×

ට්‍රම්ප් ධවල මන්දිරයෙන් නික්ම යයි – බයිඩන්ගේ පදවි ප්‍රාප්ති උත්සවය මග හරියි

මෙයට සුළු මොහොතකට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් නික්ම ගියේය.


ඔහු මලානියා ට්‍රම්ප් ද සමග ෆ්ලොරිඩාවේ පිහිටි සිය නිකේතනයක් බලා ගියේ, ඇමරිකානු ඉතිහාසයේ මතභේදාත්මකම ජනපතිවරයෙකු ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය මග හරියි

මේ අනුව ට්‍රම්ප් ධවල මන්දිරයෙන් වේලාසනින්ම සමුගෙන යන්නේ, බයිඩන්ගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම ද ප්‍රතික්ෂේප කරමිනි. මෙයට පෙර සිය අනුප්‍රාප්තිකයාගේ පදවි ප්‍රාප්ති උත්සවය මගහැරි ඇමරිකානු ජනාධිපතිවරයෙකු සිටියේ නම් ඒ, දෝෂාභියෝගයට ලක් කළ ඇන්ඩෘෘ ජොන්සන් පමණි. ඒබ්‍රහම් ලින්කන් ඝාතනයෙන් පසුව- සිවිල් යුද්ධයේ අවසාන අවධියේදී ජනපති පදවියට පත් වූ ඔහු ද ට්‍රම්ප් මෙන්ම සමත් වූයේ එක් ධුර කාලයක් බලයේ රැඳී සිටීමට පමණකි.

මේ අතර, බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට පෙර ට්‍රම්ප්, සමුගැනීමේ සාදයක් ද පවත්වන්නට සැලසුම් කරගෙන සිටියි.

ධවල මන්දිරයේ රතු පලස මැදින් ඇවිද ආ ට්‍රම්ප් සහ මෙලනියා වෙනුවෙන් ලැබුණේ ද සාපේක්ෂව කුඩා මාධ්‍ය ආවරණයක් පමණි.

විසි පන් දහසක භටයන් විසින් මුරකාවල් යොදා ඇති පුරයක් බවට වොෂින්ටනය පත් කරමින්, ට්‍රම්ප් මෙසේ නික්ම යන්නේ ඇමරිකානු ඉතිහාසයේ දෙවරක් දෝෂාභියෝගයට ලක් කළ පළමු ජනාධිපතිවරයා වශයෙන් ද වේ.

සෙනෙට් සභාව ඉදිරියේ පෙනී සිටින්නට ට්‍රම්ප්ට සිදුවේවි

කෙසේ නමුත් දෝෂාභියෝගය පිළිබඳ නීතිමය කාරණා තවදුරටත් සිදුකෙරෙමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් සෙනෙට් සභාව ඉදිරියේ පෙනී සිටින්නට ට්‍රම්ප් හට සිදුවනු ඇත. කැපිටල් හිල් ප්‍රචණ්ඩත්වය හා සබැඳි මෙම පරීක්ෂණයෙන් ට්‍රම්ප් අසමත් වුවහොත්, ඔහුට ජීවිතාන්තය දක්වා කිසිදු මහජන නිලයක් දැරීමට ද නොහැකි වනු ඇත. ඒ තීන්දුව සඳහා 2/3 ක බහුතර සෙනෙට් බලයක් අවශ්‍ය වන අතර, එහි තේරුම වන්නේ අවම වශයෙන් රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් 17 දෙනෙක් ඩිමොක්‍රටික්වරුන් සමග එක්ම ට්‍රම්ප්ට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතුව ඇති බවයි.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි