×

දැවැන්ත මහජන විරෝධතා මැද මියන්මාර හමුදා පාලනය තවත් පියවරක් ඉදිරියට

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සිදු කරන විරෝධතා දිනෙන් දිනම උත්සන්න වෙමින් තිබෙනවා.


එක් පැත්තකින් ජාත්‍යන්තරයෙන් එල්ල වන විරෝධය, බලපෑම්, සම්බාධක හමුවේ අනෙක් පැත්තෙන් රටතුළ උණුසුම් වන විරෝධතා හේතුවෙන් හමුදා පාලකයන් දැවැන්ත අර්බුදයකට මුහුණ දී සිටී.

කෙසේ නමුත් ඔවුන් තවමත් පසුබා යෑමට සූදානමක් නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

රටතුළ මතුව ඇති විරෝධතා මර්දනය කිරීම සඳහා අවි අතට ගැනීමට පවා සූදානම් බවට හමුදා නායකයන් ඉඟි කරමින් සිටින අතර මේ වනවිට හමුදා සන්නද්ධ රථ එරට ප්‍රධාන නගරවල මාර්ග වෙත යොමුකර තිබෙනවා.

අවි ආයුධ රැගත් හමුදා කණ්ඩායම් වැඩි වශයෙන් මාර්ගවල ස්ථාපිත කිරීමටද හමුදා පාලනය පියවර ගෙන තිබේ.

හමුදා භාරයේ සිටින ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සුචී අද දිනයේදී නිදහස් කරනු ඇතැයි වාර්තා පළවූ නමුත් හමුදා පාලනය පවසන්නේ තවත් දින දෙකක කාලයක් ඇය නිවාස අඩස්සියේ රඳවා තබන බවයි.

මෙම තීරණය හේතුවෙන් සුචීගේ ආධාරකරුවන් දැඩි කලබලයට පත්ව සිටින අතර ඉදිරි දින කිහිපය තුළදී විරෝධතා තවදුරටත් උත්සන්න වීමට ඉඩ තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට එරට අන්තර්ජාල සබඳතා යථා තත්වයට පත්කර ඇති නමුත් බොහෝ සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට අවහිරතා සිදුකර තිබෙනවා.

හමුදා පාලනය පවසන්නේ පසුගිය නොවැම්බර් මාසයේදී පැවති මහ මැතිවරණය අන්ත දූෂිත වීම හේතුවෙන් රටේ පාලන බලය අත්පත් කර ගැනීම සඳහා හමුදාවට බල කෙරුණු බවයි.

කෙසේ නමුත් එරට මැතිවරණ බළධාරීන් පවසන්නේ කිසිදු මැතිවරණ දූෂණයක් සම්බන්ධයෙන් සාක්ෂි නොමැති බවයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි