×

දේශගුණික විපර්යාසවලින් ෆීනික්ස් පක්ෂීන්ට පවා ගැළවීමක් නැත – අහසට පියඹා ගිය ෆීනික්ස් පක්ෂීන් පොළොවේදී දණ ගැස්වූ සිය දෙනාගේ කතාව: ”The 100”

පෘථිවිය නොවැළැක්විය හැකි න්‍යෂ්ටික ප්‍රහාරයකින් විනාශ වී සිය වසකට පසුව අභ්‍යවකාශ මධ්‍යස්ථානයක සිටි තරුණ තරුණියන් 100 දෙනෙකු ආපසු පෘථිවිය වෙත එවන්නේ පෘථිවිය දැන් මනුෂ්‍ය වාසයට සුදුසුදැයි සොයාබැලීම සඳහා ය.


අනෙක් අතට, ඔවුන්ව දරා සිටීමට තරම් සම්පත් ධාරිතාවක් අජටාකාශ මධ්‍යස්ථානය තුළ නොමැති නිසා ය. එනිසා, මේ ගමන ස්ව කැමැත්තෙන් සිය දිවි නසාගැනීමක් ද විය හැක. තරුණ පරපුර අතර අතිශයින් ජනප්‍රිය වූ The 100, කාස් මෝගන් විසින් රචිත නවකතා මාලාව පදනම් කරගෙන රූපවාහිනී මාලා වෘත්තාන්තයක් බවට පත් ව, දැන් Netflix හරහා නැරඹීමට අවස්ථාව ලැබී තිබේ.

උඩු ගුවනේ සිට දකින හරිත ලපය වෙත මහත් ආශාවෙන් සහ වියරුවෙන් පැන ආවත්, අවසානයේ ඔවුන් අත් දකින සත්‍යය කුමක්ද? නැවත නැවතත් පෘථිවිය මහා ඛේදවාචකවල ගොදුරු බවට පත් වෙද්දී බලකාමය, රණ කාමය සහ එකිනෙකා පරයා නැගී සිටීමේ ආශාව විසින් මිහිමත නැවත බිහිකරන තරගය විසින්ම ඔවුහු නැවත නැවතත් හුදෙකලා වෙති. හොඳම මිතුරන්ට පවා පිටු පාන්නෝ බවට පත් වෙති. අතිශය සමීප සබඳතා හමුවේ ද්‍රෝහී කම නිසාම දුර්මුඛ වන්නෝ බවට පත් වෙති. ‘බෙකා පර්මේඩා‘ නමැති, අජටාකාශයේ සිට ප්‍රඥාව රැගෙන ආ පළමු කමාන්ඩර්වරියගේ පටන් ටික්රු, ඇස්ගේඩා සහ ස්කයිකෘෘ යනාදී ගෝත්‍රයන් දක්වා මාරුවන මේ බල වියරුවේ අවසානය කුමක්ද? ක්ලාක්, කේන්, ඔක්ටාවියා යන ප්‍රධාන චරිතවල අවසාන ඉරණම, ඔබ අප බලාපොරොත්තු වනවාට වඩා බොහෝ වෙනස් එකකි.

 

ඉන්දීය සම්භවයක් සහිත නිළියක විසින් පණ පොවන රේවන් චරිතය, AI හෙවත් කෘතිම බුද්ධියේ දෙවන අප්ඩේටයට ලක් වී, බෙකාගේ කොටසක් සිය සිස්ටමය තුළ තිබෙන නිසා තමන් මෙතෙක් කල් නොදැන සිටි ඉගෙන නොගත් තාක්ෂණයන්ගෙන් පවා වැඩ ගන්නා අයෙක් බවට පත් වේ.

කේන්, ටික්රු ගෝත්‍ර යේ නායිකාවක වන ඉන්ද්‍රාට මෙසේ කියයි.

කේන් – අපිට ඕනෙ හැම කෙනෙක්ම රැකෙන විසඳුමක් හොයාගන්න.

ඉන්ද්‍රා – එහෙනම් උඹ මෝඩයෙක්!

කේන් – නුඹ සටන් වදින්නේ තවත් දවස් 10ක්වත් තියෙන්නෙ නැති නගරයක් රැක ගන්න. ඊට වඩා මෝඩකමක් තවත් තියෙනවද…?

‘‘විකිරණ බලන්නෙ නෑ ඔබ ටික්රු ද ඇස්ගේඩා ද කියලා. අපිට එකමුතු වෙලා මේ සතුරාට විරුද්ධව සටන් කරන්න බැරි නම්…?

‘‘අපිට හැමදාම තිබුණු බලාපොරොත්තුව වීරයෙක් වගේ මැරෙන එක..‘‘ එසේ කියමින් ඉන්ද්‍රා ඉවත්ව යයි.

අවසානයේ මාරක විකිරණ ධාරා නියත වශයෙන්ම පතිත වන්නට දින 6ක් තිබියදී පවා ටික්රූ- ඇස්ගේඩා සටන් උග්‍ර වෙයි. ඇස්ගේඩා (අයිස් නේෂන්) රජු රෝන් ක්ලාක්, ජාහා, කේන් ඇතුළු පිරිස සිරගත කරන්නට උත්සාහ කරති. රුධිරයේ දිව යන්නේ ‘සටන් කරනු – නැතිනම් මිය යනු‘ නමැති රණකාමිත්වයේ පරම අදිටනයි.

‘‘First we survive, then we find the hunanity again!”

හිට්ලර් හැට ලක්ෂයක් යුදෙව්වන් ඝාතනය කරන්නේ ආර්ය රුධිර උමතුව නිසා ය. මේ ලෝකයේ සිටිය යුත්තේ ආර්ය රුධිරය සහිත නාසි ජර්මානුවන් පමණක් යැයි ඔහු සිතයි. තනි මිනිසෙකුගේ ඒකාධිපති වියරුවට අවසානයේ ලොවක් නතු වේ. මෙම ආර්ය රුධිර සංකල්පය ‘නයිට්බ්ලඩ්‘ ලෙසින් මේ කතාවේදී අප හමුවට එයි. නොනැසී පැවතීම සනාථ කර ගන්නට වෙර දරන මිනිසුන් දකින මනෝරාජික වහල් සිහිනය ආර්ය රුධිරයට හිස නැමීමයි. එය බහුතරයක් තුළ පවතින ‘යටත් වී සිටීමේ ආශාවේ‘ම දිගුවකි.

මුලින් රතු වැස්ස – පසුව කළු වැස්ස

කෙසේ නමුත් The 100 කතා මාලාවේ Season 4 වෙත පැමිණෙන විට නොනැසී පැවතීමේ සටනේ කේන්ද්‍රස්ථානය බවට පත්වන්නේ ආර්ය රුධිරය නොවේ. දේශගුණික විපර්යාසයයි. එය අතිශය සංකේතීය ප්‍රවේශයකි.

මුලින්ම දේශගුණික වෙනස්වීමට ගොදුරු වන්නේ සමුදුරු දිවියක් ගත කරමින් සිටි, ලූනා ප්‍රමුඛ ෆලෝකරු ගෝත්‍රයයි.

දිනක් ෆ්ලොක්රු කුඩා කණ්ඩායමක් මරණාසන්නව, සමේ විකිරණ තුවාළ සමග ඇස්කේඩියාව හෙවත් උඩු ගුවනින් පතිත වූ මනුෂ්‍ය වාසස්ථානය වෙත එති.

‘‘කවද ඉඳන්ද මේක පටන් ගත්තෙ?‘‘ වෛද්‍යවරිය වික්ෂිප්තව අසයි.

‘‘මැරිච්ච මාළු සිතිජය පැත්තට පාවෙන්න පටන් ගත්ත දවසෙ ඉඳන්..ඊට පස්සෙ කළු වැස්සක් වැස්සා..‘‘

අනතුරුව කළුවැස්ස ද වැස්සේය. එය සිතුවාටත් වඩා නරක විය. ඒ පළමු වැස්සෙන් පසු භූගත ජලය නැවත පානය කළ නොහැකි වනු ඇත. එයට හසුවන්නෝ පිළිස්සී යති. වේදනාව දරාගත නොහැකිව කළු වැසි දිය පිරුණු මඩ කඩිතිවල වැටුණු විට ඔවුන්ට නැගිටීමට නොහැකි වේ. ඒ, අම්ල වැසිවල ස්වභාවයයි.

ඒ කළු දිය වැසි පොද පතිත වූ විට විකිරණවලට නිරාවරණය වූ ආකාරයටම සම පිළිස්සී බුබුළු හැදී අනතුරුව මිය යයි. විනාඩි කිහිපයක් යන්තමින් වැස්සට නිරාවරණය වුවත් සිදුවන්නේ එයම ය. ආකේඩියාවේ වෙසෙන 18 දෙනෙක් මේ ඉරණමට ගොදුරු වෙති.

ධනය, බලය, ශක්තිය.. මේ සියල්ල පුහුදුන් මනුෂ්‍යයා නිසගයෙන්ම ආශා කරන දේවල් ය. නමුත් අවසානය පැමිණීම වැළැක්වීමට ඒ කිසිවකට නොහැකි ය. අවසානය තීරණය කරන්නේ ඒ කිසිවක් විසින් නොවේ. සොබා දහම විසිනි. අද්වීතීය පරිකල්පන නිමැවුමක්, විද්‍යා ප්‍රබන්ධ ශෛලියක් සහ කදිම කතා කලාවක් සහිත The 100 අතිශය ජනප්‍රිය වීමට, මේ කතාවේ කිසිවිටෙක පෙම්වතුන් බවට පත් නොවනා ප්‍රධාන චරිත දෙක වන ක්ලාක් සහ බෙලමි, සැබෑ ජීවිතයේ අඹු සැමියන් වීම ද පිටිවහලක් විය.

සහමුලින්ම ආගන්තුක පෘථිවියකට ගොඩ බසින මේ ආර්කේඩියා වැසියෝ සිය අවසානය අත ළඟ බව හඟින හැම විටම සුවිශේෂී පණිවුඩයක් රැගෙන එති. එය මනුෂ්‍ය ශක්තියේ උත්කෘෂ්ට භාවය ප්‍රකට කරයි. ඒ අතරම, සොබා දහමට අප නියත වශයෙන්ම යටත් බව ද සිහිගන්වා තබයි. ගැළවීම පතා අහසට පියඹා ගියත්, ෆීනික්ස් පක්ෂියෙක් වුව ආපසු පොළොවට පැමිණිය යුතුම ය. ඉක්බිති,

‘‘From the ashes we will rise! – ‘‘අළු මතින් අප නැගෙනු ඇත!‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි