×

දකුණු කොරියාවේදී වියපත් පිරිමින් සමග විවාපත් වී මිනීපෙට්ටියෙන් සිය රට බලා යන විදෙස් බිරින්දෑවෝ

ඔවුන් විදෙස් රටවල සිට කපුවන් හරහා දකුණු කොරියාවට පැමිණෙන්නේ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් අපේක්ෂාවෙනි. අවසානයේ විවාහ ජීවිතය පමණක් නොව ජීවිතය ද ඔවුන්ට අහිමි වේ!


ට්‍රින්හ් ඇගේ මිනීමරුවා මුණ ගැසුණේ කපුවකු හරහා ය.

ඇය විසිනව හැවිරිදි වන විට ඇගේ අනාගත සැමියා පණහ දශකයේ සිටි බව අධිකරණ වාර්තා පෙන්වයි. ඇයට කතා කළේ වියට්නාම භාෂාව පමණකි. ඔහු කොරියානු බස පමණක් කතා කළේ ය.

සන්නිවේදන දුෂ්කරතා මැද ඔවුහු විවාහ දිවියට එළැඹුනෝ ය. 2018 නොවැම්බර් 18 වැනි දින – ඇය ඔහුව හමුවී දිනකට පසු – ඇගේ පවුල ඉදිරිපිට ඔවුහු විවාහ වූහ.

මාස හතකට පසු ට්‍රින්හ් – මේ ඇගේ සත්‍ය නම දකුණු කොරියානු නීතිමය තත්ත්වයන් හේතුවෙන් සඟවන ලද නිසා ලබාදෙන ලද අන්වර්ත නාමයකි – ශින් ලෙස නම් කරනු ලැබූ ඇගේ සැමියා සමග විසීමට දකුණු කොරියාව වෙත ගියා ය. මාස තුනකට පසුව ඇය මිය ගොසිනි.

ට්‍රින්හ් යනු කපුවන් හරහා දකුණු කොරියානු පිරිමින් හා විවාහප්‍රාප්ත වන දහස් ගණනක් වන වියට්නාම් ජාතික කාන්තාවන් ගෙන් එක් අයෙකි. මේ කපු “සේවාව” දකුණු කොරියාවේ පමණක් නොව වියට්නාමය වැනි රටවලවල නීතියෙන් අනුබල ලැබෙන තත්වයකි. මෙයට අදාළ නීතිමය ප්‍රතිපාදන දකුණු කොරියාවේ නාගාරික නීති විසින් සපයා දුන්නේ 80 දශකයේදී ය. ඒ අනුව විදේශික කාන්තාවන්ව විවාහය සඳහා ගෙන්වා ගැනීම දකුණු කොරියානු පුරුෂයන්ට පහසු කටයුත්තක් විය.

මෙසේ විවාපත් වූ ඇතැම් යුවලක් සාර්ථක යුග දිවියක් ගත කරති. එහෙත් මේ ආකාරයට සැමියන් හමුවන කාන්තාවන් විශාල ප්‍රමාණයක් (මොවුන් විවාහය මගින් සංක්‍රමණය වූවන් ලෙස හැඳින්වේ) වෙනස් කොට සැලැකීමේ, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සහ ඇතැම්විට මරණයේ පවා ගොදුරු බවට පත් වෙති.

මේ සම්බන්ධ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ අතිශය බියජනක තත්ත්වයකි. දකුණු කොරියාවේ ජාතික මානව හිමිකම් කොමිසම මගින් 2017 දී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, විදේශීය බිරින්දෑවරු 42%කට වැඩි ප්‍රමාණයක්, කායික, වාචික, ලිංගික සහ මූල්‍ය හිංසනයන්ට ලක්වෙති. මේ සමග දකුණු කොරියානු ජාතික බිරින්දෑවරුන් ගේ තත්ත්වය සසදන විට, ඔවුහු ද 29%ක ප්‍රතිශතයක් ඉහත ආකාරයට ම හිංසනයන්ට ලක්වන බව කියැ වේ.

විශේෂඥයන් පවසන අන්දමට වෙනස්කොට සලකන නීති රීති, එම සමාජයේ පවත්නා ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස් කොට සැලැකීම සහ ජාතිවාදය මේ තත්ත්වයට හේතුකාරක වන අතර ආයතනික වෙනස්කම්වලට දකුණු කොරියානු ජන සමාජය යා යුතු බව කියති.

සන්නිවේදන දුෂ්කරතා

ආරම්භයේ පටන් ම ට්‍රින්හ් සහ ශින් අතර සන්නිවේදන දුෂ්කරතා පැවැතිණ.

අධිකරණ වාර්තා පෙන්වා දෙන අන්දමට විවාහ උත්සවයෙන් පසු ඇය දකුණු කොරියාවට යයි. වෙන්ව විසුවත්, දුරකතන වැඩ සටහනක් ඔස්සේ සන්නිවේදනය පවත්වා ගැනීමට ඔවුහු කටයුතු කළහ. ට්‍රින්හ් සැමියා ගෙන් අමතර මුදල් ඉල්ලා සිටි නිසා ඔවුන් අතර ගැටුම් නිතර ඇති වූ බව ද කියැවේ.

අවසානයේ, 2019 අගෝස්තු 16 වන දින ට්‍රින්හ් දකුණු කොරියාව වෙත පැමිණියා ය. ප්‍රධාන නගරය වන සියොල් වටා පිහිටි ග්‍යොන්ගි පළාතේ යැන්ජු නගරය වෙත තම සැමියා සමග විසීමට ඈ ආවා ය. ඇගේ පැමිණීම කල් යන්නට හේතු අධිකරණ වාර්තා පෙන්වා නොදුන්නත්, මූල්‍යමය සීමාවක් ද ඇතුළුව වෛවාහක සහකරුවන් ගේ වීසා බලපත්‍ර ලබා ගැනීමට යම් යම් නිර්ණායක සම්පූර්ණ කළ යුතු වේ.

ඇය ඔහු හා දකුණු කොරියාවේ දී එක්වුවද ගැටුම් දිගින් දිගටම පැවැතිණ. මූල්‍යමය ප්‍රශ්න සහ ඔවුන් ජීවත් වීමට කැමැති ආකාරය පිළිබද විවිධ නොගැලපීම් ඔවුන් තුළ විය; භාෂා ප්‍රශ්නය ඒවා තවත් දරුණු අතට හැරැවී ය.

මාස තුනකට පසු, නොවැම්බර් 16 වැනි දින ට්‍රින්හ් තම නෑදෑයකු සමග ජිවත් වීමට වෙනත් නගරයකට යන බව ශින්ට පැවැසුවා ය. ශින් ඇයව නවත්වන්නට තැනූ අතර ඇය මුළුතැන්ගෙයින් පිහියක් ගෙන් ඔහු ගේ කලවයට ඇන්නා ය.

“The victim is now returning to her homeland as a corpse.”Judge Kang Dong-hyeok

අධිකරණ වාර්තාවලට අනුව, ශින් පිහිය ගෙන ඔහු ගේ බිරිද ගේ පපුවට සහ උදර ප්‍රදේශයට දස වතාවක් පමණ ඇන තිබේ. දේහය ප්ලාස්ටික්වලින් එතූ ඔහු, ඇය සහ ඈට අයිති දේ වාහනයට දමා ගෙන ඔවුන් විසූ යැන්ජු සිට කි.මි. 200කටත් වඩා ඔබ්බෙන් වූ උතුරු ජොඑල්ලා පළාතේ වන්ජු ප්‍රදේශයේ පර්සිමොම් පළතුරු වත්තක වළ දැමුවේ ය.
අප්‍රේල් මාසයේ ශින් වසර 15ක සිර දඩුවමකට යටත් කරනු ලැබිණ. නඩු විභාගයේ දි ඉදිරිපත් වූ සාක්ෂි අතර, අපරාධ ස්ථානයෙන් ලබා ගත් නිශ්චල ඡායාරූප, ජාත්‍යන්තර විවාහ සහතිකය, සහ විත්තිකරු ගේ ප්‍රකාශය වේ.

දකුණු කොරියාවේ විදෙස් බිරින්දෑවරු

වසර ගණනක් මුළුල්ලේ දකුණු කොරියාවේ ගම් ප්‍රදේශවල ස්ත්‍රී පුරුෂ සමාජභාවිය විසංතුලනයක් පවතියි. තරුණ කාන්තාවන් රැකියා සහ විවාහය උදෙසා නගරවලට යන අතරතුර පිරිමි ඉඩම් බලා ගැනීමේ සහ සංස්කෘතිකව ඔවුන් ගෙන් අපේක්ෂිත වැඩිහිටි දෙමව්පියන් රැක බලා ගැනීමෙහි නිරත ව සිටිති.

1980 දශකයේ දේශීය රජයන් පෞද්ගලික විවාහ කපුවන්ට මූල්‍යමය උපකාර කළ අතර එයින් ජන වර්ගය කොරියානු වන චීන ජාතික කාන්තාවන් හා දේශීය පිරිමින්ට විවාහ වීම අපේක්ෂා කෙරිණ. එක් විවාහයකට වොන් මිලියන 4 සිට 6 දක්වා (ඇ. ඩො. 3,800 සිට ඇ.ඩො. 5,700) ප්‍රමණයක් ගෙවන ලද බව කියැවේ.

වසර ගණනකට පසුව මේ බිරින්දෑවරු ජනවාර්ගික කොරියානු පමණක් නොව, පිලිපීනය, වියට්නාමය සහ කාම්බෝඩියාව වැනි රටවලින් ද පැමිණෙන්නට ගත්හ.

බොහෝ විදෙස් බිරියන් වියට්නාමයෙන්

ජාත්‍යන්තර කපු සේවය සපයන ආයතන බිහිවන්නට පටන් ගත්තේ ය. රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව, මැයි මාසය වන විට මෙ වැනි ආයතන 380ක් දකුණු කොරියාවේ ලියාපදිංචි කර තිබේ.

මේ වන විට අන් කිසිදු රටකටත් වඩා වියට්නාමයෙන් දකුණු කොරියාවට විදෙස් බිරින්දෑවරු ගෙන්වනු ලැබෙති. මෙලෙස කොරියානු ජාතිකයන් හා විවාහ වන්නට හේතුව ආර්ථික වන බව මතයකි. බොහෝ කාන්තාවෝ දකුණු කොරියාවේ ගම්බද පෙදෙස්වල පිරිමි විවාහ කර ගන්නා අතර, ඇතැම් ප්‍රදේශයක් තවමත් විවාහ දීමනාව ලබා දීමේ නිරත බව කියැවේ. උදාහරණයක් වශයෙන් දකුණු ජොඑල්ලා ප්‍රදේශයේ වයස අවුරුදු 35ට වැඩි පිරිමියකු විවාහ සහතිකයක් ඉදිරිපත් කළ හොත් ඒ වෙනුවෙන් ඔහුට වොන් මිලියන 5ක දීමනාවක් ලැබේ.

2018 වන විට, කොරියානු ජාතිකයකු සහ විදේශිකයකු අතර වන විවාහවලින් 28%ක් කොරියානු පිරිමියකු සහ වියට්නාම් ජාතික කාන්තාවක අතර වූ ඒවා බව කියැ වේ.

මෙතැනින් කොතැනට ද?

දකුණු කොරියානු රජය සහ සහ බොහෝ අග්නිදිග ආසියාතිකර රටවල් මේ විදේශ බිරින්දෑවරු පාවා ගැනීමේ කටයුත්ත, මානව ජාවරමෙන් සහ හිංසනයෙන් අවසන් වෙතැයි බියට පත් ව සිටිති.
2010 දී කාම්බෝජියාව තාවකාලිකව එරට ජනතාවට දකුණු කොරියානුවන් හා විවාහ වීම තහනම් කළේ ය. වියට්නාමය ද මේ සම්බන්ධයෙන් තම සැලැකිල්ල පළ කර ඇත.
දකුණු කොරියාවේ ම මේ සම්බන්ධ නීති රීති දැඩි කර තිබේ– 2014 පටන්, කොරියානු ජාතිකයන් සහ ඔවුන් ගේ විදේශික බිරින්දෑවරුන් ඔවුනට සන්නිවේදනය කළ හැකි බව ඔප්පු කළ යුතු වේ. ට්‍රින්හ් ගේ සිද්ධියේ දී ඈ මේ නීතිය මග හැරියේ කෙසේ ද යන්න පැහැදිලි නැත.

තව ද, පසුගිය වසරේ පටන් හිංසක ඉතිහාසයක් ඇති කොරියානු පිරිමි විදේශීය කාන්තාවන් හා විවාහ වීම වැලැක්වීමේ නීති ගෙන එන්නට ද සූදානමක් පවතී. මේ නීති ක්‍රියාවට නැංවෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් සිට ය.

නමුත් මේ වන විටත් දකුණු කොරියාවේ වයස්ගත පිරිමින් හා විවාපත් වී අපාගත වී ජීවත් වන විදෙස් බිරින්දෑවරුන්ගේ ඉරණම විසඳීමට එයින් සහනයක් අත් වේද යන්න සැක සහිත ය.

මූලාශ්‍රය
South Korean authorities encourage men to marry foreign women. But their brides often become victims of abuse



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි