භීතිකාව වැනි පුද්ගල අනන්‍යතා පාදක කොට ගත් වෛරය මුලිනුපුටා දැමීමටත්, LGBTIQ ප්‍රජාවට අනෙකුත් ප්‍රජා මෙන් මානව හිමිකම් සඳහා ඇති අයිතිය තහවුරු කිරීමටත් අපේක්ෂා කෙරේ.

2016 වර්ෂය වන විට ලොව පුරා රටවල් 132 ක IDAHOT සමරනු ලැබිණ. IDAHOT දිනයේ පුරෝගාමීන් මීට වසර ගණනාවකට පෙර විශේෂ කමිටුවක් පිහිටුවා ලොව විවිධ ප්‍රදේශ වල බිම් මට්ටමින් LGBTIQ ප්‍රජාව ඉලක්ක කොට ගත් ප්‍රචණ්ඩත්වය මැඬපැවැත්වීම පිළිබඳ අවදානය ඇතිකරන ලදී. ඒ තුළින් ගෝලීය වශයෙන් හඳුනා ගන්නා දිනයක් බවට මැයි මස 17 වන දින ප්‍රවර්ධනය කරන ලදී.

එම දිනය තොරා ගනු ලැබුවේ, විශේෂයෙන්ම 1990 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පිළිබඳ ජාත්‍යන්තර වර්ගීකරණ නාමාවලියෙන් (the International Classification of Diseases: ICD) සමරිසිභාවය යනු මානසික රෝගයක් නොවන බවට තීරණය කොට ඉවත් කර දැමීමට ගත් තීන්දුවට සමගාමීව ය.

මෙම දිනය නිල වශයෙන් IDAHOT යැයි ප්‍රකාශයට පත් කොට සැමරීමට පූර්වව, ජර්මනියේ “සමරසි දිනය (Gay Day)” යනුවෙන් නිල නොවන අන්දමින් බොහෝ කලක පටන් සැමරූ බව කියවේ. උචිත සංකල්පයක් ලෙස මෙම දිනය ප්‍රකාශයට පත්කරන ලද්දේ 2004 වර්ෂයේදීය.

පළමු IDAHOT වැඩසටහන වසරක කාලයකු පුරා සමරිසිභීතිකාව පමණක් පිටුදැකීමට 2005 වර්ෂයේ මැයි මස 17 වන දින දියත් කරන ලදී. එවකට එය හැඳින්වූයේ IDAHO යනුවෙනි. ලොව පළමු වතාවට, LGBTIQ ප්‍රජා සංවේදීකරණය පිළිබඳ නිසි අවබෝධයක් නොපැවති කොන්ගෝ, චීනය, බල්ගේරියාව වැනි රට වල මෙම ව්‍යාපාරය දියත් කරන ලදී.

2009 වර්ෂයේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන්ට ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව ඉලක්ක කොට ගෙන එල්ල වන වෙනස්කොට සැලකීම්, කොන්කොට සැලකීම්, හිංසන හා ප්‍රචණ්ඩත්වය මූලික කොට ගෙන සංක්‍රාන්ති සමාජභාවී භීතිකාවද මෙයට එක් කරන ලදී. එමඟින් IDAHO IDAHOT බවට පත්වන ලදී.

2015 වර්ෂයේදී ද්විරිසි භීතිකාවද මෙයට එක් කරන ලදී.

ශ්‍රී ලංකාව තුළ තවමත් සමරිසිභාවය සාපරාධී වරදකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේ පටන් මේ වන තුරු දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 365/365අ ඔසසේ සමරිසිභාවය සාපරාධීකරණය කොට ඇත. ශ්‍රී ලාංකික LGBTIQ මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් සමරිසිභාවය නිර්සාපරාධීකරණය කිරීමට හඬ නගනු ලබන අතර, ඔවුන් පෙන්වා දෙන්නේ සමරිසි ප්‍රජාවට ද අනෙකුත් ප්‍රජා මෙන් මානව හිමිකම් භුක්ති විඳීමේ අයිතිය පවතින බවය. ජාත්‍යන්තර IDAHOT දිනය සුළු වශයෙන් ශ්‍රී ලංකාව තුළ සැමරීම සිදුවන අතර, මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ LGBTIQ ප්‍රජාව ඉලක්ක කොට ගත් ප්‍රචණ්ඩත්වය, හිංසනය, වෙනස්කොට සැලකීම් හා කොන්කොට සැලකීම් මර්දනය කිරීමට මෙම දිනය ජාතික වශයෙන් හඳුනා ගැනීම වැදගත් බවයි.




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි