×

තෝමස් ජෙෆර්සන්ගේ‘ස්ලොත්‘ පිස්සුව

ඇමරිකානු ඉතිහාසයේ බිහි වූ ඇතැම් ජනාධිපතිවරුන් අසාමාන්‍ය විද්‍යාත්මක ඇළුම්කම් දැක්වූ අය ය. තෝමස් ජෙෆර්සන් ඒ අතරින් ප්‍රධාන ය.


1801-1809 අතර කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බවට පත්වූ තෝමස් ජෙෆර්සන් swivel chair හෙවත් කැරකෙන පුටුව සොයාගත් බව ඔබ දැන සිටියාද? ඒ බව ඔබ දැන සිටියත්, ඔහු විසින් යෝධ ස්ලොත් සතෙකුව සොයාගත් බවත්, එම ස්ලොත් විශේෂය ඔහුගේ නමින් නම් කළ බවත් බොහෝ විට ඔබ නොදැන සිටින්නට ඇත.

තෝමස් ජෙෆර්සන්

ස්ලොත් අතිශය සෙමෙන් වැඩ කරන, අතිශය සෙමෙන් ඇවිදින අපූර්වතම සත්වයෙකි. උන් ප්‍රමාණයෙන් කුඩා ය. උන්ගේ මන්දගාමී හැසිරීම් ලෝකය පුරා විවිධ කාටුන් චිත්‍රපටවලට ද නැගී තිබේ.

[embedyt] https://www.youtube.com/watch?v=0woPde7OE1k[/embedyt]

සූතෝපියා (Zootopia) චිත්‍රපටයේ එන මේ කොටසින් ඔබට ස්ලොත් සත්වයෙකුගේ ස්වභාවය ගැන මනා අවබෝධයක් ලබාගත හැකිය.

ඇවිදීමට සහ පුරා විද්‍යාවට ප්‍රිය කළ අයෙකු වූ තෝමස් ජෙෆර්සන් හට බටහිර වර්ජිනියා ජනපදයේ ගුහාවකින් යෝධ ඇටකටු සමූහයක් හමුවිය. ගුහා ස්ලොත් සතෙකු පිළිබඳ එම සොයාගැනීම පිළිබඳ සටහන් 1797 වසරේ ඇමරිකානු දාර්ශනික සමාජයේ පත්‍රිකාවක දැක්වේ.

එයට අනුව තෝමස් ජෙෆර්සන් මේ සත්වයාව නම් කළේ ‘යෝධ නිය පහුර‘ යන අදහස ග්‍රීක භාෂාවෙන් ලැබෙන ‘මෙගලොනික්ස්‘ යන නමිනි. මේ සත්වයාගේ ඇටකටුවල ස්වභාවය අනුව ඌ සිංහයෙකු බඳු විය යුතු යැයි ජෙෆර්සන් සිතුවේය. තෝමස් ජෙෆර්සන් ද ඇමරිකාව ශ්‍රේෂ්ඨ ජාතියක් යැයි විශ්වාස කළ අයෙකි. ඔහු එම ඇමරිකානු සිහිනයට ගැළපෙන සේ එම සත්වයාගේ ගතිගුණ ද පුරෝකථනය කර තිබුණේය. ඒ අනුව මේ ගුහා ස්ලොතයා බිහිසුණු සහ පහසුවෙන් හීලෑ කළ නොහැකි අයෙකු යැයි ඔහු සිතුවේය.

එසේ සිතන්නට ඕනෑ තරම් හේතු කාරණා ද විද්‍යා ලැදියෙකු වූ ජෙෆර්සන් හට තිබුණේය. අස්ථි අවශේෂයන් අනුව පෙනී ගියේ මෙම සත්වයා අඩි 9 ක් පමණ දිග බව ය. ඇමරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල තැනිතලාවල ඌ කරක් ගසා ඇති බව පසුව හෙළි වෙයි. ඒ, මෙයට වසර 150,000 – 10,000 අතර කාලයේ ය.

1979 දී තෝමස් ජෙෆර්සන් විසින් සිදුකළ මෙම සොයාගැනීම, 1799 වන විට වැදගත් විද්‍යාත්මක සොයාගැනීමක් බව සනාථ විය. තෝමස් ජෙෆර්සන් හට ගෞරවයක් ලෙස මේ සත්වයාව ඔහුගේ නමින් නම් කරන්නේ 1822 වසරේදී ය.

ඒ ‘මෙගලොනික්ස් ජෙෆර්සනි‘ – Megalonyx jeffersonii යනුවෙනි.

 

 

 

 

 

 

 

 

 

 

ජෙෆර්සන් සහ මැස්ටඩෝන්

තෝමස් ජෙෆර්සන්, යෝධ මැස්ටඩෝන් හස්තීන් මිහි මත ඒ වන විටත් සැරිසරන බව තරයේ විශ්වාස කළ අයෙකි. ඒ නිසාම ඔහු මොන්ටානා හි ලුවිස් ඇන්ඩ් ක්ලාක් වෙස්ට් ප්‍රදේශයට පර්යේෂකයන් කණ්ඩායමක් ද යැවීය.

එහි ප්‍රතිඵලයක් ලෙස පර්යේෂකයන්ට ජීවී මැස්ටඩෝන් සතුන් කිසිවිටෙක හමුවූයේ නැත. නමුත් කෙන්ටකි ජනපදයේ බිග් බෝන් ලික් හි ඇමරිකානු මැස්ටඩෝනයන්ගේ ඇටකටු ඔවුන්ට හමු විය. මෙම අවශේෂයන් වර්ගීකරණය කිරීම ධවල මන්දිරයේ සිටි ජෙෆර්සන් විසින් සිදුකළ අතර, ඒවා හඳුනා ගැනීම සඳහා විවිධ විද්‍යාඥයන් වෙත යැවීම ද සිදුවිය. ඇමරිකානු මැස්ටඩෝනයන්, යුරෝපියානු මැස්ටඩෝනයන්ගෙන් වෙනස් වූ වෙනම විශේෂයක් බව ප්‍රංශ පර්යේෂකයන් විසින් සොයාගත්තේ ජෙෆර්සන්ගේ මේ මැදිහත් වීම නිසා ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි