×

නවසීලන්තය අනායාස මරණය නීතිගත කරයි – මීළඟ ඉලක්කය කංසා නීතිගත කිරීමයි

සුව නොවන රෝගවලින් පෙළෙන්නන්ට අනායාස මරණය නීතිගත කිරීමට නවසීලන්ත ජාතිකයන් තම ඡන්දය ප්‍රකාශ කර තිබේ.


මෙය දැඩි වේදනාව ගෙන දෙන රෝගවලින් පෙළෙන්නන්ට සාමකාමීව තම ජීවන ගමන අවසාන කිරීමට අයිතියක් තිබිය යුතු ය යන මතය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිකයන් ගේ ජයග්‍රහණයකි.

සිකුරාදා නිවේදනය කරන ලද මූලික ප්‍රතිඵලවලට අනුව අනායාස මරණය නීතිගත කරන්නට 65.2%ක් කැමැත්ත පළ කර තිබේ.

අනායාස මරණ නීතිගත කළ යුතු ද යන ප්‍රශ්නය ජනමත විචාරණයක ආකාරයෙන් පසු ගිය 17 වැනිදා පවත්වන ලද නවසීලන්තයේ මහ මැතිවරණ ඡන්ද පත්‍රිකාවේ අන්තර්ගත කර තිබිණ. ඒ සමග ම කංසා නීතිගත කළ යුතු දැයි විමසන දෙවැනි ජනමතය විචාරීමේ ප්‍රශ්නයක් ද එහි වුවත්, මූලික ප්‍රතිඵලවලට අනුව ඊට ජනතා අනුමැතිය හිමි වූයේ නැත. එය ඉදිරියේදී යළි සලකා බලනු ඇත.

අනායාස මරණය හෙවත් ‘සුඛ මරණය‘ යනුවෙන් හැඳින්වෙන්නේ, කිසියම් පුද්ගලයෙකු කිසිසේත්ම සුව කළ නොහැකි තරම් අසාධ්‍ය තත්වයෙන් දිගින් දිගටම යන්ත්‍ර ආධාරයෙන් දිවි රැකගන්නා විට එම රෝගියාගේ ළඟම ඥාතීන්ගේ අනුමැතිය හෝ ඉල්ලීම අනුව එම රෝගියාට දුක් නොවිඳින මරණයක් ලබාදීමයි.

අනායාස මරණය සම්බන්ධ ජනමත විචාරණයේ ප්‍රතිඵල නීතිමය බැඳීමක් ඇති කරන අතර, අවසාන ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට දොළොස් මසක් ඇතුළත – එනම් 2021 නොවැම්බර් 6 වැනිදා ඊට අදාළ පනත ඉදිරිපත් කෙරෙනු ඇත. අනායාස මරණය සම්බන්ධ කටයුතු අධීක්ෂණය සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරේ.

මෙම ජනමත විචාරණයේදී නවසීලන්ත ජාතිකයන් 46.1%ක් පමණක් කංසා නීතිගත කරන්නට තම කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඊට විරුද්ධ ප්‍රතිශතය 53.1% කි.

මේ ජනමත විචාරණ ප්‍රතිඵලවලට මිලියන භාගයක පමණ විශේෂ ඡන්ද ඇතුළත් කර නැත; එහි අරුත වන්නේ අවසාන ප්‍රතිඵල නොවැම්බර් 6 වැනි දින තෙක් තහවුරු නො කෙරෙන බව යි.
මෙය කංසා නීතිගත කරන්නට සහය දක්වන්නන්ට වත්මන් ප්‍රතිඵලය අවසාන ඡන්ද ගණනය කිරිමත් සමග වෙනස් වේ යැයි සිතන්නට උනන්දු කරවන අතර, එහෙත් එසේ වන්නට නම් විශේෂ ඡන්ද අතිබහුතරය ඊට පක්ෂපාත විය යුතු ය.

වසර ගණනක් මුළුල්ලේ සුඛ මරණවලට ඇති සහයෝගය සමීක්ෂණ වාර්තාවල 60%-70%ක අගයක් ගත්තේ ය. අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ගේ සිට විපක්ෂ නායක ජුඩිත් කොලින්ස් දක්වා දේශපාලකයන් ගේ සහය ද මීට ලැබී තිබේ.

මේ ඡන්ද ප්‍රතිඵල සුඛ මරණය නීතිගත කළ ලොව හත් වැනි රට බවට නවසීලන්තය පත් කරයි. මෙය එරට අනුස්මරණීය දිනයක් වග ක්‍රියාකාරි මේරි පැන්කෝ කියා සිටියි.

“නවසීලන්ත ජාතිකයන්ට දශක ගණනක සිට අවශ්‍ය ව තිබූ දෙය පැහැදිලි යැයි ඔවුන්ට සැම විට ම ස්වකැමැත්තෙන් මිය යාමේ අයිතිය අවශ්‍යව තිබූ බව ද පැන්කෝ ප්‍රකාශ කරයි.

ප්‍රධාන ඡායාරූපය – නවසීලන්ත අගමැතිනිය මෙම ජනමත විචාරණයේ අසා තිබූ ප්‍රශ්න දෙකටම Yes යැයි සිය මනාපය ලබා දුන්නාය. Photograph: Marty Melville/AFP/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි