×

දම් පාට සුරංගනාවිය

‘‘අපි අද සාදයකට යමු ද..? ඔහු මගේ ආත්මයට එබෙමින් විමසයි. මම එවිට වික්ෂිප්ත වන්නෙමි.


ඔහුගේ වදන් මගේ මොළයේ දෝංකාර දෙයි. ඔහු දැල්වුණු දෑසින් මා දෙස බලාසිටියි. ඔහුගේ යෝජනාව මට මහමෙරකි.

වසර දෙකහමාරක කාලයකින් මා නිවෙසින් පිටතට ගොස් නැත. මෙය අතිශයින් ම අසාමාන්‍ය තත්ත්වයක් ලෙසට ඔබට පෙනෙන්නට පුළුවන් නමුත් මා කියන්නේ සත්‍යයකි.

අනෙක් අතට ඔබ ද වැරදි නැත. එය අසාමාන්‍ය තත්ත්වයක් බව මම ද පිළිගනිමි.

වෛද්‍යවරුන් පවසන පරිදි මම ඇගරොෆෝබියා ලෙස හදුන්වන භීතිකා තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටිමි. මාගේ නිවෙසේ ඉදිරිපස දොරින් පිටවීම නමැති හැඟීම ඇතිවන විටෙ මට මා දැනෙන්නේ හරිකේන් කුණාටුවකට මැදි වී සිටින්නියක ලෙසිනි. එසේත් නැතිනම් කඩාවැටෙන ගුවන්යානාවක ගමන්ගන්නියක් ලෙසිනි.

සියලූ මිතුරු මිතුරියන් ඈත් කළ සහ සෙසු අයෙක් ඉදිරියේ ආහාර ගැනීමට පවා නොහැකි ලෙසට මගේ ජීවිතය හැකිළී කිදා බැස්සේ ය. එය වේදනාකාරී වුව ද එයට වඩා වෙනස් ලෝකයක් ගැන සිතීම ඊට වඩා වේදනාකාරී විය. ඊට පෙර මම අතිශයින් ම සමාජශීලී අයකු වීමි.

මම උසස් පාසලෙන් ඉවත් ව වෘත්තීය නිළියක බවට පත්ව සිටිමි. සාදවලට අතිශයින් ම ප්‍රිය කළෙමි. මා මිනිසුන්ට හෝ සමාජයට බිය කෙනෙක් බවට පත්වනු ඇතැයි ලකුණක්වත් මා කෙරෙන් පළ නොවන්නට ඇත.

එහෙත් අවසානයේ මට යථාර්ථය පිළිගැනීමට සිදුවිය. මම ඔසු ලබාගත යුතු තරමේ මානසික තත්ත්වයකින් ආතුර ව සිටියෙමි. මම කැඩපතින් මා දෙස බැලීම නතර කර දැමුවෙමි.

එහෙත් සෑම දෙයක ම, එක්තරා තැනකට පැමිණීමෙන් පසුව නතර වන ස්වභාවයක් තිබේ. මම අතීතයේ මංගල උත්සව සදහා සංගීතය සපයන කණ්ඩායමක සේවය කරමින් සිටියෙමි. මාගේ ප්‍රධානියා, මාගේ වැඩ කටයුතු පිළිබඳ අතිශය පැහැදීමකින් සිටි අයෙක් විය.

ඔහු හැකි පමණින් මට එහි කටයුතුවලට නැවත සම්බන්ධ වන ලෙස ආරාධනා කළේ ය. මගේ මවුපියන් හට ද ඔහු පණිවුඩ එවා තිබුණෙන් මට එය මඟහැරිය නොහැකි තත්ත්වයක් උදා විය. ඔහු මගේ සත්‍ය කතාව දැන සිටින්නට ඇති නමුත්, අපේ සංගීත කණ්ඩායමේ නව සැක්සෆෝන් වාදකයා වන ඇන්තනී හට මා හමුවීමට අවශ්‍ය යැයි මට දැනුම් දුන්නේ ය.

මම පසුබා ගියෙමි. ඉතිරි මුළු ජීවිත කාලයම සිය මවුපියන්ගේ නිවෙසේ ගත කිරීමට අදහස් කරන කෙනකු වශයෙන් මම සබඳතාවලට බිය කෙනෙක් බවට පත්ව ඇතැයි නොසඟවා කීවෙමි. එහෙත්, මගේ විද්‍යුත් ලිපිනය ඇන්තනී හට ලබාදීමෙන් ඔහුව වළක්වා ගන්නට මට හැකි වුයේ නැත.

මගේ ඊ මේල් ලිපිනයට අනුව මගේ නම ‘වයලට් ෆෙයරි’ හෙවත් දම්පැහැ සුරංගනාවිය විය. මා දම් පැහැති සෑම දෙයකටම අතිශය ඇළුම් කිරීම එයට හේතුවයි.

ඇත්තෙන්ම ඔහු එවූ විද්‍යුත් ලිපි මගේ සිත පැහැර ගත්තේ ය. ඔහු මට කවි එව්වේ ය. ගීත එව්වේ ය. ප්‍රහේලිකා ද එව්වේ ය. ඒ සියල්ල කළේ, මාගේ මානසික තත්ත්වය ගැන දැනුවත් ව සිටිනා අතර ම ය.

යම්කිසි නොවැළැක්විය හැකි හේතුවක් නිසා මම ද ඔහුගේ ඊ මේල්වලට පිළිතුරු ලිවීමට පටන් ගත්තෙමි. ඔහු මා හට ජීවත්වීමේ අවස්ථාවක් ලබාදී ඇති බව මට දැනුණේය.

දින කිහිපයක් ගත වන විට මා ඔහුට මගේ දුරකථන අංකය ද ලබාදී අවසන් ය.

ඉන්පසු උදා වූයේ මා නැවතත් පැය ගණන් එක දිගට දුරකථනයේ එල්ලීගෙන සිටිනා සමයයි. ඉන්පසු මම ඔහුට රාත්‍රී කෑමක් සදහා ඇරයුම් කළෙමි. ඔබට එය විශ්වාස කළ හැකි ද..? ඔහු මට ඇරයුම් කළා නොව මම ඔහුට ඇරයුම් කළෙමි. සංගීත ගුරුවරයකු වශයෙන් ඔහු පසුදින උදෑසන ම පංති පැවැත්වීම සදහා අවදි විය යුතු වුව ද ඔහු කියූ ලෙස ම මා බැලීමට ආවේ ය. සතුටු සාමිචියේ යෙදී සිට මධ්‍යම රාත්‍රිය ද පසුවීමෙන් අනතුරු ව ගෙදර ගියේ ය. ඒ වන විට මා වටහාගෙන තිබූ සත්‍යය වූයේ, මගේ ජීවිතයේ වෙනසක් සිදුවෙන්නට යන බවයි. ඔහු ට ඒ සදහා සුදුසුකම් තිබෙනා බවයි.

එයින් මාසයකට පමණ පසු මම ඔහුගේ මෝටර් රථයේ අසුන්ගෙන සාදයකට යමින් සිටියෙමි. මිනිසුන් සිය ගණනක් මැද.. සාද සිනහව සහ මධු පානයන් මැද මම අත්හැරුණු ජීවිතය සොයමින් සිටියෙමි. මා මට බිය වේදැයි චකිතයට පත්ව සිටියෙමි. වෛද්‍ය වට්ටෝරු තුනකට සහ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුට ලබාදීමට නොහැකි තරම් වූ සුවයක් මේ මිනිසා මට ලබාදෙමින් සිටියේය.

ඔහු හමුවීම නිසා මම සම්පූර්ණයෙන් ම සුවපත් වූවා යැයි මම නොකියමි. එහෙත් රෝගී බව විසින් මා වැදගැම්මකට නැති අයෙක් බවට පත් කර නැති බව ඔහු මට කියාදුන්නේය. තවම ඇතැම්විට සෙනඟක් මැද සිටින විට මට එකවරම අමුත්තක් දැනේ. තවදුරටත් මා ව ඉවසාගත නොහැකි බවක් දැනේ. එවිට ඔහු විගසින් මගේ වෙනස හඳුනාගනියි. මට ජර්මානු බසින් අමුතු නැළවිලි ගීයක් ගයන්නට පටන් ගනියි. මාව සෙමෙන් උරහිසට වත්තම් කර ගනියි. මම ජීවිතය පිරිමදිමින් සිටිනේනෙමි. නැතිවූ දෙයක් සොයන්නෙමි.“මම ඔයාට ආදරෙයි, දම්පාට සුරංගනාවිය” යැයි ඔහු එවිට මගේ කණට කොදුරන්නේය.

– ජෙනා ග්ලැට්සර් ගේ අත්දැකීමකි. (Chicken Soup for the Soul)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි