×

ඩිමෙන්ෂියාවේ, ආදරයේ සහ අනුකම්පාවේ නිවස්නය

සුඛිත මුදිත වීම පිළිබද සිහිනයෙන් නගරය මිදී තිබේ. මේ, ලෝකයෙන්ම කොන් කර දැමූ ප්‍රජාවක කතාන්දරයයි


මෙක්සිකෝවේ එල් පැස්ටර් පිහිටා තිබෙන්නේ සියුඩාඩ් ජුවරෙස් හි ය. එහි වෙසෙන එක් මිනිසෙක් ‘මම මව්බිමට ආදරය නොකරනවා නොවේ’ යැයි කියන්නේ වරදකාරී හැගීමකිනි. එය සැබෑවකි. සියුඩාඩ් ජුවරෙස් තරම් මනරම් අන් නුවරක් ඔහුට නොවේ . නමුත් මෙක්සිකානු ආණ්ඩුව ඒ නුවරට දියුණුවීමට අවස්ථාවක් ලබා නොදෙන්නා සේ ය.

ඔහු හැට එක් හැවිරිදි ජොසේ අන්තෝනියෝ ගල්වානි ය. හැට එක් හැවිරිදි ය. වීදියේ වසනා මානසික රෝගීන් වෙනුවෙන් රක්ෂාස්ථානයක්ඉදි කළ තනි මිනිසා ඔහු ය. එය ඔහු විසින් නොව රජය විසින් කළ යුත්තක් බව මෙයට සිව් වසරකට පෙර ඔහු අමතක කළේය.

මෙක්සිකෝව මත්රකුසාට බිලිවූ ජාතිකයකි. ඒ ගැන වාදයක් ‍හෝ විවාදයක් නැත. සියුඩාඩ් ජුවරෙස් ද එයට වෙනස් නො‍වේ. එහි ජනතාවගෙන් 4.5%ක්ම මත් රකුසා නිසා මානසික ලෙස රෝගී වූවන් ය. එනම් මනෝව්‍යාධිකාරක මත් උවදුරේ ගොදුරු බවට පත්වූවන් ය. මෙක්සිකානු නගර වීදිවල සුනඛන්ට පවා හිමිකම් තිබෙතත් මත් උවදුරේ ගොදුරු බවට පත්වූ මනුෂ්‍යයන් හට හිමිකම් නැතැයි අන්තෝනියෝ කියන්නේ ඒ නිසා ය.

සමාජය විසින් සම්පූර්ණයෙන්ම කොන් කරන ලද සහ නොසලකා හරින ලද මේ ප්‍රජාව තමන්ගේම දුකින් සහ රෝබියෙන් පිරුණු තමන්ගේම ලෝකවල තනි වී සිටිති. ඔවුහු මහ දවාලේ වීදි වල, බිමට නැඹුරුකරගත් හිසින් යුතුව මළවුන් සේ සැරිසරති. ඔවුන් ළග දෙවියන් නැත. නොපෙනෙන මිනිසුන් සේ ය. ජාතියක් ද නැත. උන්මත්තකයන් සේ ඔවුන් හැදින්වීම පහසු වුවද උන්මත්තක භාවය ඉක්මවා ගිය අසරණකමක්ද ඔවුන් වෙත වේ. ඔවුන්ට පුරවැසිකමක් නැත. නම් පවා නැත. සුනඛයන් සේ යකඩ කූඩුවල ලැග, අරමුණක් නැතිව විමසිල්ලෙන් බලා සිටිති.

ඔවුන්ගෙන් ඇතැමෙක් වයස අවුරුදු විසි ගණන්වල පසුවන තරුණයන් ය. තවකෙක් අවුරුදු හැට ගණන්වල පසු වේ. ‘කැමැත්තෙන් උමතු වන්නේ කවුද?’ ඒ ප්‍රශ්නය අන්තෝනියෝගෙනි. මේ මිනිසුන්ව සමාජය විසින් නොසලකා හැර තිබෙන්නේ කැමැත්තෙන් උමතු වූවන් සේ සලකා ය. රජය විසින් ඔවුන්ව අත්හැර තිබෙන්නේ තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති, ආගන්තුක වරදක් ‍හෝ හේතුවක් නිසා ඔවුන් මානසික රෝගීන් වූවා සේ සලකා ය.

ශිෂ්ට සම්පන්න යැයි කියන සමාජය ඔවුන් දැකීමෙන් ප්‍රකෝප වන්නට ඉඩ තිබේ. සැබෑවකි. ඔවුන් ට පිරිසිදුකම ගැන කිසි හැගීමක් නැත. වාඩි වී හෝ නිදාගෙන සිට ඉන්පසු නැගිටගියවිට මැස්සෝ එතැන අරක් ගනිති. පුද්ගලික අවකාශයක් ඔවුන්ට අවශ්‍ය නැත. මනා ලෙස ඉඩ කඩ තිබෙන ශාලා තිබියදීත් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පටු කාමරවල සතුන් රැලක් මෙන් ගාල් වෙති. එහෙත් වැරදීමකින්වත් තවකෙකුගේ මුහුණක් දෙස නොබලති.

මෙයට සිව් වසරකට පෙර අන්තෝනියෝ සිත්තරෙකි. තමන්ට දැනෙන හැගෙන දේ බිත්ති මත සිත්තම් කළ අයෙකි. ඔහුගේ රක්ෂාස්ථානයේ එක් කොටසක් බිතු සිතුවම්වලින් වැසී ඇත. ඒවා‍යින් සමහරක දැක්වෙන්නේ ජේසු තුමා අසල සිටින ඇටසැකිළි වන් මිනිසුන් ය. මෙක්සිකානු ජනතාව අත්දකින පීඩනය නිතරම ඒවාට වස්තුබීජ වේ. මාධ්‍යයට වසං කළ නොහැකි සත්‍යය ඔහුගේ සිතුවම්වලින් දැක්වේ. මෙක්සිකෝව ජාතියක් වශයෙන් මත් ජාවාරමෙන් බැට කමින් සිටියි.එනිසා සිතුවම්වලදී ඔහු සිය නගරය ඇටසැකිළි පුරයක් ලෙසින් දක්වයි. එය තිබෙන්නේ යක්ෂයාගේ දෑත් තුළ ය. යක්ෂයාට මෙක්සිකෝව සමග විශේෂ ඥාතිකමක් තිබේ යැයි අන්තතෝනියෝ කියයි. ඇමරිකා එක්සත් ජනපදය ඒ යක්ෂයාට උල්පන්දම් දෙන්නා සේය.

සෑම දෙයකටම ‍ආරම්භයක් තිබේ. සෑම දෙයකටම හේතුවක් ද තිබේ. එකම මෙක්සිකෝව තුළින් මත් ජාවාරම්කරුවන් සහ මත් ජාවාරමේ ගොදුරු බිහිවන අතර අන්තෝනියෝ කෙනෙක්ද බිහිවුණේ කෙසේද? තමන්ද අතීතයේ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේ යැයි අන්තෝනියෝ කියයි. ටෙකීලා, කොකේන්, බීර සහ ගැහැනුන් ඔහුගේ ජීවිතයේ නැතිවම බැරි සංරචක බවට පත්වූ යුගයක් විය. මත් භාවිතය නිසා තමන් මානසිකව අසමතුලිත වන බව ඔහුට පුද්ගලිකව දැනුණේය. අන්තෝනියෝ දෙවියන් වහන්සේ හෝ ක්‍රිස්තියානිය නොඅදහන්නෙක් බවට කෙමෙන් පත්විය. එකල එල් පාසෝ හි ඇලිගේටර උද්‍යානයේ දහම් දේශනාකරන්නක් සිටියේය. මත් විපාක කෙමෙන් හිස ඔසවන විට ඔහුට දැනුණේ තමන් වහාම මේ මිනිසා මරා දැමිය යුතු බවකි. දිනක් බීර බෝතලයක් හිස් කළ ඔහු, එම බෝතලයෙන් අර මිනිසාගේ නළල් තලයට දමා ඇන්නේය. නළල් තලය ගැඹුරට කැපීගිය අතර ලේ ගලන්නට විය. ලේ දුටු අන්තෝනියෝ පළායාමට උත්සාහ කළද ධර්මය දෙසූ පුද්ගලයා එයට ඉඩක් තැබුවේ නැත. ඔහු අන්තෝනියෝගේ හිසෙන් අල්ලාගෙන අන්තෝනියෝ‍ වෙනුවෙන් යාඥා කරන්නට පටන් ගත්තේය. ‘ඒක දිව්‍යමය නිමේෂයක්’ යැයි අන්තෝනියෝ පවසයි. ඒ මොහොතේ ඔහුගේ ජීවිතය සහ ඉරණම සපුරා වෙනස් විය. වෙනස ඇරඹුණේය. දෙවියන් වහන්සේ තමන්ගෙන් ඉල්ලා සිටින දෙය ඔහු වටහාගත්තේය. මත් රකුසාට ගොදුරු වූවන් වෙනුවෙන් රක්ෂාස්ථානයක් ඇරඹීමට ඔහු පෙළඹුණේ එසේය.

දැන්, එල් ජුවරෙස් හි කාන්තාරය තුළට වන්නට සැතපුම් 35ක් දුරින් පිහිටි සිය අනාථ නිවාසය වෙත ඔහු පිවිසෙත්ම ‘තාත්තා..’ යැයි කියමින් ඔහුව වැළදගන්නට පුනරුත්ථාපනය වෙමින් සිටි තරුණයෝ දුව එති. ඉන්පසු ඔවුහු ඔහුව සෙනෙහසින් වැළද ගනිති. අත්පොළසන් දෙති. එනිනෙකාට සිනාමුසු මුහුණින් යුතුව ඔහුව‍ පෙන්වා සැගවෙන්නෝද වෙති. අන්තෝනියෝ අසලට දුවඑන්නට වරම් නැත්තේ කලහකාරී බව හේතුවන් යකඩ කූරුදැමූ කුටි තුළ රදවා තබා සිටින අල්පයක් දෙනා පමණි.

In this July 25, 2019, photo, a Cuban man looks at a computer screen as others lay around the patio at El Buen Pastor shelter for migrants in Cuidad Juarez, Mexico. (AP Photo/Gregory Bull)

අන්තෝනියෝ ගේ රක්ෂාස්ථානයේ සිටින නේවාසිකයෝ ද ‍තමන් වැනි‍ සෙස්සන් කෙරෙහි හැකි පමණ උපකාර කිරීමට හුරු වී සිටිති. හෙ‍රොයින් පුනරුත්ථාපනය සදහා පැමිණි අයෙක් දිනපතාම සෙසු රෝගීන්ගේ කන් ශුද්ධ කිරීමේ රාජකාරිය භාරගෙන සිටියි. රෝගීන් අසලට ගොස් බයිබලය කියවන්නෙක් ද වේ. ‘යාළුවා., කොහොමද..?’‍රෝගී අර්නෙස්තෝගේ කර වටා අතක් දමනා ඔහු විමසන්නේ සිනා මුසු මුවෙනි. ‘ඔවුන් ළගට යන්න. ඔවුන්ට කතා කරන්න’යැයි අන්තෝනියෝ කියයි. මෙහි සිටින සිය දෙනාගෙන් අසූ දෙනෙක්ම අනාථයන් ය. විසි දෙනෙකු බැලීමට පමණක් පවුලේ කෙනෙක් ඉදහිට පැමිණෙයි.

‘මෙ‍තැන රෝගීන් නැහැ. ඉන්නෙ එක පවුලක්. අපි හැමෝම සමානයි.’ ඩිමෙන්ෂියාවේ, ආදරයේ සහ අනුකම්පාවේ නිවසේ ගෘහමූලිකයා වන අන්තෝනියෝ පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි