×

ජෝර්ජ් ෆ්ලොයිඩ් නඩු තීන්දුවෙන් පසු බයිඩන් ජාතිය අමතයි

පසුගිය මැයි 25 දා කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් මිය යන තෙක් ඔහුගේ ගෙළ පාගා ගෙන සිටීම සම්බන්ධයෙන් ඩෙරෙක් චෝවින් පොලිස් නිලධාරියා වරදකරු බවට තීන්දු කිරීමෙන් පසු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය ඇමතීය.


උප ජනපතිනී කමලා හැරිස් ද එම අවස්ථාවට එක්ව සිටියාය.

‘‘මේක මහ දවාලේ සිද්ධ වුණු මිනීමැරුමක්. එය මුළු ලෝකයටම පෙනෙන පරිදි තිමිර පට ඉරා දැමුවා.‘‘

බයිඩන් එහිදී තවදුරටත් පැවසුවේ පවතින ක්‍රමය තුළට කිඳා බැස ඇති වර්ගවාදය (systemic racism) ඇමරිකානු ආත්මයට කළු පැල්ලමක් එක් කළ බවයි.

බයිඩන් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය අමතයි

මෙයට පෙර අන්තර්ජාලයේ සංසරණය වූ ඡායාරූපයකින් දැක්වුණේ බයිඩන් කළු ජාතික දරුවෙක් ඉදිරියේ දණගසාගෙන සිටින ආකාරයකි. ඒ දරුවා මිය ගිය ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ දියණිය බවද පැවසිණි. කෙසේ නමුත්  එම ඡායාරූපය ඩේට්රොයිට් හිදී බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර ගනු ලැබූ ඡායාරූපයක් බව මේ වන විට තහවුරු වී ඇත. එම ව්‍යාජ කැප්ෂනයක් සහිත ඡායාරූපය කරළියට ගෙනැවිත් තිබුණේ නයිජීරියානු දේශපාලකයෙකු විසිනි.

ව්‍යාජ කැප්ෂනයක් සහිත ඡායාරූපය

මෙම ඡායාරූපය ජෝ බයිඩන් විසින් 2020 සැප්තැම්බර් 15 දා සිය ට්විටර් ගිණුමේ පළ කළ එකක් බව ද මේ වන විට තහවුරු වී ඇත.

කෙසේ නමුත් මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් අනතුරුව ජෝ බයිඩන් ජනාධිපතිවරයා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය ව දුරකථනයෙන් අමතා තිබේ. එහිදී ඔහු ඔවුන්ට පවසා තිබෙන්නේ ඩෙරෙක් චෝවින් මෙම අපරාධය සඳහා වරදකරු වීම තමන්ට ‘සහනයක්‘ වන බවයි.

දඬුවම සති 8 ක් ඇතුළත

ඩෙරෙක් චෝවින් සුදු ජාතික පොලිස් නිලධාරියාට දඬුවම් පැමිණවීම සති 8 ක් ඇතුළත සිදුවනු ඇත. මිනසොටා නීතිය යටතේ මෙවැනි ඝාතනයක් චේතනාත්මක නොවන ඝාතනයක් ලෙස නිර්වචනය වන නිසා ඔහුට උපරිම වශයෙන් ලැබෙනු ඇත්තේ වසර 40 ක සිර දඬුවමකි.

යුක්තිය ඉටු වීම, ඇමරිකාවේදී පවා දුර්ලභ ය!

‘‘දෙව්ලොව මගේ උර මත බව දැනුණා..‘‘ නඩු තීන්දුවෙන් පසුව එසේ පැවසුවේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ සොයුරිය වන ලාඩොන්යා ෆ්ලොයිඩ් ය. ‘‘මගෙ සහෝදරයාට යුක්තිය ඉෂ්ට වුණා.. ඒක හරිම දුර්ලභ දෙයක්..‘‘

මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මල්ලී වන, මේ නඩු විභාගය පුරාම එයට අතිශය දිරිමත්ව මුහුණ දුන් ෆිලොනීස් ෆ්ලොයිඩ් පැවසුවේ යුක්තිය සඳහා ඔවුන් ගෙන ගිය අරගලය මෙතැනින් නතර නොවන බවයි. ‘‘අපිට මුළු ජීවිත කාලය පුරාම මෙය කරන්නට සිද්ධ වෙනවා.. අද පටන් මා සටන් කරන්නේ ජෝර්ජ් වෙනුවෙන් පමණක් නෙවෙයි..‘‘

ෆිලොනීස් ෆ්ලොයිඩ් සිය පවුලේ නීතීඥවරයා සමග

ෆ්ලොයිඩ් ගේ ගෙළ පාගා ගෙන සිටින ආකාරය පටිගත කළ තරුණිය

එදා ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ගෙළ, දණහිසෙන් විනාඩි 9 ක් සහ තත්පර 29 ක් තිස්සේ ඔහුගේ හුස්ම යන තෙක්ම සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිසෙන් තද කරගෙන සිටින අයුරු වීඩියෝ කර නොතිබුණා නම් මේ කිසිවක් සිදුනොවනු ඇත. එදා එම වීඩියෝව සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණේ 17හැවිරිදි තරුණියක විසිනි. ඩානෙලා ෆාසියර් නමැති එම තරුණිය ජූරියේ තීරණයත් සමග සැනසුම් සුසුම් හෙළුවාය. ඇය ෆේස්බුක් සටහනක් තබා තිබුණේ, ‘‘මම මහ හයියෙන් ඇඬුවා..‘‘ යනුවෙනි.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන විට අපරාධකරු ඩෙරෙක් චෝහාන්ගේ මුහුණෙන් නම් කිසිදු හැඟීමක් පළ වූයේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි