×

ටයිම් වසරේ පුද්ගලයා – බයිඩන් සහ හැරිස්

ජාත්‍යන්තර ටයිම් සඟරාව 2020 ‘වසරේ පුද්ගලයා‘ - 2020 person of the year ලෙස ජෝ බයිඩන් සහ කමලා හැරිස් නම් කර තිබේ.


ඒ අනුව මෙවර ටයිම් සඟරාවේ කවරය සැරසී තිබෙන්නේ ඇමරිකාවේ අනාගත ජනාධිපතිවරයාගේ සහ උප ජනපතිනියගේ රුවෙනි.

ටයිම් සඟරාවේ එයට දැක්වෙන හේතු පාඨය මෙසේ වේ.

‘‘ජෝ බයිඩන් සහ කමලා හැරිස් එක්ව එක අවස්ථාවකින් නව්‍යකරණය සහ ප්‍රතිසංස්ථාපනය ගෙන ආහ. ඇමරිකාව, ඔවුන් විසින් විකුණමින් සිටි දෙයම මිලදී ගත්තේය. එනම්, සියවසක් තුළ වාර්තා වන වැඩිම ඡන්ද ප්‍රතිශතය සමගින් ඔවුහු ඡන්ද මිලියන 81 ක් ලබාගත් අතර, ඡන්ද තවමත් ගණන් කෙරෙමින් තිබේ. මේ අනුව ට්‍රම්ප් විසින් බැට්ල්ග්‍රවුන්ඩ් ජනපද 5 ක ලබාගත් ඡන්ද මිලියන 7 සීමාව ද ඔවුන් විසින් ඉක්මවා ගොස් තිබේ.‘‘

‘ද ගාඩියන්‘ පුවත් සේවාව පවසන්නේ මේ අනුව බයිඩන් බරාක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අඩිපාරේ ගමන් කරන බව ය. එනම්, මෙම ‘වසරේ පුද්ගලයා‘ ගෞරවය 2012 දී බරාක් ඔබාමා විසින් දිනාගත් අතර,  2016 වසරේදී එය දිනාගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි.
2019 වසරේ, එනම් පසුගිය වසරේදී මෙම ගෞරවය හිමි වූයේ දේශගුණික ක්‍රියාකාරිනියක වූ ග්‍රෙටා තුන්බර්ග් හට ය.

78 හැවිරිදි ජෝ බයිඩන්, 2021 ජනවාරි 20 දා පදවි ප්‍රාප්තියට පත් වන්නේ ඇමරිකානු ඉතිහාසයේ වයස්ගතම ජනපතිවරයා ලෙස ය. මේ සමගම කමලා හැරිස් ඇමරිකානු ඉතිහාසයේ උප ජනපතිනිය බවට පත් වන පළමු කාන්තාව, පළමු කළු ජාතිකයා සහ ආසියානු සම්භවයකින් යුක්ත ප්‍රථමයා බවට පත් වනු ඇත.

‘ටයිම් වසරේ පුද්ගලයා‘ පුද්ගලයන් කිහිප දෙනෙකු ද විය හැකිය

ටයිම් සඟරාව සෑම වසරකම අවසානයේදී පිරිනමන ‘වසරේ පුද්ගලයා‘ ගෞරවය තනි පුද්ගලයෙකු නොවන කිහිප දෙනෙකු විසින් හිමි කර ගත් අවස්ථා ගණනාවක් තිබේ. මේ අතර මෑත කාලයක පටන් එය විසින් කණ්ඩායම් හෝ සංවිධාන ද වසරේ පුද්ගලයා සඳහා සලකා බලයි.

උදාහරණයක් වශයෙන් 2017 වසරේදී මෙම ගෞරවය පිරිනැමුණේ MeToo සමාජ ව්‍යාපාරයට සම්බන්ධ වූ ‘නිහැඬියාව බිඳින්නෝ‘ “The Silence Breakers” යනුවෙන් හැඳින්වුණු තෝරාගත් පුද්ගලයන් කණ්ඩායමකට ය. 2018 වසරේදී සිය වෘත්තිය තුළදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් උදෙසා මේ ගෞරවය පිරිනැමිණි.

මේ වසරේ නාම යෝජනා ලැබූ සිව් දෙනා

මේ වසරේ අවසන් වටය සඳහා සිව් දෙනෙකු යෝජනා වී තිබිණි. ඒ අතර ට්‍රම්ප් මෙන්ම වෙනත් පුළුල් කාණ්ඩ දෙකක් ද විය. එනම්, ‘වාර්ගික යුක්තිය සඳහා ව්‍යාපාරය‘ movement for racial justice සහ වෛද්‍ය ඇන්තනී ෆවුසි ඇතුළු කෝවිඩ් වසංගත පෙරමුණේ යුද වැදී සිටින සුව සේවකයන් ය. වෛද්‍ය ඇන්තනී ෆවුසි ඇමරිකාවේ සිටින ප්‍රධාන පෙළේ ආසාදන රෝග විද්‍යාඥයෙකි.

2016 ජනාධිපතිවරණය දිනූ දා පටන් ඩොනල්ඩ් ට්‍රම්ප් අවසාන සිව් දෙනා අතරට නාම යෝජනා දිනාගෙන තිබීම ද මෙම ටයිම් වසරේ පුද්ගලයා ලැයිස්තුවේ දැකගත හැකි ප්‍රධාන ලක්ෂණයකි.

බයිඩන් සහ හැරිස්ට විවේචන

කෙසේ නමුත් ටයිම් සඟරාව සිය නිල ට්වීට් සටහනේ මේ වසරේ ජයග්‍රාහකයන් පිළිබඳ දැනුම් දීමත් සමග ට්විටර් පරිශීලකයන් ගණනාවක් එය විවේචනය කරන ආකාරය ද දැකගත හැකිය. ටයිම් සඟරාව හුදෙක් ඔවුන්ගේ ඡන්ද පදනම සහ මැතිවරණ ජයග්‍රහණය කේන්ද්‍ර කරගෙන මෙම තීරණය ගෙන තිබීම මෙයට හේතු වී ඇති බව පෙනේ.

 

ඇතැම් ට්විටර් පරිශීලකයන් අදහස් දක්වා තිබුණේ ‘‘සියවසකින් පැමිණි ලොකුම වසංගතය සමග වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සුව සේවකයන් දිවි නොතකා සටන් වැද සිටින අතරවාරයේ වසරක් ඇතුළත දේශපාලන ගමන සපථ කර ගත් දෙදෙනෙකු හරසරට ලක් කිරීම ටයිම් සඟරාව කළ විශාල වරදක් ද වන බව‘ කියමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි