×

ට්‍රම්ප්, ඔබ යන්න – නැවත නොඑන්න : මන්ද යත්, දිනුවේ බයිඩන් නොව – ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයයි

දමා යන්නට මහා දේවල් නැති මිනිසා යන්නට බැහැ කියා වැළලෙන්නට හදන්නේ නැත.


නමුත් තීරණාත්මක ප්‍රතිඵලය වූ පෙන්සිල්වේනියා ජනපදයේ අවසන් නිල ප්‍රතිඵලය නිකුත් වන්නට දින 3කට පෙර සිටම ට්‍රම්ප් කීවේ තමන් නොයන බවයි. සාමකාමී බල සංක්‍රාන්තියකට තමන් සහයෝගය නොදෙන බව ඔහු කීවේ මාසයකට පෙර ය. ඔහුගේ පුතුන් දෙදෙනා ලවා රිපබ්ලිකන් පාක්ෂිකයන් ‘අවුස්සන්නට‘ ඔහු උත්සාහ ගන්නේ ද දින කිහිපයකට පෙර සිට ය. ඒ පුතුන් දෙදෙනා ද තාත්තාගෙම පුතුන් ය. රිපබ්ලිකන්වරුන්ගේ පිටකොන්ද ගැන, ඔවුහු ට්විටර් හරහා දොඩවති. අවදි වන ලෙස කියති. ඩිමොක්‍රටික් ජයග්‍රහණයට එරෙහිව කැරළි ගසන ලෙස කියති.

නමුත් 2016 පටන් ඇමරිකාවෙන් ඇරඹුණු, ලොව පුරාම අන්ත දක්ෂිණාංශික රැල්ලක් නිර්මාණය කළ මේ ට්‍රම්පච්චිලා සැබෑ රිපබ්ලිකන්වරුන් ද? දැන් දින 2 කට පෙර ආයුධ සන්නද්ධව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වැටලුවේ රිපබ්ලිකන්වරුන්ද? පච්චා කොටාගෙන අව් කණ්නාඩි දාගෙන හාලි වේඩිඩ්සන් පදිමින් කල්ලන් දුටු තැන පහර දුන්නේ රිපබ්ලිකන්රවුන්ද? නැත! ඓතිහාසිකවම රිපබ්ලිකන්වරුන් යනු මැරයන් නොවේ. ඔවුන් ප්‍රවුඩ් බෝයිස්ලා මෙන් පොලු මුගුරු තබාගෙන ට්‍රම්ප්ගේ ඕඩරය එන තෙක් ‘ස්ටෑන්ඩ් බැක් ඇන්ඩ් ස්ටෑන්ඩ් බයි‘ සිටිනවුන් නොවේ. රිපබ්ලිකන් පක්ෂය යනු ඇමරිකාවේ Grand Old Party හෙවත් GOP හෙවත් පැරණි-උදාර පක්ෂයයි.

ජනතාව වහල් බවෙන් මුදා ගැනීමේ පනත ගෙන ආ, සියවස් ගණන් පැරණි වහල් බවේ යදම්වලින් කළු ජාතිකයන් නීතියේ ඉහළම තැනින් මුදා හළ ඒබ්‍රහම් ලින්කන් ද රිපබ්ලිිකන් පාක්ෂිකයෙකි. ප්‍රජාතන්ත්‍රවාදයේ දෙවොල බවට ඇමරිකාව පත් කළ බොහෝ නායකයෝ ද රිපබ්ලිකන්වරුන් ය. ලෝක යුද්ධ අවසාන කර ලෝකය බේරාගැනීමට මැදිහත් වූවෝ ද ඇමරිකාවේ රිපබ්ලිකන් ජනපතිවරුන් ය. පැරදුණු විට සාමකාමී ලෙස ජයග්‍රාහකයාට සුබ පතා ගෙදර ගියේ ද රිපබ්ලිකන් ජනපතිවරුන් ය.

ඇත්තෙන්ම අද වන විට ‘‘බෑ බෑ මට යන්න බෑ‘‘ සිංදුව රැප් කරමින් කියන ට්‍රම්ප් පවා රිපබ්ලිකන්වරයෙක් නොවේ. ඔහුට දේශපාලන ඉතිහාසයක් හෝ දැනුමක් නැත. ඔහුට ගැහැණුන් පෙන්නන්නට බැරි ය. ඔහු ඇමරිකානු දේශපාලනයේ පැරෂුට්කාරයෙක් විය. වරක් ට්‍රම්ප් තමන්ව හඳුන්වා දුන්නේ ‘අයැම් ද කිං ඔෆ් ඩෙබ්ට්‘‘ (‘‘මම තමයි ණයගැති බවේ රජ්ජුරුවෝ‘‘) යනුවෙනි. අවම වශයෙන් ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්වත් නොවේ. ජනපති මුක්තියෙන් ඔහු මේ සිව් වසර තුළ සිරගෙදරින් බේරී සිටි ඔහු, 2016 ජනපතිවරණයේදී රුසියාව සමග එක්ව කළ නාට්‍යය ගැන සිදුකළ මලර් පරීක්ෂණය යටගැසූ ට්‍රම්ප්, හරිනම් රජ ගෙදරින් කෙළින්ම යා යුතුව තිබුණේ හිර ගෙදරට ය.

ට්‍රම්ප් විසින් මහා කලබලෑනියක් සිදුකර 2018 ජූලි මාසයේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයට නාම යෝජනා කළ කැවෙනා විනිසුරු ඔබට මතකද? බ්‍රෙට් කැවෙනාට ට්‍රම්ප් මේ තරම් ප්‍රිය කරන්නට හේතුව ඔහුගේ කොන්සවේටිව් ගතියම පමණක් නොව, ධුරයේ සිටින ජනාධිපතිවරයා කිසිදු විටෙක නඩු පැවරීමට භාජනය නොකළ යුතු යැයි ඔහු තරයේ ඇදහීම බව ද හෙළි වූයේ සෙනෙට් සභාවේ කමලා හැරිස් විසින් ඔහුව නිර්දය ලෙස ප්‍රශ්න කරන විට ය. ඒ ප්‍රශ්න කිරීමේදී පොඩි ළමයෙකු මෙන් ගොත ගැසූ කැවෙනා, ට්‍රම්ප්ගේ පුද්ගලික නීතීඥයා මුණ ගැසී ඇත්දැයි ඇසූ විට ‘මට මතක නෑ!‘‘ යැයි කීවේය. ඉතින් ට්‍රම්ප් යන්නට බෑ කියන්නේ අහේතුකව නොවේ. පැරදෙන්නෙ නම් නෑ යැයි ද, තමන් පැරදුණේ නැහැ යැයි ද, පැරදුණොත් රටින් යනවා යැයි ද ඔහු කියන්නේ නිකංම නොවේ.

[embedyt] https://www.youtube.com/watch?v=3DH8WnLLT4I[/embedyt]

මේ වන විට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මණ්ඩලයෙන් 2/5 ක්ම ට්‍රම්ප්ගේ පත්කිරීම් ය. එය 3/5 ක් වීම අනූ නවයෙන් වැළකුණේ කීර්තිමක් ලිබරල් විනිසුරුවරිය වූ අභාවප්‍රාප්ත රූත් ගින්ස්බර්ග් වෙනුවට ට්‍රම්ප් ගෙන ආ නාමයෝජනාව වූ ඒමි බැරට් ව මේ අල්ල පනල්ලේ පත් කර ගන්නට ට්‍රම්ප් අසමත් වූ නිසා ය. එය ඇමරිකාවේ වාසනාවකට සිදුවූවක්ම වන්නේ, ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් 3/5 ක් ‘ට්‍රම්ප් විනිසුරන්‘වී නම්, මේ ඡන්ද ප්‍රතිඵලය පවා රටේ ඉහළම අධිකරණය හරහා කණපිට ගැස්සවීම ට්‍රම්ප්ට මහ කජ්ජක් නොවන නිසා ය.

කියවන්න –
ඔබාමා විනිසුරෝ, ට්‍රම්ප් විනිසුරෝ සහ යුක්තියේ විනිසුරෝ

ට්‍රම්ප්ගේ කැවෙනා විනිසුරු සහ මහාචාර්යවරියකට කළ ලිංගික අපරාධ

නමුත් ඔහු ‘ධවල මන්දිරය‘ නිකංම නිකං ‘සුදු ගෙදරක්‘ බවට පත් කළේය. සුදු හමේ උජාරුවෙන් සහ වරප්‍රසාදිත බවෙන් හිස උදුම්මවාගත් සුද්දන් රඟන කෝලං මඩුවක් බවට පත් කළෙයෙ. එහි රජ කළේ සුදු ජාතිවාදී බවයි. ගැහැණුන්ට අපහාස කිරීමේ අලුත්ම ඇමරිකානු සංස්කෘතියයි. මෝරෝන්වරයෙකු මෙන්, එසේත් නැතිනම් මද කිපුණු ඇල්ෆා මේල් කෙනෙකු මෙන් ට්‍රම්ප් මේ සිව් වසර තුළ සිදුකළ රංගනය හිරිකිත ය. කාන්තාවන්ට සලකන ආකාරය ගැන, Grab ’em by the pussy යැයි කියමින් පසුව ඒ ගැන පාරම්බාන ආකාරය ගැන 2005  වසරේ වීඩියෝවක් ප්‍රචලිත වූ පසුවත් ඔහුගේ කල්ක්‍රියාවේ වෙනසක් සිදුවූයේ නැත.

[embedyt] https://www.youtube.com/watch?v=2IG_1h7i12k[/embedyt]

තමන්ට අවාසි පුවත් පළ කරන සියලු ප්‍රවෘත්ති නාලිකාවලට ‘ෆේක් නූස්‘ යැයි මොරගෑවේද, චීන සම්භවයක් සහිත මාධ්‍ය වේදිනියන්ට පොළොව පළාගෙන යන්නට හිතෙන ජාතියේ අවලම් කතා ප්‍රසිද්ධියේ කීවේ ද මේ ට්‍රම්ප් ය. උතුරු කොරියාවට ගොස් කිම් ජොන් උන් සමග ශීර්ෂපාඨ මැව්වේත්, ඉන්පසු ‘ඊට වඩා ලොකු බොත්තමක් මං ළඟ තියෙනවා‘‘ වැනි දෙපැත්ත කැපෙන සාහසික කතා කියමින් ප්‍රසිද්ධියට පත් වුණේත් ට්‍රම්ප් ය. (කියවන්න – කලකදි වහ – කලකදි රහ වෙනවාලු )
ඒවායේ පමණටත් වඩා සාක්ෂි අන්තර්ජාලය පීරන විට ඔබට සොයාගත හැකි වනු ඇති අතර, අප ද ගතවූ සිව් වසර තුළ පමණටත් වඩා ඒවා ගැන ලියා තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=eG0gQqx7tCk[/embedyt]

‘‘තක්කඩියාගේ අවසන් බංකරය දේශප්‍රේමයයි‘‘ – සැමුවෙල් ජොන්සන්

ඔහු නිසා ඇමරිකාව විඳවන්නට පටන් ගත්තා පමණි. 2020 නොවැම්බර් 4 වැනිදා ඇමරිකාවට ඉවත් වන්නට සිදුවුණේ එදා 2015 වසරේදී ඔබාමාගේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සිය මිනිබිරිය ද ඇකයේ හිඳුවාගෙන අත්සන් කළ පැරිස් සම්මුතියෙනි. ඔහු පොරොන්දු කියා ඉටු කළේ එවැනි දේවල් ය. බලයට පත් වූ වහාම මෙක්සිකානු දේශසීමාව හරහා තාප්පයක් ගසන බවත්, ඒ තාප්පයට සල්ලි ගෙවිය යුත්තේ මෙක්සිකෝව බවත් කියමින් ඔහු පුවත් මැව්වේය. මේ විකාර අදහසට සෙනෙට් අනුමැතිය නොලැබෙන විට රට දෙවතාවක් ෂට් ඩවුන් කළේය. ඔහු හැමවිටම මැතිරෙව්වේ දේශප්‍රේමයක් ගැන ය. රාජ්‍ය ආරක්ෂාවක් ගැන ය. ‘‘තක්කඩියාගේ අවසන් බංකරය දේශප්‍රේමයයි‘‘ යන සැමුවෙල් ජොන්සන්ගේ කියමනට ජීවමාන උදාහරණය වූයේ ට්‍රම්ප් ය.
කියවන්න – ට්‍රම්ප් ඉටු කළ පොරොන්දු, ඉටු නොකළ පොරොන්දු සහ අත්හැර දැමූ පොරොන්දු

ධවල මන්දිරය කෝවිඩ් ගුහාවක් බවට

අවසානයේ කොරෝනා වසංගතයට ඔහු ද ගොදුරු වූ විටත්, ධවල මන්දිරය කෝවිඩ් ගුහාවක් බවට පත් කළ පසුවත් ඔහුගේ උද්ධච්ච කමට සීමාවක් තිබුණේ නැත. රටේ දෙලක්ෂ තිස් දහසක් කෝවිඩ් වසංගතයට බිලි වී සිටියදී ඔහු හැසිරුණේ රෝගය පරාජය කළ හර්කියුලිස් කෙනෙකු ලෙස ය. අවසානයේ 2020 ජනාධිපතිවරණයේ ජෝ බයිඩන් හට තීරණාත්මක ජයග්‍රහණය අත් කර දුන් ප්‍රතිඵලය නිකුත් වන දිනයේම ජෝන් හොජ්කින්ස් සරසවිය පැවසුවේ, ඇමරිකාව තුළ කෝවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව කෝටියක් දක්වා වැඩි වී ඇති බවයි.

වසරකට ඩොලර් හැත්තෑදාහක් කොණ්ඩය සකසන්නට වැය කරන මේ 74 හැවිරිදි බල කාමියාගේ වියරුවේ අවසානය මෙය නොවනු ඇත. නමුත්, ඔහු තවත් වසර 4 ක් බලයේ සිටියා නම් ලියන්නට සිදුවනු ඇත්තේ ඇමරිකාවේ මරණ සහතිකයයි.

මිලියන 70 ක ‘ට්‍රම්ප් පැටව්‘ සහ ආසියාවේත් පොඩි පොඩි ට්‍රම්ප්ලා

නමුත් ට්‍රම්ප් තබා යන ලෙගසිය සුළුපටු නැත. ට්‍රම්ප් බිහිකළ ‘ට්‍රම්ප් පැටව්‘ ගණන සුළුපටු නැත. මිලියන 70 ක ජනතාවක් ඔහුව එන්ඩෝස් කර ඇති බව අප අමතක නොකළ යුතුය. ඔහුගේ මාධ්‍ය ලේකම්වරියන් වශයෙන් සිටි චරිත ඔබට මතක් කර ගත හැකි නම්.. ෂෝන් හකබිගෙන් පසුව ට්‍රම්ප් අසලින්ම සිටින කේලි නමැති 30 හැවිරිදි ප්‍රෙස් සෙකට්‍රිගේ ශරීර භාෂාව (body laungage) කියවාගන්නට ඔබට හැකි නම්, මේ වසර 4 තුළදී දුසිම් ගණන් ට්‍රම්ප් පැටව් බිහි වී ඇති බව ඔබ දකිනු ඇත. දැන් බයිඩන්ලාට – කමලා හැරිස්ලාට තිබෙන පළමු අභියෝගය වන්නේ ට්‍රම්ප් ඉතිරි කර ගිය ලෙගසියේ ඒ මූලධාතූන් ආමන්ත්‍රණය කිරීමයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුව ඇත්තේ සුළුපටු විනාශයක් නොවේ. සිය ජයග්‍රාහී කතාවේදී බයිඩන් කියන්නේ ‘දැන් සුවපත් වීමට කාලයයි‘ කියා ය. නමුත් ට්‍රම්ප් නමැති නිදන්දගත රෝගය සුවපත් කිරීම එක රැයකින් කළ හැකි දෙයක් නොවේ.

එදා 2016 වසරේදී තමන් ජයගනීවි යැයි ට්‍රම්ප්වත් සිතුවේ නැත. අද 2020 දී ගෙදර යන්නට සිදුවේ යැයි කියා ද ඔහු සිතුවේ නැත. නොඑසේ නම් එකොළොස් වැනි පැයේ පොම්පියෝලා ද ලංකාවට එන්නේ ද නැත. නොවැම්බර් 4 වැනිදා ළං වන විටත්, ප්‍රතිඵල නිකුත් වීමට තිබියදීත් ඉන්දියාවේ පවා ට්‍රම්ප්ගේ ජය පතා යාගහෝම පැවැත්වීම විසින් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පැටවුන් දේශසීමා බාධක නොතකා ලෝකය පුරා රැල්ලක් සේ බෝ වූ බවයි. ඔවුන් කීවේ ත්‍රස්තවාදයෙන් රට රැක ගන්නට නම් ලෝකයේ සිටිය යුත්තේ ට්‍රම්ප් වැනි නායකයන් බව ය. නමුත් අවසානයේ ත්‍රස්තවාදයෙන් නොව, වෛරසයකින්වත් රට රැක ගන්නට ඔහුට නොහැකි වී තිබෙන්නේ, කෝවිඩ්-19 න් ලෝකයේ වැඩිම මරණ ගණන සිදුවූ රට බවට ඇමරිකාව පත් කරමිනි.

ඊයේ දිනයේ ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කෙල්, ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා වන ජෝ බයිඩන් හටත්, ඇමරිකානු ඉතිහාසයේ පළමු උප ජනපතිවරිය වන කමලා හැරිස් හටත් සුප පැතුවේ C3 හෙවත් Covid, Climate සහ China නමැති ඇමරිකාව හමුවේ පවතින නූතන අභියෝග ගැන සිහිපත් කරමිනි.

බෙහෙවින් ට්‍රම්ප් විරෝධී ලිපි අප විසින් ලියන බවට අපට චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ. ‘‘ඕව කවුද කියවන්නෙ? ඇමරිකාව ගැන ඔච්චර මොකට ලියනවද?‘‘යනාදී වශයෙන් අප අතර සිටිවුන් විසින්ම පැවසූ අවස්ථා ද එමට ය. නමුත් අප දිගින් දිගටම මේවා විවේචනාත්මක ව පාඨක ඔබ වෙත ගෙන ආවේ ඒ වියරුව අප කලින්ම දුටු නිසා ය. තවද අප විදෙස් පුවත් කියා ‘හෙඩ්ලයින් නිව්ස්‘ වාර්තා කරන වෙබ් අඩවියක් නොවේ. මතයක් සමාජගත කිරීමට අවශ්‍ය වූ විට, එය විවේචනාත්මකව ඉදිරිපත් කිරීම අපගේ සිරිතයි. හුදු ප්‍රවෘත්තියක්, පුවත් විශේෂාංගයක් සහ විශේෂාංගයක් අතර වෙනස අපි හොඳින් හඳුනමු.

ඉදිරිය ලෙහෙසි නැත. එක රැයකින් සිහින එළි නොවේ. නමුත් අවම වශයෙන් ට්‍රම්ප් දෙවන වර තේරී පත්වීම නමැති බියකරු සිහිනය නවතාගන්නට ජනතාව සමත් වී තිබේ. කරවටක් ගොහොරුවක ගිළුණු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් එක් පියුමක් හෝ පිපෙන්නට නම්, ට්‍රම්ප් – ඔබ යන්න – නැවත නොඑන්න!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි