×

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයට තහනමක් – සියලු දෙනාට ඉල්ලා අස්වන්නැයි දැනුම් දීලා !

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එරට ක්‍රීඩා බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සියලු වගකීම් ඔලිම්පික් කමිටුව විසින් සියතට ගෙන තිබෙනවා.


දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට එරට ක්‍රීඩා බළධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සියලු වගකීම් ඔලිම්පික් කමිටුව විසින් සියතට ගෙන තිබෙනවා.

මෙම පියවර ගෙන තිබෙන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩා සම්මේලනය සහ ඔලිම්පික් කමිටුව (SASCOC) මගින් පත්කළ විමර්ශන මණ්ඩලයක් මාසයක කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

ඒ අනුව SASCOC දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙන්නේ සියලු බළධාරීන් තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවයි.

වත්මන් පරිපාලනය යටතේ ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වත්මන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට, අනුග්‍රාහකයන්ට, සමස්තයක් ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවත්, දකුණු අප්‍රිකානු ක්‍රිකට් සම්පූර්ණයෙන්ම අපකීර්තියට පත්ව ඇති බවත් අදාල ලිපියේ සඳහන් වේ.

ක්‍රීඩා බළධාරීන්ගේ මෙම තීරණය සම්බන්ධයෙන් මෙතෙක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය හෝ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හෝ නිළ වශයෙන් ප්‍රතිචාර දක්වා නොමැත. කෙසේ වෙතත් ක්‍රික්බස් වෙබ් අඩවිය පවසන්නේ දකුණු අප්‍රිකානු රජයේ මෙම තීරණය හේතුවෙන් නැවතත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මත තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීමට ඉඩ ඇති බවයි.

ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිගින් දිගටම විරෝධය පළකරන අතර මීට පෙර අවස්ථා ගණනාවකදී ක්‍රිකට් දේශපාලනීකරණය වීම හේතුවෙන් සිම්බාබ්වේ ඇතුළු රටවල් ගණනාවකට එවැනි තහනම් නියෝග පැනවීමට ICCය කටයුතු කළේය.

වර්ණභේදවාදය හේතුවෙන් දකුණු අප්‍රිකාව දශක ගණනාවක් ජාත්‍යන්තර පිටියෙන් ඈත්ව සිටි අතර නැවතත් එවැනි ඉරණමක් අත්වනු ඇති බවට ක්‍රික්බස් වෙබ් අඩවිය අනතුරු අඟවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි