×

දෙදහස් වසරකට පසු ජුපිටර්-වීනස් නැවත එක් වෙයි – ජේසු උපන් දා දිස්වූ ‘නත්තල් තරුව’ දිස්වෙයි !

මෙයට දින 4 කට පෙර ‘නත්තල් තාරුකාව‘ (Christmas Star) නමින් හැඳින්වූ තාරුකාවක් සැබවින්ම පායා ආවේ, බෙත්ලෙහෙමට එදා පෑයූ තාරුකාව හෝ වල්ගාතරුව ගැන මතකය අවදි කරමිනි.


වසර 2000කට පෙර නැණවතුන් තිදෙනෙක් බෙත්ලෙහෙමේ පුංචි ගවලෙනකට උඩින් පායා ආ වල්ගා තරුවක් දුටුවහ. ඔවුන් සාමයේ පණිවුඩය රැගෙන උපන් ජේසු බිළිඳා ව සොයාගත්තේ ඒ තරුවේ මං ලකුණු ඔස්සේ ගමන් ගැනීමෙනි.

දෙදහස් වසරකට පසුවත්, නැණවතුන්ට මග කියූ ඒ තාරුකාවම නත්තල අබියස පායා ආවේද?

ලයිව් සයන්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට වල්ගාතරුවක් නොවුණත් අසිරිමත් ග්‍රහලෝක සංකලනයක් දෙසැම්බර් 21 වැනිදා පෘථිවියට දිස් විය. ඒ ජුපිටර් (බ්‍රහස්පති) සහ වීනස් (සිකුරු) එකිනෙකාට මුසු වන තරම් ළඟින් පිහිටා තිබීමයි. Great Conjunction ලෙස හදුන්වන මෙම සංසිද්ධිය දැකගත හැකි වන්නේ වසර 20කට වරකි. යේසුස් වහන්සේ උපන් කාලයේදී ද එනම් ක්‍රි. පූ. 7 වන සියවසේදී ද මෙම ග්‍රහ සංකලනය එසේම දිස්වූ බවට සාක්ෂි තිබේ. ගුරු ග්‍රහයා සහ සිකුරු එකිනකා වටා සෙමෙන් නර්තනයේ යෙදෙමින් තුන් වරක් මෙසේ ඉතා සමීපයට පැමිණෙන්නට ඇතැයි ලයිව් සයන්ස් පුවත් සේවය පවසයි.

අහසේ ග්‍රහ සංකලනය හේතුවෙන් දිස් වූ එම ඒකාබද්ධ ආලෝකය තාරකාවක් ලෙස වටහාගන්නට ඇතැයි සිතිය හැකිය. අර්ත් ස්කයි පුවත් සේවාවට අනුව, මෙය ජේසු බිළිඳාගේ උපත සිදුවූ වකවානුවේදී ද දැකගත හැකි වූ නිසා ‘ක්‍රිස්මස් ස්ටා‘ හෙවත් ‘නත්තල් තරුව‘ ලෙස එයට නමක් පටබැඳෙන්නට ඇත. බයිබල් පාඨයන් ඒ සම්බන්ධ යම් ඇඟවීමක් නම්, ඒ කාලයේ අහසේ දීප්තිමත් යමක් දුටු බව මිනිසුන්ට මතක ඇති බවක් එයින් අදහස් වේ.

ඒ අනුව මැතිව්ගේ ශුභාරංචියේ සඳහන් වන්නේ ජේසු ඉපදෙන සමයේ දීප්තිමත් තාරුකාවක් අහසේ දිස්වුණු බවයි.

ජේසු බිළිඳා ඉපදුණු සමයේ අහසේ තිබූ ග්‍රහ සංකලනයන් අනුමාන කිරීම අපහසු කටයුත්තක් නොවේ. එය සරල ය. Astronomy Magazine වාර්තා කරන අන්දමට ක්‍රි.පූ. 7 දී ගුරු ග්‍රහයා සහ සිකුරු මේ අන්දමින්ම සංකලනයක් සිදුකර ඇත. ඒ අනුව පෘථිවියට පිස්කේස් තාරකා මණ්ඩලයේදී මෙය තුන්වරක් සිදුවන බව පෙනේ. මේ සංසිද්ධිය බෙත්ලෙමේදී සිදුවූ බව 1600 ගණන්වල ලොව විසූ කීර්තිමත් තාරුකා විද්‍යාඥයෙකු වන ජොහැනස් කෙප්ලර් විසින් ද සනාථ කරයි. NASA ආයතනයට අනුව 2020 දෙසැම්බර් 21 වැනිදා ගුරු ග්‍රහයා සහ සිකුරු වසර 400 කට පසු අතිශය සමීපව පිහිටා තිබුණු නමුත්, වසර 800 කට පෙර එය ඊටත් වඩා සමීපව පිහිටා තිබූ බව කියැවේ.

ක්‍රි.පූ. 3දී ජුපිටර් සහ වීනස් මේ වසරේදී දැකගත හැකි වූ තරම් සමීපයෙන් එක ළඟ පිහිටා තිබිණි. සාමාන්‍යයෙන් සිකුරු ග්‍රහයා, ජුපිටර් හෝ සෙනසුරු ග්‍රහයාට වඩා දීප්තිමත් ලෙස පෘථිවියේදී දැකගත හැක. මේ අතර ක්‍රි.පූ. 2 දී මෙම ගුරු-සිකුරු සංයෝගය නොහොත් ජුපිටර්-වීනස් සංයෝගය ‘තනි තරුවක් බවට‘ එකිනෙකට ආබද්ධ වීම ද සිදුව තිබේ.

ඒ අනුව 2020 ගෙවී යාමට ප්‍රථම, දුර්ලභ තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් හටගෙන තිබේ. එය ජේසු බිළිඳා උපන් දාට වසර 2020කට පසුව සිදුවීමත් විශේෂත්වයකි. කෙසේ නමුත් අතිශය දුෂ්කර වසරක අවසානය මෙවර සටහන් වන්නේ නත්තල් තාරුකාව නැවත දිස්වීම මගින්ද විය හැක.

ප්‍රධාන ඡායාරූපය – NBC News



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි