×

තව වසර 500 කින් පසු පෘථිවිය මොන වගේ වේවිද?

තව සියවස් පහකින් මේ මිහිතලයේ ඉරණම කුමක් විය හැකිද?


වසර 500 ක් පෘථිවියේ ආපස්සට ගමන් කළ හැකි නම් මධ්‍යම ඇමරිකාවේ ඇස්ටෙක් රාජධානිය පිබිදෙමින් තිබු අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. පුනරුද යුගයේ යුරෝපයේදී පින්තාරු කළ මොනාලිසා චිත්‍රයේ තීන්ත තවම වේළී නැති බව ද ඔබ දකිනු ඇත. උතුරු අර්ධගෝලය වසා පැතරගෙන තිබෙන්නේ අධිකතර ශීතල බව ද ඔබට දැනෙනු ඇත. මෙය වනාහී කුඩා අයිස් යුගය Little Ice Age (ක්‍රි.ව. 1300 සිට 1850 දක්වා) සහ නව සොයාගැනීම්වල යුගය (Age of Discovery) මිහිමත රජකළ සමයයි.

නමුත් අප මෙතැන් පටන් වසර 500 ක් ඉදිරියට ගොස්, එනම් 26 වන සියවසේ පෘථිවිය ගැන සිතුවහොත්… ? 16 සහ 21 සියවස් දෙක අතර තිබෙන වෙනසට සමාන වෙනසක් එදාට අපට බලාපොරොත්තු විය හැකිද? පටන් ගැන්මක් විදිහට මෙසේ සිතමු. පෘථිවිය මත දේශගුණය මොන වගේ තියේවිද?

එයට පිළිතුර, ඔබ මේ ප්‍රශ්නය අසන කෙනා අනුව වෙනස් විය හැකියි. මීට වඩා ශීතල හෝ උණුසුම් පෘථිවියක් අපට හිමි ව තිබේවි කියා එවිට පිළිතුරු ලැබේවි. උදාහරණයක් විදිහට, ඇතැම් සෞරග්‍රහ මොඩියුල මගින් යෝජනා කරන ආකාරයට, වසර 2500 යුගයේ පෘථිවියේ දේශගුණය, කුඩා අයිස් යුගයේ දේශගුණය වෙත ළඟා වී තියේවි [source: Perry]. තවත් අධ්‍යයන මගින් කියන්නේ පොසිල ඉන්ධන දහනයේ ප්‍රතිවිපාක විඳීම නිසා වසර 2300 වන විට පෘථිවියේ උෂ්ණත්වය මනුෂ්‍යයාට දරාගත නොහැකි තරමට ඉහළ යනු ඇති බවයි. [source: AFP].

මනුෂ්‍යයා නිසා සිදුවන දේශගුණික විපර්යාසවල ආරම්භය 1800 යුගයේ කාර්මික විප්ලවය දක්වා ඈතට දිවෙන බව ඇතැම් විශේෂඥයෝ කියති. ඇතැමුන් මේ සඳහා චෝදනා කරන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසා විසින් කෘෂිකර්මාන්තය සඳහා වන විනාශය සිදුකිරීම වෙතයි. කොහොම වුණත්, මේ කුමන හෝ ක්‍රමයක් හේතුවෙන්, මෙවලම් අත දරා සිටි මිනිසා නිසා පරිසරයට හානි සිදුවුණා. ඒ නිසාම 26 වන සියවස මනුෂ්‍යයාට අතිශය තීරණාත්මක කාලපරිච්ඡේදයක් වේවි.

සෛද්ධාන්තික භෞතික විද්‍යා විශේෂඥයෙක් සහ අනාගතය දකින්නෙක් වන මිචියෝ කාකු (Michio Kaku) අපෝහණය කරන්නේ මිනිස් වර්ගයා, කාර්දෂෙව් පරිමාණයේ
(Kardashev Scale) ඉදිරි වසර 100 ක් වැනි සුළු කාලයක් ඇතුළත ‘0 ගණයේ (Type Zero) ශිෂ්ටාචාරයක සිට 1 ගණයේ (Type One) ශිෂ්ටාචාරයක් වෙත ගමන් කරන බව‘යි. වෙනත් වචනවලින් කියන්නේ නම්, මිනිසා නමැති ජීවි විශේෂය, ග්‍රහලෝකයක සකල බලශක්තියෙන් සන්නද්ධ වී සිටින ජාතියක්/ජීවි විශේෂයක් බවට පත්ව සිටීවි. එවැනි බලයකින් සන්නද්ධ වීම නිසා 26 වන සියවසේ මනුෂ්‍යයන් සූර්ය බලය සහ විලයනය ( fusion) වැනි පිරිසිදු බලශක්ති මූලයන් ගැන විශේෂඥයන් බවට පත්ව සිටීවි. එපමණක් නොවෙයි. ඔවුන් ගෝලීය දේශගුණය පාලනය කිරීම සඳහා ග්‍රහලෝකයේ තිබෙන බලශක්තිය තමන්ට උවමනා පරිදි මෙහෙයවා ගත හැකි අය බවටත් පත් වේවි. අනෙක් අතට, භෞතික විද්‍යාඥ ෆ්‍රීමන් ඩයිසන් පවසන අන්දමට මේ අයුරින් පළමු ගණයේ ශිෂ්ටාචාරයක් බවට මිනිසා පත්වීම, දළ වශයෙන් වසර 200 ක් වැනි කාලයක් තුළ ද සිදුවිය හැකියි.

1500 යුගයේ පටන් තාක්ෂණය පෙර නොවූ විරූ වේගයකින් දියුණු වෙමින් තිබේ. මේ වේගය ඉදිරි සියවස් ගණනාවක් තුළ ද මේ අන්දමින්ම ගමන් කරනු ඇත. සියවසේ බිහිවූ විශිෂ්ටතම භෞතික විද්‍යාඥයා ලෙස සැලකෙන ස්ටීවන් හෝකින් යෝජනා කරන්නේ වසර 2600 වන විට මේ වර්ධනයට අනුව, සෑම තත්පර 10කදීම නව සිද්ධාන්ත සහිත භෞතික විද්‍යා පර්යේෂණ පත්‍රිකා 10 ක් පළවනු ඇත කියා ය!

එසේම ඒ වන විට පරිගණකයේ වේගය සහ සංකීර්ණත්වය සෑම මාස 18කටම වරක් දෙගුණ වීම සිදුවනු ඇත. එවිට මේ පර්යේෂණවලින් ඇතැමක් ඉතා ඉහළ කෘතිම බුද්ධියකින් යුත් යන්ත්‍ර විසින් ද සිදුකළ හැකිය.

26 වන සියවසේදී ලෝකයේ හැඩය වෙනස් කරන සෙසු තාක්ෂණයන් මොනවාද? අනාගතවාදී සහ, ලේඛක ඒඩ්‍රියන් බෙරී විශ්වාස කරන්නේ ඒ වන විට මනුෂ්‍යයාගේ ආයු කාලය වසර 140 ක් දක්වා වැඩි වන බවයි. එසේම මිනිස් පෞරුෂයන් ඩිජිටල් ලෙස ගබඩා කර ගැනීම මගින් පරිගණකගත අමරණීයත්වයක් ලබාගැනීමටත් මිනිසා මේ වන විට සමත් වනු ඇති.

මිිනිසුන් මහ සයුර අස්වද්දාවි. තාරුකායානාවලින් විශ්වය පුරා සැරිසරන්නට පටන් ගනීවි. චන්ද්‍රයා පමණක් නොව අඟහරු ග්‍රහයාත් ජනාවාස කරාවි. ඒ අතරම, රොබෝ තාක්ෂණය යොදාගෙන වෙනත් අනන්තරීක්ෂයන් ද ගවේෂණය ආරම්භ කරාවි…

එතැනින් අප යන්නේ කොතැනටද? ඒ ගැන කියන්නට තවම වේලාසන වැඩියි!

මෙය, science.howstuffworks.com වෙබ් අඩවියේ පළ වූ ROBERT LAMB විසින් රචනා කරන ලද What will Earth look like in 500 years? ලිපියේ සිංහල පරිවර්තනයයි. ලේඛකයා මේ සඳහා අදාළ කරගත් මූලාශ්‍රවල සබැඳි පහත දැක්වේ.

Sources

  • Berry, Adrian. “The Next 500 Years: Life in the Coming Millennium.” W H Freeman & Co. February 1996.
  • Cain, Frasier. “How Advanced Can a Civilization Become?”Universe Today. April 16, 2004. (June 3, 2010)http://www.universetoday.com/2004/04/26/how-advanced-can-a-civilization-become/
  • “Earth may be too hot for humans by 2300: study.” Associated Foreign Press. May 11, 2010. (June 2, 2010)http://www.google.com/hostednews/afp/article/ALeqM5jTXA_CTHXzXzc-HxwAVLW-nh-eww
  • Explorations in Science with Dr. Michio Kaku. (June 2, 2010)http://mkaku.org/
  • Hawking, Stephen. “Science in the Next Millennium.” White House Millennium Council. March 6, 1998. (June 2, 2010)http://clinton4.nara.gov/Initiatives/Millennium/shawking.html
  • Perry, Charles A. and Kenneth J. Hsu. ” Geophysical, archaeological, and historical evidence support a solar-output model for climate change.” Proceedings of the National Academy of Sciences. Sept. 5, 2000. (June 2, 2010)http://www.pnas.org/content/97/23/12433.full.pdf

ප්‍රධාන ඡායාරූපය : Oboogle



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි