×

ජෙෆ් බෙසෝස්: එක් දිනකින් ඩොලර් බිලියන 13 සෙවූ ලොව ධනවත්ම මිනිසා!

ජෙෆ් බෙසෝස් - ලොව ධනවත්ම මිනිසා ලෙස හැඳින්වෙන්නේ ඔහු ය. 


ජෙෆ් බෙසෝස් – ලොව ධනවත්ම මිනිසා ලෙස හැඳින්වෙන්නේ ඔහු ය. 

නම කී සැනින් සිහියට නොනැඟෙන්නේ නම්, ඇමසෝන් සමාගම් හිමිකරු කියූ විට කා හටත් ඔහු මතක් වනු නිසැක ය.

මේ පුවත බෙසෝස් එක් දිනකින් සිය ධනස්කන්ධයට බිලියන 13 ක මුදලක් එක්රැස් කිරීම පිළිබඳවයි.

බෙසොස් මහතා සිය පෞද්ගලික ධනය පෙර නොවූ විරූ ඩොලර් බිලියන 189 දක්වා ගෙනයාම සඳහා එක් දිනක් තුළ අතිරේක ඩොලර් බිලියන 13 කින් ඉහළ නංවාලමින් නව වාර්තාවක් තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බෙසෝස් ගේ මෙම ධනස්කන්ධය බ්‍රිතාන්‍ය මහරැජිණගේ ධනය (පවුම් මිලියන 350) මෙන් 30 ගුණයක් පමණ වන බව පැවසේ. මෙම ධනය බ්‍රිතාන්‍යයේ විශාලතම ඖෂධ සමාගම වන ඇස්ට්‍රාසෙනෙකා උපයන ආදායමටත් (පවුම් බිලියන 121) වඩා ඉහළ බව වාර්තා වේ.

එවන් ධනයක් හිමි පුද්ගලයා එක් දිනකින් අතිරේක ඩොලර් බිලියන 13 (පවුම් බිලියන 10) ඉපයීම පිළිබඳ පුවත සමාජ මාධ්‍ය ජාල වල සීඝ්‍රයෙන් සංසරණය වන්නට පටන් ගත්තේ ය.

කොරෝනා වසංගත තත්ත්වය තුළ රටවසා දැමීමට (lockdown) බොහෝ රාජ්‍ය කටයුතු කිරීම නිසා, පාරිභෝගිකයින් භාණ්ඩ මිළදී ගැනීම සඳහා වැඩිවශයෙන් යොමුවූයේ අන්තර්ජාලය වෙතයි. එමඟින් අන්තර්ජාල වෙළඳමේ දැවැන්තයා වශයෙන් සැලකෙන ඇමසෝන් සමාගමට රජමඟුල් මෙන් වූ බවට නොරහසකි.

මේ තුළින් ඇමසෝන් සමාගමේ කොටස් වෙළඳ මිළ ඉහළ යාම නිසා බෙසෝස් සතු ධනය හිනි පෙත්තට නඟින්නට ඇත.

කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ ජීවන තත්ත්ව අඩපණ වූයේ පමණක් නොව, ආර්ථිකයට ද ප්‍රභල ප්‍රහාරයක් එල්ල විය. බොහෝ ව්‍යාපාර කඩාවැටීමට පටන්ගෙන තිබිණි. මෙය විටෙක හැඳින්වූයේ 1930 කාලවකවානුව තුළ සිදුවූ මහා ආර්ථික විශාධියෙන් (the Great Depression) පසු හටගත් දරුණුතම ආර්ථික කඩාවැටීම බවයි.

කෙසේවෙතත්, බොසෝස් ගේ කතාව මීට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධය යි. ඒ මෙම කාලවකවානුව තුළ ඇමසෝන් සමාගමේ කොටස් 70% කින් ඉහළ යෑම නිසා ය. ඉකුත් සඳු දින පමණක්, කොටස් මිළ 8% කින් ඉහළ ගොස් ඇති බවට වාර්තා වී ඇති අතර, එය අගයක් වශයෙන් ඇමරිකානු ඩොලර් 3,197 ලෙස සටහන් වේ.

බෙසෝස් ගේ සාර්ථකත්වය

1994 වර්ෂයේදී කුඩා ගරාජයක ආරම්භ කළ ඇමසෝන් සමාගම අද වන විට ලොව විශාලතම අන්තර්ජාල වෙළඳපොළයි. අද වන විටත් එම සමාගමේ 11% ක කොටස් වල හිමිකාරීත්වය බෙසෝස් සතුය. එමෙන්ම, අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයක් වන බ්ලූ ඔරිජින් සහ වොෂිංටන් පෝස්ට් නම් පුවත්පතේ හිමිකාරීත්වය ද ඔහු සතුය.

ඉකුත් ජනවාරි මස සිට බෙසෝස් ගේ ධනය ඇමරිකානු ඩොලර් බිලියන 74 කින් ඉහළ ගොස් තිබේ.

මෙහෙ කන්න නැතුව මැරෙනවා.. උන්ගේ පොකට්ටු තර වෙනවා!

මෙවන් ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ පවා බෙසෝස් ගේ ව්‍යාපාර දියුණු වීම එක් අතකින් පුදුම සහගතය. ගෝලීය සංවර්ධන පුණ්‍යායතනයක් වශයෙන් සැලකෙන ඔක්ස්ෆෑම් ප්‍රකාශ කර සිටි අන්දමට, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව කොරෝනා වසංගත තත්ත්වය තුළ අසරණ වී තම රජයන්ගේ පිහිට පැතීමට හා බැංකු ගිණුම් වල තැන්පත් මුදල් මත යැපීමට පෙළඹ ඇති වාතාවරණයක් තුළ මෙතරම් ධනස්කන්ධයක් රැස්කර ගැනීමට බෙසෝස් සමත් වීම අතිශයින් කම්පනය දන්වන්නකි.

“අපමණ වූ අප ජීවිකාව පවා රැගෙන යන්නේ ඉතා අපහසුවෙනි, එවන් වාතාවරණයක් තුළ මෙතරම් අසාමාන්‍ය සංඛ්‍යා වලින් ඔහුගේ ධනස්කන්ධය ඉහළ යාම විශ්වාස කළ නොහැකි කරුණකි.”

එසේ අවධාරණය කළේ ඔක්ස්ෆෑම් සංවිධානයේ අසමානාත්මතාවයන්ට එරෙහි ව්‍යාපාර හා ප්‍රතිපත්ති සම්පාදන අංශයේ ප්‍රධානී රෙබෙකා ගෝව්ලන්ඩ් මහත්මියයි.

“බිලියනයකින් අඩක් වූ ජනතාව කුසගින්නේ දුක්විඳින මේ මොහොතේ, දරිද්‍රතාවයෙන් පීඩා විඳින මේ මොහොතේ, දැනටමත් අතිශයින් ධනවත් තනි පුද්ගලයකු ඩොලර් බිලියන 74 ක මුදලක් මෙම වසර තුළම උපයා තිබීම වික්ෂිප්ත යි.”

ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

බෙසෝස් සතු ධනය හරහා ගෝලීය ආර්ථික ප්‍රතිපත්තීන් වල අවලංගුභාවයක් පෙන්වනු ලබන බවත්, සෞඛ්‍යාරක්‍ෂක හා සමාජ ආරක්ෂණ ප්‍රතිපාදන සොයමින් ලතවන අසරණ වූ ජනතාවගේ මුදල් වියදම් කරමින් ධනකුවේරයන්ගේ පසුම්බි තර වන බවත් ගෝව්ලන්ඩ් මහත්මිය වැඩිදුරටත් පවසා සිටියා ය.

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය (Bloomberg Billionaires Index)  ඇස්තමේන්තු කර ඇති පරිදි බෙසෝස් සතු ඩොලර් බිලියන 189 ක ධනය, එක්සෝන් මොබයිල්, නයිකි හෝ මැක්ඩොනල්ඩ්ස් නම් සමාගම් සතු ආදායමට වඩා ඉහළ ය.

මුළු බ්‍රිතාන්‍යයම (නැත්නම් ලෝකයම) බෙසෝස් ගේ අල්ලේ නැටවෙනවා ද?

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි බෙසෝස් සතු ධනය තක්සේරු කළ බැලූ විට ඔහුට බ්‍රිතාන්‍යයේ විශාලතම බැංකු චාතුර්තය වන එච්එස්බීසී (HSBC) බාක්ලේස් (Barclays), ආර්බීසී (RBS) හා ලොයිඩ්ස් (Lloyds) මිළදී ගැනීමට හැකිය. එමෙන් ම ඉතිරි මුදලින් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමේ (British Airways) හිමිකාර සමාගම වන ජාත්‍යන්තර ගුවන් සමූහය (International Airlines Group) හා සෙයින්ස්බරිස් (Sainsbury’s) හා මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් (Marks & Spencer) යන සමාගම් පවා මිළදී ගත හැකිය.

ජෙෆ් බෙසෝස් සතු ධනය හෑල්ලුවට ලක්කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය පමණක් නොවේ. බෙසෝස් ඉපයූ මුදල හන්ගේරියාව, යුක්රේනය හා කටාර් යන රාජ්‍යයන් වල දළ දේශීය නිශ්පාදිතය පවා හෑල්ලුවට ලක් කරන බවට පැවසේ. ඇතැම් ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ බෙසෝස් යනු ලොව 51 සහ 52 වන ඉහළතම ආර්ථිකයන් හිමි බවට ලෝක බැංකු වාර්තා වලින් පෙන්වා දී ඇති නවසීලන්තය හා ග්‍රීසිය ද ආක්‍රමණය කිරීමට තරම් බලවත් පුද්ගලයකු බවයි.

බෙසෝස් ලොව අටවන පුදුමයලු!

ආර්ඩබ්ලිව්සී පාට්නර්ස් ඉක්විටි ඉන්කම් (RWC Partners Equity Income) අරමුදලේ කළඹ කලමනාකාර ජෝන් ටීහාන් පවසා සිටියේ මෙවැන්නකි.

ඇමසන් සමාගම තුළ ක්‍රියාත්මක වන කොටස් මිළ ලොව අටවන පුදුමය වීමට සුදුසුකම් ලබා තිබේ. 1997 වර්ෂයේ දී කොටස් වෙළඳපොලට එක්වූ ඇමසෝන් සමාගම මේ වන විට 199,908% ක ප්‍රතිලාභයක් ලබා දී තිබේ. එය මිනිසා විසින් සාදන ලද නිර්මාණයක් වන අතර, මූල්‍යකරණයේ නීති බිඳ දැමීමට සමත් ව ඇත. 

මෙම ලිපියට පාදක වූ එක්දිනක් තුළ ඉපයූ ඉහළම ධනය පිළිබඳ විස්තර මෙසේය. බ්ලූම්බර්ග් විසින් 2012 වර්ෂයේ පටන් ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ධනස්කන්ධයන් වල දෛනික විචල්‍යයන් නිරීක්ෂණය කිරීම ආරම්භ වී තිබිණි. එහි වාර්තාවන්ට අනුව, ඉකුත් සඳු  දින බෙසෝස් විසින් ඉපයූ ඇමරිකානු ඩොලර් බිලියන 13 ඉතිහාසය තුළ එක් දිනකින් පුද්ගලයකු ඉපයූ ආදායමේ ඉහළම ශුද්ධ වටිනාකම වේ.

බිල් ගේට්ස් කැලේ! 

වාර්තා පෙන්වා දෙන පරිදි  ජෙෆ් බෙසෝස් මහතා මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල්ගේට්ස් මහතා ට වඩා ඩොලර් බිලියන 71 කින් ඉදිරියෙන් සිටියි.

බෙසෝස් විසින් අභිබවා යනතෙක් බිල් ගේට්ස් මහතා ලොව ධනවත්ම පුද්ගලයා ලෙස විරුදාවලිය ලබා සිටියේ ය. ගේට්ස් සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩා, ද ගිවින් ප්ලෙජ් (The Giving Pledge) හි බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම (Bill & Melinda Gates Foundation) ඇතුළු බොහෝ පුණ්‍ය කටයුතු සඳහා ඩොලර් බිලියන 50 කට වැඩි මුදලක් පරිත්‍යාග කර තිබේ.

බිල් ගේට්ස් මහතා කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා බිලියන ගණනක් වියදම් කිරීමට පොරොන්දු වී තිබේ.

“එන්නතක් සඳහා ඩොලර් බිලියන කිහිපයක් වියදම් කිරීම නිශ්ඵල ක්‍රියාවක් ලෙස ඇතමෙකු විග්‍රහ කිරීමට ඉඩ තිබේ. එහෙත් ට්‍රිලියන ගණනින් ආර්ථිකය කඩා හැලෙන මෙම ආපදාව ඉදිරියේ ඩොලර් බිලියන ගණනක් වියදම් කොට එන්නතක් සොයා ගැනීම ම වටී..” බිල් ගේට්ස් මහතා අවධාරණය කළේය.

දැන් එතකොට බෙසෝස් මොනවාද කරලා තියෙන්නේ?

කොවිඩ් වසංගතයෙන් හට ගත් ආර්ථික බිඳවැටීම් සමඟ අරගල කරන ඇමරිකානුවන් හට උපකාර කිරීම සඳහා එරට  ආහාර බැංකු පුණ්‍යායතනයකට (food bank charity) ඩොලර් මිලියන 100 ක් පරිත්‍යාග කිරීමට බෙසෝස් ඉදිරිපත් වී ඇත. මීට අමතරව, ආහාර බෙදා හැරීමේ රියදුරන්ට සහ මූල්‍ය අර්බුදයට මුහුණ පා සිටින සෘතු මත සේවයේ පිහිටුවන තාවකාලික සේවකයින් හට සහාය වීම සඳහා ඇමේසන් සමාගම ඩොලර් මිලියන 25 ක් ඇමසන් සහන අරමුදල (Amazon Relief Fund) නම් අරමුදලකට ලබා දී තිබේ.

මෙය සැබවින් ම විසිළු සහගත බව ඇතැමුන් පෙන්වා දෙන්නේ එසේ පරිත්‍යාග කළ මුදල බෙසෝස්ගේ ධනයෙන් 0.05% තරම් වත් නොමැති වන හෙයිනි. 

බෙසෝස් ගේ වත්කම් තුළ මූල්‍ය අවභාවිතයන් හෝ දූෂණ පිළිබඳ චෝදනාවන් නොවන්නට පුළුවන. ධනවත් පුද්ගලයකු හා ව්‍යාපාරිකයකු වශයෙන් ඉපයූ ධනය ඔහුට හිමි වනවා වන්නට පුළුවන. එයට ගැරහීම හෝ ඊරෂ්‍යා කිරීම යහපත් මිනිස් ගතිගුණයක් නොවන්නට ද පුළුවන. එහෙත්, අප දන්නා පරිදි, මේ වන විට කොවිඩ් වසංගතය හමුවේ ලොව ධනවත්ම පුද්ගලයින් පවා සිය ධනයෙන් සැලකිය යුතු කොටසක් පරිත්‍යාග කරන්නේ මානව සංහතිය මෙලොවින් තුරන් වනු දැකීමට මනුෂ්‍යයින් වශයෙන් ඔවුන් තුළ ගැහෙන හද රාවයේ ඉඩ නොදෙනා නිසා විය යුතුය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට, ලොව ධනවත්ම පුද්ගලයින් පස් දෙනා අතර ජෙෆ් බෙසෝස් සුවිශේෂී වීමට තවත් හේතුවක් තිබේ. එනම් ජනප්‍රිය ආයෝජක වොරන් බුෆේ සහ බිල් ගේට්ස් විසින් ආරම්භ කරන ලද පුන්‍ය වැඩසටහන වෙත සිය ධනයෙන් අඩකට ආසන්න ආධාර ලබා නොදුන් එකම ධනකුවේරයා ජෙෆ් බෙසෝස් වීමයි.

බෙසෝස් ඩේ වන් අරමුදල ට (Bezos Day One Fund) ඩොලර් බිලියන 2 ක් ලබා දීමට බෙසෝස් කටයුතු කර තිබේ. එය ඔහුගේ ධනයෙන් 1% පමණ වන බව පැවසේ. මෙම අරමුදල පිහිටුවා තිබෙන්නේ, නිවාස අහිමි ව අවතැන් වූ හා අඩු ආදායම් ලාභී පවුල් වල දරුවන්ගේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමට ය.

කොරෝනා වසංගතයෙන් සිදුවූ ආර්ථික පරිහානිය යථා තත්ත්වයට පත්කිරීම සඳහා වසංගත කාලය තුළ උපයාගත් ඉතා ඉහළ ලාභවලට සුලං බදදක් (windfall tax – මෙය අතිරික්ත හෝ අසාමාන්‍ය ලාභයන් උපයන ව්‍යාපාර වලට අයකරනු ලබන බදද්කි) අය කරන මෙන් ඔක්ස්ෆෑම් සංවිධානය ඉල්ලා සිටියි.

“කොවිඩ්-19 වසංගතය අපගේ ආර්ථික ක්‍රමයේ ගැඹුරු අසමානතාවයන් සහ දැවැන්ත අසාර්ථකත්වයන් පෙන්නුම් කරනු ලැබුවා. එක්සත් ජනපදයේ දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රැකියා නොමැතිව, පොදු සේවාවන් විනාශ කිරීමට හා කුඩා ව්‍යාපාර බංකොලොත් වීමට හේතු වූවා. ඒ අතරම, රජයේ ආධාර සහ ඔවුන්ගේ වාසනාවට පින්සිදු වන්නට, ඉතා අතලොස්සක් වූ සමාගම් කිහිපයක් අතිවිශාල ලාභ ලබන්නේ පමණක් නොව, දැනටමත් ධනවත් කොටස් හිමියන් තවදුරටත් ධනවත් කරනු ලැබුවා.” 

එසේ පවසා සිටියේ ඔක්ස්ෆෑම් සංවිධානයේ ඉරිට් තමීර් ය.

බෙසෝස් අඩපණ කළ හිටපු බිරිඳ මැකෙන්සි!

වාර්තා වන අන්දමට බෙසෝස් සිය බිරිඳ සමඟ දික්කසාද නොවන්නට තවදුරටත් ධනවත් වන්නට ඉඩ තිබිණි. ඉකුත් වසරේ බෙසෝස් සිය බිරිඳ වූ මැකෙන්සි සමඟ දික්කසාද වන විට ඇමසෝන් සමාගමේ කොටස් වලින් 25% ක් ඈට හිමි විය. ඇමසෝන් සමාගමේ කොටස් මිලෙහි උත්පාතය, ඉකුත් සඳු දින වන විට මැකෙන්සි මහත්මිය ගේ ධනය ඩොලර් බිලියන 4.6 කින් වැඩි කළ අතර ඇය දැන් ලෝකයේ 13 වන ධනවත්ම තැනැත්තියයි.

ද ගිවින් ප්ලෙජ් නම් පුන්‍ය කටයුතු වැඩසටහනට ඉකුත් වසරේ අත්සන් තැබූ මැකෙන්සි මහත්මිය ඈ සතුව ඇති අතිවිශාල මුදල් සම්භාරය ඒ වෙනුවෙන් යෙදවීමට අපේක්ෂාවෙන් සිටින බවට ද පවසා තිබේ.

ද ගිවින් ප්ලෙජ් යනු ලොව සිටින ධනවත්ම පුද්ගලයින් විසින් පුන්‍ය කටයුතු සඳහා ආධාර ලබා ගන්නා වැඩසටහනකි.

Source: The Guardian



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි