×

ට්‍රම්ප් ජනපද 3 කට නඩු දමද්දී සන්සුන්ව සිටින්නැයිජෝ බයිඩන් ජනතාවගෙන් ඉල්ලයි

රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්, පෙන්සිල්වේනියා, ජෝර්ජියා සහ මිචිගන් ජනපදවල ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියට එරෙහිව නඩු දමා තිබියදී ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්, සන්සුන් ව සිටින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


නඩු පැවරීම මගින් ට්‍රම්ප් ඉල්ලා සිටින්නේ එම ජනපදවල ඡන්ද ගණන් කිරීමේ කටයුතු නිරීක්ෂණයට වැඩි ප්‍රවේශයක් ලබාදෙන ලෙස ය.

ප්‍රකාශ නොකළ ඡන්ද සහ තැපැල් ඡන්ද ගණන් කිරීමේදී ‘අති දැවැන්ත වංචාවක්‘ සිදුවන බව ඔහු ඊයේ දිනයේ ද ප්‍රකාශ කළේය.

නමුත් මේ ප්‍රකාශවලට කිසිදු සාක්ෂියක් හෝ පදනමක් ලබාදෙන්නට ඔහු සමත් වූයේ නැත.

සති ගණනක් සූදානම් වෙලා

මේ අතර ඇසෝෂියේටඩ් පුවත් සේවය අනාවරණය කරන්නේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වන අතරවාරයේ ට්‍රම්ප් මෙවැනි දෙයක් කිරීමට සති කිහිපයකට පෙර සිටම සැලසුම් කර තිබූ බවයි. තමන් එකී ජනපදවලින් පරාජයට පත් වන බවක් පෙනී ගියහොත්, ඡන්ද ක්‍රියාවලියේ අවංකභාවය ප්‍රශ්න කිරීමට ඔහු සැලසුම් සකස් කරගෙන තිබේ.

විස්කොන්සින් ජනපදයේ ඡන්ද නැවත ගණන් කළ යුතු බව ද ට්‍රම්ප් පාර්ශවයේ අදහසයි. ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානී බිල් ස්ටෙපියන් ද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින් පවසා තිබෙන්නේ විස්කොන්සින් හි ප්‍රදේශ කිහිපයකම මැතිවරණ වංචාවන් සිදුවූ බව ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් බයිඩන් පැවසුවේ, ‘‘සියලු ජනපදවල ඡන්දය දිගටම ගණන් කළ යුතුය. කිසිවෙකුට අපේ ප්‍රජාතන්ත්‍රවාදය අපෙන් උදුරා ගැනීමට ඉඩ නොතබමු‘‘ යනුවෙනි.

කෙසේ වෙතත් ට්‍රම්ප් දිගින් දිගටම පවසන්නේ, ‘‘තැපැල් ඡන්ද ගණන් කිරීමේදී අති දැවැන්ත වංචාවක් සහ දූෂණයක් සිදුව ඇති බව‘‘ ය.

මේ වන විට තැපැල් ඡන්ද ගණන් කෙරෙමින් තිබෙන ජනපද වන්නේ ඇරිසෝනා, ජෝර්ජියා, නෙවඩා සහ පෙන්සිල්වේනියාවයි.

මේ අතරින් බයිඩන් නෙවඩා සහ පෙන්සිල්වේනියාවේ ඩිමොක්‍රටික් ස්ථාවරය තහවුරු කර ගනිමින් පසුවෙයි. තවද ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපදවල ද ට්‍රම්ප් සමග පැවති පරතරය පියවෙමින් තිබේ.

ට්‍රම්ප් කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටි ජනපදයක් වන ඇරිසෝනා සම්බන්ධයෙන් ඊයේ දිනයේ කියා තිබුණේ, ‘‘ඒකෙ ඡන්ද ගණන් කෙරෙන හැටි ප්‍රශ්නයක් නෑ‘‘ යනුවෙනි.

නමුත් අද දිනය වන විට එහි ද බයිඩන් ඉදිරියට එමින් තිබේ.

‘‘අවසානයේ විනිසුරුවරුන් ජයග්‍රාහකයා ව තීරණය කරයි‘‘ යනුවෙන් ට්‍රම්ප් නීතිමය වශයෙන් 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අවුරා දැමීමේ උත්සාහයේ තවදුරටත් නිරත ව සිටියි.

දැනට පවතින තත්වය අනුව, බයිඩන් ඇරිසෝනා හෝ උතුරු කැරොලිනා, නෙවඩා සහ ජෝර්ජියා ජනපදවලින් ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි ඡන්ද 2 ක් බැගින් දිනාගැනීම සෑහෙයි.

එසේ නැතිනම් පෙන්සිල්වේනියා ජනපදය දිනාගැනීම පමණක් වුවත් ජයග්‍රහණය සඳහා සෑහෙයි.

නමුත් ට්‍රම්ප් ජයගන්නට නම් ඔහු ඉහත කී ජනපද හතරෙන් ඡන්ද 3 බැගින් ජයගත යුතු අතර, එයට අමතරව පෙන්සිල්වේනියා ජනපදය ද අනිවාර්යයෙන් ජයගත යුතුව තිබේ.

මේ අතර, ට්‍රම්ප් විසින් ඇරිසෝනා, නෙවඩා, උතුරු කැරොලිනා සහ පෙන්සිල්වේනියා යන ජනපද 4 ම ජයග්‍රහණය කළහොත්, ප්‍රතිඵලය සම වනු ඇත!

වසර 120කට පසු ඇමරිකානු ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වන 66.9%ක් වාර්තා වී තිබෙන්නේ මෙවර ය.

පෙර ලිපිය
ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් වීමට තිබෙන ජනපදවලත් බයිඩන් සෙමෙන් ඉදිරියෙන්

ඇමරිකානු මැතිවරණය 2020 : ප්‍රතිඵල නිකුත් වීමට තිබෙන ජනපදවලත් බයිඩන් සෙමෙන් ඉදිරියට

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020
https://outboundtoday.com/tag/uselection2020/



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි