×

වැල්ලේ හිස හංගාගන්නා අන්ධ පණුවෙකුට ට්‍රම්ප්ගේ නම!

දේශගුණික විපර්යාස කියා දෙයක් මේ ලෝකයේ නැතැයි කියන ඩොනලඩ් ට්‍රම්ප් ගේ නමින්, අලුත සොයාගත් අන්ධ උභයජීවියෙක් නම් කර තිබේ. දිය ගොඩ දෙකේම වසන මේ සත්වයා, ඇත්ත වශයෙන්ම පණුවෙකි.


 මේ නව සත්ව විශේෂය නම් කර තිබෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ද සහිතව ඩර්මොෆීස් ඩොනල්ඩ්ට්‍රම්පි (Dermophis donaldtrumpi) යනුවෙනි. සත්ව විද්‍යාව අනුව මේ අනුව මේ අන්ධ පණුවාගේ ගණ නාමය ඩම්මොෆීස් වන අතර, විශේෂ නාමය ‘ඩොනල්ඩ්ට්‍රම්පි‘ ය.

නම තෝරාගෙන තිබෙන්නේ එන්වයෝබිල්ඩ් නමැති සමාගමක් විසින්, ඩොලර් 25,000 ක් ගෙවීමෙනි. එනම් නවතම උභය ජීවියාට නම් තැබීම සඳහා සුදුසුම නම තෝරාගැනීමට ඔවුන් විසින් වෙන්දේසියක් ද සුදානම් කර තිබිණි.

මේ පණුවාට පාද නැත. ජීවත් වන්නේ පැනමාවේ ය. සෙන්ටිමීටර 10 ක් පමණ දිගින් වැඩේ. උගේ සම දිලිසෙන සුලු ය. ගැඩවිලෙකු වැනි ය. නමුත් උගේ ජීවන රටාව ඊටත් වඩා සුවිශේෂී ය. ඌ වැල්ලේ ජීවත් වෙමින්, කිසියම් අනතුරක් හැඟුණු විට වැල්ලේ හිස හංගා ගනියි. එවිට ආවරණය වන්නේ හිස පමණක් බවත්, අනෙක් සර්වාංගය තිබෙන්නේ එළියේ බවත් ඌ නොදනියි. මෙය, ට්‍රම්ප්ගේ ආරක්ෂණවාදී අන්තවාදය සමග කදිමට ගැළපෙන උපමේයකි.

Dermophis donaldtrumpi

ලැව්ගිනි සිට ගංවතුර දක්වා සෑම ආකාරයේම දේශගුණික විපර්යාස නිසා හටගන්නා උවදුරුවලට මේ වන විට ඇමරිකාවේ ජනතාව ලක් වෙමින් තිබේ. ඇමරිකාව පසුගිය නොවැම්බරයේ පළ කළ වාර්තාවකින් කියැවුණේ මේ අවදානම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව ය. නමුත් මේ වාර්තාව ‘විශ්වාස කළ නොහැකි‘ යැයි ට්‍රම්ප් කීවේය. එසේම ඇමරිකාව දැනටමත් කියා තිබෙන්නේ එදා මෙදාතුර ලෝකයේ පරිසරය රැක ගැනීම සඳහා ඉදිරිපත් වූ විශාලතම විශ්ව සම්මුතිය වන පැරිස් ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් කර ගන්නා බව ය.

එනිසා, අන්ධ පණුවෙකුට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ‘වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැළපෙන බව‘ (‘පර්ෆෙක්ට්‘ බව) නම තෝරාගත් විද්‍යාඥයෝ එක හඬින් කියති. ඩර්මෝපීස් ඩෝනල්ඩ් ට්‍රම්පිගේ හිස මත පස් ඇති විට ඔහුගේ මුහුණ හා ට්‍රම්ප්ගේ මුහුණ බොහෝ සෙයින් සමාන බව ද මේ ඡායාරූපවලින් පෙනේ.

මේ නම තෝරාගැනීම සඳහා පැවැත්වූ ලංසු තැබීමෙන් ලද ආදායම, දිනකට අක්කර 70,000 කට ආසන්න ප්‍රමාණයක් බැගින් විනාශ වෙමින් යන වැසි වනාන්තර රැක ගැනීම සඳහා වූ අරමුදලකට යෙදවීමට නියමිත ය.

මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අති විශේෂ කේශ විලාසිතාව ද නව සත්ව විශේෂවලට නම් තබන සත්ව විද්‍යාඥයන්ගේ අවධානයට ලක්ව තිබිණි. වරක් විෂ සහිත ලොම් ඇති දළඹුවෙකුට ද ට්‍රම්ප් සමාන කර තිබිණි. මේ අතර, 2017 වසරේදී කහපාට ශීර්ෂයක් සහිත සබලයෙක් (yellow-crowned moth) හට ද ‘නියොපාලා ඩොනල්ඩ්ට්‍රම්පි‘ (Neopalpa donaldtrumpi) යනුවෙන් නම් තැබිණි.

මේ නම් තැබීම විසින් අපට කියාදෙන තවත් පාඩමක් තිබේ. ඒ, දියුණු මිනිස් සමාජයක් විසින් ඉලක්කගත පුද්ගලයෙකුට අපහාසය වෙනුවට උපහාසයෙන් යුතුව පාඩමක් උගැන්විය යුත්තේ කෙසේද යන්නයි. තුන්වන ලෝකයේ රටවල බොහෝ විට සිදුවනවාක් මෙන්, ඒ පුද්ගලයාට පාරේ බැස යා නොහැකි තරමට නම කැත කිරීම වෙනුවට හෙවත් අපහාසය වෙනුවට, නිර්මාණශීලී උපහාසය විසින් නැවත වරක් ඉතිහාසගත කර තිබෙන්නේ මේ ආකාරයෙනි.

මූලාශ්‍රය – Blind creature that buries head in sand named after Donald Trump



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි