×

නාසි යුද්ධයට ගොදුරු වූ දේහයන් 8000ක සමූහ මිනීවලක් පෝලන්තයෙන් සොයා ගැනේ.

ඇස්තමේන්තු වලට අනුව සෝල්ඩෝ හි ඝාතනයට ලක්වූ සිරකරුවන් සංඛ්‍යාව 30,000ක් පමණ වන අතර එය තහවුරුව නොමැත.


පෝලන්තයේ වෝර්සෝ නගරයට උතුරින් පිහිටි සෝල්ඩෝ වධක කඳවුර අසල දළ වශයෙන් ටොන් 15.8ක් (කිලෝග්‍රෑම් 15,800ක්) මිනිස් අළු සොයාගෙන තිබේ. එහි අවම වශයෙන් පුද්ගලයන් 8,000ක් මිය ගිය බව ප්‍රකාශ කළ හැකි බව පෝලන්තයේ නාසි ආක්‍රමණය සහ කොමියුනිස්ට් යුගයේ සිදු වූ අපරාධ විමර්ශනය කරන ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ජර්මානුවන් දෙවන ලෝක සංග්‍රාමයේදී පෝලන්තය ආක්‍රමණය කරන විට  මෙම කඳවුර ගොඩනඟන ලද බව කියැවේ. ඉන් අනතරුව යුදෙව්වන්, දේශපාලන විරුද්ධවාදීන් සහ පෝලන්ත දේශපාලන ප්‍රභූ සාමාජිකයින් සඳහා සංක්‍රමණ, සිරගත කිරීම සහ සමූලඝාතනය කිරීමේ ස්ථානයක් ලෙස මෙය භාවිතා කොට ඇත. ඇස්තමේන්තු වලට අනුව සෝල්ඩෝ හි ඝාතනයට ලක්වූ සිරකරුවන් සංඛ්‍යාව 30,000ක් පමණ වන අතර එය තහවුරුව නොමැත.
මෙම සමූහ මිනී වලේ ඇති අවශේෂ පෝලන්ත ප්‍රභුන්ට අයත් විය හැකි බවත්, 1939 දී පමණ මෙම වින්දිතයන් ඝාතනය කර ඇති බවත් පෝලන්තයේ නාසි ආක්‍රමණය සහ කොමියුනිස්ට් යුගයේ සිදු වූ අපරාධ විමර්ශනය ආයතනයේ පරීක්ෂක ටොමාස් ජැන්කොව්ස්කි ප්‍රකාශ කර තිබේ.
1944දී පමණ නාසි බලධාරීන් විසින් සිය යුධ අපරාධ පිළිබඳ සාක්ෂි අතුගා දැමීමේ උත්සහයක් වශයෙන් මළ සිරුරු හාරා ඒවා පුළුස්සා දමන ලෙස යුදෙව් සිරකරුවන්ට නියෝග කර තිබේ. පොමරේනියානු වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යා පර්යේෂකයෙකු වන Andrzej Ossowski විසින් ප්‍රංශ ප්‍රෙස් නියෝජිතායතනය වෙත ප්‍රකාශ කර තිබුණේ අළුවලින් සාම්පල ලබාගෙන ඇති අතර ඒවා රසායනාගාරයක අධ්‍යයනය කිරීමට නියමිත බවත්, DNA සාම්පල මඟින් වින්දිතයන්ගේ අනන්‍යතාවය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු අනාවරණයට ඉඩ සැලසෙනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි