×

ජෝ බයිඩන් මැදපෙරදිග සංචාරයේ …

''ඊශ්‍රායල් සහ ඇමරිකානු ජනතාව අතර සම්බන්ධය ගැඹුරුයි. පරම්පරාවෙන් පරම්පරාවට අපේ සම්බන්ධය වර්ධනය වෙනවා. අපි එකිනෙකා ආයෝජනය කරනවා. අපි එකට සිහින දකිමු.


ජෝ බයිඩන් සිය ප්‍රථම මැද පෙරදිග සංචාරය සඳහා ඊයේ (13)වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගොඩ බැස තිබේ. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු මැද පෙරදිග සංචාරය සඳහා සම්බන්ධවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

බයිඩන් සිය ආරම්භක දේශනයේදී ප්‍රකාශ කරනු ලැබුවේ යලිත් වරක් මිතුරන් සමඟ සිටගෙන ස්වාධීන ඊශ්‍රායල රාජ්‍යයට පැමිණීමට ලැබීම ගෞරවයක් බවයි. ”ඊශ්‍රායල් සහ ඇමරිකානු ජනතාව අතර සම්බන්ධය ගැඹුරුයි. පරම්පරාවෙන් පරම්පරාවට අපේ සම්බන්ධය වර්ධනය වෙනවා. අපි එකිනෙකා ආයෝජනය කරනවා. අපි එකට සිහින දකිමු. ඊශ්‍රායලය සමඟ එක්සත් ජනපද සබඳතා වෙන කවරදාටත් වඩා ගැඹුරු සහ ශක්තිමත් බව පැවසීමට මම ආඩම්බර වෙමි.” යනුවෙනි.

අති නවීන තාක්‍ෂණයෙන් ඊශ්‍රායලය වෙත ලබා දීමටත් එහි ආරක්ෂාව තහවුරු කිරීමටත් මැද පෙරදිග සහ ඉන්දු පැසිෆික් කලාපය අතර අපගේ ආර්ථික සහයෝගීතාව තහවුරු කරමින් ඒකාබද්ධතාවය ඉදිරියට ගෙන යාමට එක්සත් ජනපදයේ නොසැලෙන කැපවීම මෙහිදී බයිඩන් විසින් තහවුරු කරන ලද බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කෙරේ.

මීට අමතරව දෙදින තුළ, එක්සත් ජනපදයේ සහය දක්වන Iron Dome පද්ධතිය සහ Iron Beam නම් නව ලේසර් සක්‍රීය පද්ධතිය පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක නිලධාරීන්ගෙන් විස්තරයක් ලැබීමට නියමිතය. මීට අමතරව දෙවන ලෝක යුද්ධයේදී සමූල ඝාතන වින්දිතයන් සිහි කිරීම සඳහා ගොඩ නගන ලද ඊශ්‍රායලයේ ස්මාරකය වන යාඩ් වෂෙම් වෙත යාමටත් සිය ගෞරවය පුද කිරීමටත් මෙම සංචාරයේදී අපේක්ෂා කෙරේ. ඊශ්‍රායලයේ අන්තර්වාර අගමැති Yair Lapid සහ හිටපු අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නායකයින් සමඟ සාකච්ඡා කරමින් දින දෙකක කාලයක් ඔහු ජේරුසලමේ ගත කරනු ඇත.

බයිඩන් සිකුරාදා වන විට පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් හමු වීමට නියමිතය.  “මෙය පලස්තීන ජනතාව සහ ඔවුන්ගේ අභිලාෂයන් සහ ඔවුන්ගේ නායකත්වයේ ක්‍රියා අතර විශාල විරසකයක් ඇති බව සහතික කරයි.” ලෙසයි විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ. 2017න් අනතුරුව දෙරට අතර නිලධාරීන් මුහුණට මුහුණලා සාකච්ඡා කරන ප්‍රධානතම අවස්ථව මෙය වේ.

පලස්තීන ඇමරිකානුවෙකු වන අල් ජසීරා වාර්තාකාරිනී ශිරීන් අබු අක්ලේ මැයි මාසයේදී මරා දැමීමෙන් එක්සත් ජනපදය හා පලස්තීන සබඳතා පළුදු විය. ජෙනින් හි ඊශ්‍රායල වැටලීම් වාර්තා කරමින් සිටියදී ප්‍රවීණ වාර්තාකරු ඊශ්‍රායල හමුදා විසින් වෙඩි තබා ඝාතනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිගමනය කර ඇත. අබූ අක්ලේගේ පවුලේ සාමාජිකයන් මේ සම්බන්ධව බයිඩන්ගේ ක්‍රියා කලාපය පිළිබඳව කෝපය ප්‍රකාශ කර ඇත. බයිඩන්ගේ සංචාරය අතරතුර ඔවුන්ට හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇතිමුත් ඒ වෙනුවෙන් ධවල මන්දිරයෙන් ප්‍රතිචාර ලැබී නැත.

2019 දී හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසා දමන ලද ජෙරුසලමේ බටහිර දෙසින් පිහිටි කොන්සල් කාර්යාලය නැවත විවෘත කිරීමට එක්සත් ජනපදයට අවශ්‍ය වේ. බයිඩන් පලස්තීනය වෙනුවෙන් ඩොලර් මිලියන 100 ක ආධාරයක් ප්‍රකාශයට පත් කිරීමට යන අතර, වාඩිලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ රෝහල් වෙනුවෙන් ආධාර කිරීමට අපේක්ෂා කෙරේ.

ඉන් අනතුරුව ඇමරිකානු ජනාධිපතිවරයා සෞදි අරාබියේ ජෙඩා වෙත පියාසර කරන අතර එහිදී ගල්ෆ් මිත්‍ර රටවල සමුළුවකටද සහභාගී වීම අපේක්ෂා කෙරේ.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි