×

තියුණු අසිපතින් ආදරය හා සංගීතය ලෙළවූ – පිරිමින්ටත් ගැහැණුන්ටත් ආදරය කළ යකඩ ගැහැණිය – ජූලි ඩී ඔබිග්නි

ඇය 17 වන සියවසේ විසූ ඔපෙරා ගායිකාවක වූ අතර, කඩු ශිල්පයෙහි නිපුන සටන්කාරියක වූවාය.


බොහෝවිට ඔබ ජූලි’ ඩි ඔබිග්නි ගැන අසා නැතිවෙන්නට පුළුවන. අඩුම තරමේ ඔබ ඇය ගැන අසන කතාන්දරය විශ්වාස නොකරනු ඇත. ඇය යථාර්ථයක් ලෙස ඉතිහාසයේ සිටිය අයෙකු නොව කල්පිතයක් යැයි සිතෙන්නට හැකිය.

ඇය 17 වන සියවසේ විසූ ඔපෙරා ගායිකාවක වූ අතර, කඩු ශිල්පයෙහි නිපුන සටන්කාරියක වූවාය. වසර ගණනාවක් තිස්සේ කඩු සටන්වල නිරතව ජයග්‍රාහිකාව වූවාය. අදහන්නට මඳක් අපහසු වුවද ඇය ද්විරිසි කාන්තාවකි. අපේ භාෂාවට සරල කළහොත් ඇය පිරිමින් ගැන මෙන්ම ගැහැණුන් ගැනද උනන්දු වූ අයෙකි.

ඕනෑම ප්‍රසිද්ධ අවස්ථාවකදී වුවද අභියෝගයට මෙන් තම කමීසය ගැලවීමට පවා නිර්භය කාන්තාවකි. මෙය ප්‍රසිද්ධ ෆැන්ටසි නවකතාකාරිණි ටැමෝරා පියර්ස් ගේ කතාවල එන ආකාරයේ වීරවරියක් ගැන නොවේ.

ජූලි, ඔව් ඇය සම්මතයට අභියෝග කළ ඉතිහාසයේ සිටි ස්ත්‍රියකි.

ජූලි. ඩී ඔබිග්නි 1673 දී ප්‍රංශයේ උපත ලද අතර, ඇයගේ පියා 14 වන ලුවී රජු යටතේ සේවය කළේය. වීදුරු බිත්තිවලින් වටවූ සුන්දර රජමාලිගයේ එක් කෙළවරක ජූලි ටිකෙන් ටික වැඩුණාය. සමහරුන් පවසන ආකාරයට ලුවී රජුගේ අශ්ව ගාලේ කෙළවරක වැඩුන ජූලි වයස අවුරුදු 14 දී තම පියාගේ ප්‍රධානියා හෙවත් රාජකීය පෙළපතේ මුල් පුරුක සමග විවාහ වීමට අවස්ථාව ලැබුවාය. ඇය බලසම්පන්න, ගෞරවාන්විත ආර්යාවක වූවාය. තම නීත්‍යනුකූල භාර්යාවගෙන් ආරක්ෂාවීමට හා නිදහස් වීමට පැරීසියට පළාගිය තම නාකි මනමාලයාගේ ආර්යා තනතුර නීරස එකක් වන්නට ඇයට වැඩිකල් ගත නොවුනු අතර කඩු ශිල්පය ඉගැන්වූ ගුරුතුමා සමග පැන යන්නට ඇය දෙවතාවක් සිතුවේ නැත. ඔව්‍! ඇය තම ගුරුතුමා සමග පැන ගියාය. එම ආදර සම්බන්ධතාවට ආයුෂ අඩු වුවද කඩු ශිල්පයට පැවති ප්‍රේමය නම් ඇය මියෙන තුරු අත්හළේම නැත. පුරුෂාධිපත්‍යයට අභියෝගයක් වන ආකාරයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සම්මතයන් වෙනස් කළ කාන්තාවක් ලෙස ඇය හැඳින්විය හැකි වුවද, ඇයගේ කතාව පර්යේෂණාත්මක නව කතාවක් බවට පත්කළ කෙලී ගාර්ඩ්නර්ට අනුව ඇය කිසිදිනෙක ස්ත්‍රීත්වය ප්‍රතික්ෂේප කළේ නැත.

ප්‍රංශයේ ඉතිහාසය පිරිමින් විසින් පමණක් ලියූවක් නොවන අතර එහි ගැහැණුන්ද සිටී. 14 වන ලුවී රජුගේ පාලන කාලය තුළ හා ඉන් පසු ශ්‍රේෂ්ඨ නරපතිනියන් විසූ අතර කාන්තාවන්ද කඩු හරඹයෙහි යෙදීම සම්ප්‍රදායයක්ව පැවතුණි. කාන්තාවන් විසින් කඩු හරඹයේ යෙදීම එක්තරා ආකාරයක විලාසිතාවක් මෙන්ම සන්දර්ශනාත්මක දෙයක් ද වූ අතර පිරිමින් මෙන් ඇඳුම් අඳිමින් කඩු සටන්හි නිරතවීම සුලභ දෙයක්ව පැවතුණි. ජූලි හෙවත් අපගේ කතා නායිකාවද මෙම සම්ප්‍රදායයට ඇතුළත්වූ එහෙත් සම්ප්‍රදායය අතික්‍රමණය කළ කාන්තාවක විය. ඇය සටන් හරඹයන්හි තරුවක් වූ අතර තරු පොකුරක් මැද සුපහන් පහන් තාරකාවක් වූයේ ඇය තුළ පැවති රැඩිකල් හා වෙනස්ම ලාලසාව නිසාය. ඇය නිකම්ම නිකම්ම රණකාමිනියක නොවූ අතර දක්ෂ හා විශිෂ්ට ගණයේ ඔපෙරා ගායිකාවක ද වූවාය. වර්තමානයේ ඔපෙරාහි මුදුන් මල්කඩක් ලෙස සැලකෙන මාර්සයිලස්හි ඔපෙරා හළට අහම්බෙන් මෙන් ගොඩ වැදෙන ඇය එම ඔපෙරා හළට නැතුවම බැරි සුපහන් තාරකාවක් වූවාය. සංගීතය සම්බන්ධව ඇදහිය නොහැකි මට්ටමේ මතකයක් පැවති ඇය වසර ගණනාවක් පුරා ලා මෝපින් වේදිකාවේ තම හැකියාවන් එළි දැක්වූවාය. වසර 33 දී මිය යනවිට තම නිසර්ග සංගීත හා රණකාමී හැකියාවන් ලෝකයට නොබියව ප්‍රදර්ශනය කළ ඇය වසර 100 ක් පමණ ආයු ලාබය ලැබූ අයෙකු තරම් පෙම්වතුන් හා පෙම්වතියන් ඇසුරු කළාය. බොහෝ පෙම්වතුන්ගේ ලෝකවලට තම බොළඳ හීන සිත්තම් කරන්නට ගිය ඇය මියගියේ බිඳී ගිය හදවතින් බව දන්නේ ඉතා අතළොස්සක් දෙනා පමණි.

ජූලි හා ඇය රැගෙන පැනගිය කඩු සටන් ගුරුවරයා මහජන පොළවල්වල හා තැබෑරුම්වල කඩු සටන් දර්ශන පැවැත්වූ අතර එක් අවස්ථාවකදී ඇයගේ සටන් විලාසය ගැන සැක සිතුණු මිනිසෙක් ඇයට අභියෝග කළේ මේ සිටින්නේ මිනිහෙක් නොව ගැහැණියක බව පවසමිනි. එ් තරම්ම ඇය අසිතපතට සුරුකම් පෑ අතර පුරුෂයෙකුට නොදෙවෙනි තරම් තියුණු අත් දෙකක්, නෙත් දෙකක් හා අසිපත රැඳි තම අත පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇයට තිබුණි. එහෙත් සමාජ සම්මතයන් හමුවේ ඇය විනිශ්චයට භාජනය විය. කවදත් අභියෝගයට අභියෝග කළ මේ දිරිය ගැහැණිය සැනින් තම උඩුකය වසා තිබූ කමීසය ගලවා වීසි කළේ ගැහැණු කම යනු පියවුරු දෙකක සැඟවුණු ලැජ්ජාව නොව පිරිමින්ගේ කොක් හඬලෑම්වලට ලබාදෙන අතුල් පහරක් බව පසක් කරමිනි. ඇය සම්බන්ධ ඉතා ජනප්‍රිය කතාවක් වන්නේ සුප්‍රසිද්ධ රෝයල් බෝල් හිදී ඇය ඇති කරගත් ගැටුමයි. බොහෝ අවස්ථාවලදී පිරිමි කමීසය හැඳීමට හා පිරිමි කොණ්ඩා විලාසිතාවලට ප්‍රියකළ ඇය එදින රෝයල් බෝල් වෙත පිවිසුනේ පිරිමි අයෙකු ලෙස ඇඳ පැළඳගෙනය. බෝල් රූම් ඩාන්ස් බිම තුල රූමත් තරුණියක් නර්තනයක යෙදෙමින් සිටියාය. ඇය දුටුවනම ජූලි තුළ ඇති වූ ආකර්ශනය ඇය ප්‍රකාශ කළේ නැටුම් භූමිය තුළදීම ඇයව සිපගැනීමෙනි. මෙය දුටු රදළ වංශික මහත්වරුන් තුන්දෙනෙක් ඇයට අභියෝග කළහ. සමාවෙන්න මහත්වරුණි! මෙතැනදී නෙවෙයි. එකාට පසුපස එකාගානේ එළියෙදී මුණගැහෙමු. මෙතැන ගහ ගන්න තැනක් නෙවෙයි. ආදරය කරන, කන, බොන, නටන තැනක්. පොඩ්ඩක් එළියට යමු යැයි ඇය ඔවුන්ට ආරාධනා කළාය. රෝයල් බොල් නෘත්‍ය ශාලාවේ එළිමහනේදී එකා පසුපස එකා පැමිණි රදළ මහත්වරුන් තිදෙනාට දැනුනේ හෙණගෙඩි පහරවල් මෙන් ගුස්ති පහරවල් හිස මතට හා පපුව මතට පතිත වනු පමණි. විනාඩි කිහිපයක් ඇතුළත අවසන් වූ ගුට්බැට සන්දර්ශනයෙන් පසුව මහත්වරුන් තිදෙනා කෙදිරිගාමින් පැන දිවූ අතර අත් දෙක පිස දමමින් ජූලි යළිත් නෘත්‍ය ශාලාවට ඇතුල් වූවාය.

ජූලිගේ කතාව විසින් අපට කියාදෙන්නේ රණශූරත්වය හෝ සංගීතය හෝ ආදර සම්බන්ධතා විශාල ප්‍රමාණයක් පවත්වා ප්‍රේමයෙන් පරාජය වූ ගැහැණියක හෝ පිළිබඳ පමණක් නොවේ. ඇය පවතින සමාජ සම්මතයන්ට අභියෝග කළාය. පුරුෂාධිපත්‍යය මගින් මෙහෙයවනු ලැබූ කාන්තා ලෝකය තුළ ඇය සැබෑ රණකාමිනියක් වූයේ ගැහැණිය යනු අභියෝගයට අභියෝග කළ යුතු හා ගිනි රස්නය මැද අවශ්‍ය මොහොතේදී යවට මෙන් දියාරුව ආදරය ලැබීමට සේම, තියුණු අසිපතක් ලෙළවිය හැකි යකඩ පපුවක හිමිකාරියක විය යුතු බවද මනුෂ්‍ය සංහතියට පසක් කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි