×

ට්‍රම්ප් ඇතුළු මිලියන 53 ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කරලා!

ඇමරිකානු ජනාධිපතිවරණය යෙදී තිබෙන නොවැම්බර් 3 වැනිදාට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇමරිකානුවන්ට හිමි වී ඇති අතර, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මේ අනුව ඊයේ දිනයේ ඡන්දය ප්‍රකාශ කළේය.


ඔහු ඡන්දය ප්‍රකාශ කළේ කාටදැයි මාධ්‍යවේදීන් ඇසූ විට ‘ට්‍රම්ප් කියල එක්කෙනෙකුට‘ යැයි සිනාමුසු මුහුණින් පවසා ට්‍රම්ප් පිටත්ව ගියේ ප්‍රධාන රැළි තුනක් ඇමතීමට ය.

ඡන්දය ප්‍රකාශ කළ දිනයේදීම උතුරු කැරොලිනා, ඔහායෝ සහ විස්කොන්සින් ජනපද 3කදීම ඔහු ජනතාව ඇමතුවේය.

උතුරු කැරොලිනාවේදී ජනතාව අමතමින්, අවසන් රූපවාහිනී විවාදයේදී බයිඩන් විසින් ‘අඳුරු ශීත සෘතුවක්‘ ගැන කතා කළ අයුරු ට්‍රම්ප් උපහාසයෙන් යුතුව අනුකරණය කර පෙන්වීය. (කියවන්න – ජෝ බයිඩන් ට්‍රම්ප් අවසන් විවාදයේ සැබෑ ජයග්‍රාහකයා වැඩසටහන මෙහෙයවූ නිවේදිකාවයි)

Early voting හෙවත් කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය තුළ ඇමරිකානු ජනාධිපතිවරණයේ අපේක්ෂකයන්ට ජනතාව ඡන්දය ප්‍රකාශ කරන අතරවාරයේදීම තවදුරටත් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නියැළීමට අවස්ථාව ලැබීම විශේෂ තත්වයකි.

දැනටමත් මිලියන 53 ක් ඡන්දය දීලා !

‘අර්ල් වෝටිං‘ ක්‍රමය හෙවත් කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමය යටතේ මේ වන විට ඇමරිකානුවන් මිලියන 53 ක් දැනටමත් ඡන්දය ප්‍රකාශ කර තිබේ. එය, 2016 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වූ කලින් ලබාදුන් ඡන්ද එකතුවට වඩා දැනටමත් විශාල අගයකි.

අවුරුදු 18-29 ත් අතර වූ තරුණ පරපුරේ මිලියන 3 ක් ද දැනටමත් ඡන්දය පළ කර තිබේ.

මෙම ක්‍රමය යටතේ එක්කෝ පුද්ගලිකව ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස්, එසේත් නැතිනම් තැපැල් ඡන්ද හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන. ඇමරිකානු ඡන්ද දායකයන් කෝවිඩ්-19 වසංගත අවදානම හමුවේ සමාජ දුරස්ථභාවය රඳවාගෙන ඉතාම සැලකිල්ලෙන් යුතුව සිය ඡන්ද අයිතිය රැකගන්නා අයුරු දැකගත හැකිය. ඇමරිකාව පුරා ජනපද ගණනාවක දිගු පෝලිම් ද දැකගත හැකි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ වසරේ කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් වැඩි පිරිසක් මෙම ක්‍රමය අනුගමනය කිරීමට පෙළඹී ඇත. ඒ අනුව තැපැල් ඡන්දවලට පමණක් නොව, ජනතාව වරින් වර ඡන්ද මධ්‍යස්ථාවලට ගොස් ඡන්දය ප්‍රකාශ කරන අන්දම ද දැකගත හැකිය.

පෙර ලිපිය

ට්‍රම්ප් – ජෝ බයිඩන් අවසන් විවාදයේ සැබෑ ජයග්‍රාහකයා වැඩසටහන මෙහෙයවූ නිවේදිකාවයි!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි