×

තෝමස් අල්වා එඩිසන් නොහැදූ මැෂිම

කතා කරන මැෂිම (කට) සොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් නොවේ.


ග්‍රැමෆෝනය, විදුලි බල්බය ආදී වශයෙන් නූතන ලෝකයේ වැඩිම නව නිපැයුම් ප්‍රමාණයක් සිදුකළ පුද්ගලයා ලෙස සැලකෙන්නේ අමෙරිකානු ජාතික තෝමස් අල්වා එඩිසන් ය. දිලිඳු පවුලක උපත ලද නිසාම කුඩා කල පටන්ම අමතර රැකියාවල යෙදීමට ඔහුට සිදු විය. දුම්රිය තුළ රසකැවිලි හා පුවත්පත් විකිණීම ට ඔහු පුරුදු වූයේ ඒ නිසා ය. කල්යත්ම විද්‍යාවට තිබූ ආශාව නිසා ඔහු දුම්රිය මැදිරිය තුළ හොර රහසේ විද්‍යාත්මක පර්යේෂණවල නියැළුණේ ය.

දුම්රිය පොළක දුම්රිය නතර කළ වහාම වෙළෙඳාමේ යෙදුණේ ය. එපමණක් නොව කල්යත්ම පැරැණි මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගෙන දුම්රියේ ගමන් කරන අතරතුර පුවත්පතක් ද මුද්‍රණය කර විකුණුවේ ය. එහි නම ග්‍රැන්ඩ් ට්‍රන්ක් හෙරල්ඩ් ය. තෝමස් අල්වා එඩිසන් බිහිරි තත්ත්වයට පත් වූයේ ද දුම්රියේ ගමන් කරන විට සිදු වූ අනතුරක් නිසා බව කියැ වේ. දුම්රිය සමඟ තිබූ මේ සමීප සම්බන්ධය නිසා ඔහුව දුම්රියෙන් දොට්ට දැමූ අවස්ථා ද වාර්තා වේ.

බොහෝ විට මෙවැනි අකරතැබ්බ සිදු වූයේ දුම්රිය තුළ ඔහු විසින් පවත්වාගෙන ගිය ජංගම පරීක්ෂණාගාරය නිසා ය. වරක් පොස්පරස් යොදාගෙන ඔහු කළ එවැනි පරීක්ෂණයක් කෙළවර වුණේ මුළු දුම්රිය මැදිරියම ගිනි ගැනීමෙනි.

පසුකාලීනව විද්‍යාඥයෙකු වශයෙන් ජීවිතයේ ඉහළ සාර්ථකත්වයකට පත් එඩිසන් ඉහළ සමාජයේ බුහුමනට පාත්‍ර විය. වරක් ඔහුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ඇරැයුම් ලැබිණ. පැමිණ සිටි පිරිසට ඔහුව හඳුන්වා දෙමින් කථිකයා මෙසේ කීවේ ය.

“නෝනා මහත්වරුනි, මේ තමයි කතා කරන මැෂිම හැදූ එඩිසන් මහත්තයා”

එවිට තෝමස් අල්වා එඩිසන් නැගී සිට මෙසේ කීවේ ය.

“ළමයට බොහොම ස්තූතියි. ඒත් ඔහේගෙ කතාවෙ පොඩි අඩුවක් තිබුණා. කතා කරන මැෂිම නම් හැදුවෙ මම නෙවෙයි. දෙවියන් වහන්සේ. මම හැදුවෙ උවමනා වෙලාවට කතාව නතර කරන මැෂිම විතරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි