×

‘‘ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලයට ධවල මන්දිරය ලෑස්ති වෙනවා‘‘ – පොම්පියෝ කියයි. බයිඩන්ට විදෙස් නායකයන්ගෙන් ලැබෙන සුබපැතුම් පණිවුඩත් අවහිර කරයි

ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් පොම්පියෝ ඊයේ සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් විශාල කැළඹීමක් ඇති වී තිබේ. ඔහු පවසාා තිබෙන්නේ ‘‘දෙවන ට්‍රම්ප් පරිපාලනය සඳහා ධවල මන්දිරය සුමට සංක්‍රාන්තියකට ලෑස්ති වෙනවා..‘‘ යනුවෙනි.


මෙමගින්, ජෝ බයිඩන් මීළඟ ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම ඔහු විසින් පිළිනොගන්නා බව අදහස් වේ.

ඒ අනුව ජනවාරි 20 වැනිදාට යෙදී තිබෙන දිවුරුම් දීමේ උත්සවය පිළිබඳව ද මතභේදාත්මක තත්වයක් ඇති වී තිබේ.

මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්, මැතිවරණය දූෂිත එකක් බව කියමින් පවරා ඇති නඩු ගණනාවක් විනිසුරුවරුන් විසින් සලකා බැලීමකින් තොරවම ඉවත් කර ඇති අතර, ඊයේ දිනයේ වාර්තා වූයේ ට්‍රම්ප්ගේ නීතීඥවරුන් ද එම නඩු කටයුතු ඉදිරියට ගෙන යාමට මැලි වන බවකි. ඒ අනුව ‘නැති නඩු‘ පැවරිය හැක්කේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කර තිබේ.

විදෙස් නායකයන්ගෙන් බයිඩන්ට ලැබෙන සුබපැතුම් පණිවුඩ

මේ වන විට ජෝ බයිඩන් හට ජර්මනියේ ඇන්ගෙලා මර්කෙල්, කැනඩාවේ ජස්ටින් ටෘෘඩෝ ඇතුළු නායකයන් ගණනාවක් සුබ පතා තිබේ. ඊයේ දිනයේ වාර්තා වූයේ අවසානයේ ට්‍රම්ප් රසිකයෙකු වූ එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් ද ඔහුට සුබ පැතූ බවයි.

කෙසේ නමුත් මේ දක්වා ලැබී තිබෙන සියලු සුබ පැතුම් පණිවුඩ ඔහුට ලැබී තිබෙන්නේ දුරකථන ඇමතුම් හරහා ය.

ධවල මන්දිරයේ සම්ප්‍රදාය අනුව ඒවා බයිඩන් වෙත ළඟා විය යුත්තේ රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා ය. නමුත් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැහැදිලිවම බයිඩන් හට ලැබෙන සුබ පැතුම් පණිවුඩ අවහිර කරමින් සිටියි.

ඒ අනුව පරිවර්තන සහායක් නොමැතිව නිල නොවන සුබ පැතුම් පණිවුඩ පමණක් බයිඩන් වෙත ළඟා වන්නේ බයිඩන් කණ්ඩායම විදේශ නායකයන් සමග පවත්වාගෙන යන පුද්ගලික සබඳතා ජාලය තුළිනි.

CNN පුවත් සේවය අද දිනයේ වාර්තා කරන්නේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙතට සුබ පැතුම් පණිවුඩ දුසිම් ගණනාවක් ලැබී ඇති නමුත් ඒ කිසිවක් බයිඩන් වෙත නිල වශයෙන් ලබා නොදෙන බවයි.

බයිඩන්ට සුබ පතන ලෝක නායකයන් ඒවා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්පත් හරහා ඔහු වෙත නිල වශයෙන් ලබාදීමට උත්සාහ කරන නමුත්, පරාජය පිළිනොගන්නා ට්‍රම්ප්, ප්‍රතිවාදියාට ලැබෙන සුබපැතුම් පණිවුඩ පවා අවහිර කරමින් සිටින්නේ ඇමරිකානු ඉතිහාසයේ පෙර නොවූ විරූ බලකාමයක් ප්‍රදර්ශනය කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි