×

දුප්පත් රටවලට කොවිඩ් උගුලෙන් ගැළවී ගත හැකිද?

ලොව පුරා මෙතරම් ජීවිත සහ ජීවනෝපායන් කඩාකප්පල් කරන ලද ව්‍යසනයක් මතකයේ ඇති ඉතිහාසයේ සිදූවී නොමැත.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු ගත කරන අන්දමට 2020-2021 අතරතුර කොවිඩ් 19 වසංගතයෙන් ලොවට සිදුවූ මුල්‍යමය පාඩුව ඇ. ඩො. ට්‍රිලියන 12ක් පමණ වේ. ඉතා ම අවම ආදායමක් සහිත රටවල් – මින් වැඩි වශයෙන් ම පාඩු ලබා සිටිති. පසු ගිය වසරට සාපේක්ෂව අවම ආදායමක් සහිත රටවල ආර්ථික වර්ධනය නැවතී තිබෙන බව වාර්තා වේ.

රටවල් 70කින් පමණ සමන්විත සහ පුද්ගලයන් බිලියනයකින් පමණ සිටින මේ රටවල් කණ්ඩායම නිසි ආධාර නොමැතිව අපේක්ෂා නොකරන තරමේ මනුෂ්‍ය සහ ආර්ථික ව්‍යසනයකට ලක්ව තිබේ. ගෝලීය දරිද්‍රතාවට තිත තැබීමට ගත් සියලු පියවර ආපසු හරවමින් උප සහරානු අප්‍රිකාවේ සහ දකුණු අප්‍රිකාවේ මිලියන 90කට අධික පිරිසක් දරිද්‍රතාවයේ අගාධයට වැටී සිටිති.

පසුගිය මාසයේ එක්සත් ජාතින් ගේ සංවිධානය සාගතයක් ඇති වේ යැයි අනතුරු ඇඟවී ය. කොවිඩ් 19 වසංගතය වසර ගණනකින් ආපිට යවනු ඇතැයි ද ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවට දැඩි බලපෑම් එල්ල කරනු ඇතැයි ද බිය පහළ ව තිබේ.

දුර්වල ප්‍රතිශක්තීකරණය ඇති පුද්ගලයන් වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වනවා හා සමානව එහි ආර්ථික ප්‍රතිඵලවලට අඩු ආදායම් සහිත රටවල් නිරාවරණයව තිබේ. මේ රටවල් ගණනෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ණය බරෙන් පෙළී හෝ ණය බරෙන් පෙළෙන්නට දැඩි අවදානමක සිටි රටවල් ය.

මෙවන් තත්ත්වයක් තුළ ගෝලීය වසංගතය ඒ රටවල් කබලෙන් ලිපට දමන්නාක් වැනි තත්ත්වයකට පත් කර තිබේ. අඩුවන අපනයන සහ බඩු මිල, කර්මාන්ත බිඳ වැටීම, වාෂ්ප වී ගොස් ඇති සංචාරක කර්මාන්තය සහ අවම ප්‍රාග්ධන ගලාඒම මෙහි ප්‍රතිඵල ය. බොහෝ අවම ආර්ථික සහිත රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වන මුදල් සම්ප්‍රේෂණය බංග්ලාදේශය වැනි රටවල 20% තරම් පහත බැස ඇත.

කුමක් කළ යුතු ද?

පළමුව, වසංගතය අවසන් වී සැලැකිය යුතු කාලයක් වන තුරු ම රජයන් සෞඛ්‍ය සේවාවන්ට මූලිකත්වය දිය යුතු ය. ජීවිත සුරැකීම සහ ජීවනෝපායයන් සුරැකීම එක ම කාසියක දෙපැත්ත යි. ලොක්ඩවුන් තත්ත්ව පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක දී, මින් අදහස් වන්නේ සමාජ දූරස්ථභාවය සහ හමුවීම් සලකුණු කර ගැනීම යනාදී පියවර ගැනීම යි; මෙය අනතුරට භාජනය වීමට වැඩි ඉඩක් ඇති වැඩිහිටියන් ආදී කණ්ඩායම් වෙත විශේෂ අවධානයක් ලබා දෙමින් කළ යුතු වේ.

දෙවනුව – ආර්ථික පියවර – විශේෂයෙන් ම පොදු දේපල සම්බන්ධයෙන් ගත යුතු යි. දේශීය සම්පත් මනාව කලමනාකරණය මෙහි දී වැදගත් වේ. උදාහරණයක් ලෙස, අධ්‍යාපනය සුරැකීම ඉතා වැදගත් වන්නේ තරුණ පුද්ගලයන් ගේ අනාගතය අනතුරක නොහෙළිය යුතු බැවිනි. දූෂණය මෙහි දී කිසිසේත් ම ඉවසිය හැක්කක් නො වේ. මේ ව්‍යසනය සමාජ සුරැකුම් පද්ධතිවල ඇති ආකෘතිමය දෝෂ පෙන්වා දී, අනතුරට භාජනය විය හැකි කණ්ඩායම්වල ගැටලු සාකච්ඡාවට බඳුන් වන නව සමාජ සුරැකුම් පද්ධති වෙත යාමට අවස්ථාව උදා කර දී ඇත.

තෙවනුව, ගෝලීය වසංගතයක් සමග පොර බදන අතරතුර වුව ද, වෙනස් වූ හෙට දවසක් වෙනුවෙන් තම ආර්ථිකය හැඩ ගස්වා ගැනීමට රජයන් පියවර ගත යුතු ය. දේශගුණ වෙනස්කම් දරා සිටින, අඩු-කාබන් ආර්ථිකයක් ගොඩ නැගීමෙන්, ඩිජිටල් ශක්‍යතාව සහ යටිතල පහසුකම් නගා සිටුවීමෙන් මෙය කළ යුතු ය. උදාහරණයක් ලෙස, උප සහරානු අප්‍රිකාවේ අන්තර්ජාල පහසුකම් 10%කින් නැංවුවහොත් එහි ඒක පුද්ගල ආදායම සියයට හතරකට ආසන්න ගණනකට නංවාලිය හැකි ය.

සිවුවනුව, ජාත්‍යන්තර ප්‍රජාව මේ සම්බන්ධයෙන් මීට වඩා උනන්දු විය යුතු ය. සමාන ලෙස එන්නත් ලබා ගැනීමට අඩු ආදායම් රටවලට උපකාර කිරීම කළ යුත්තකි. සැම දෙනාට ම අන්තර්ජාල පහසුකම තහවුරු කිරීම ද එ සේ ම ය.

මූලාශ්‍රය – The Guardian හි පළ වූ Kristalina Georgieva විසින් රචිත No lost generation: can poor countries avoid the Covid trap?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි