×

නිත්‍යානන්ද ට ඉන්ටපෝල් නිල් වරෙන්තු !

දෙවි කෙනෙකු ලෙස බැතිමතුන්ගෙන් පුද පූජා ලැබූ ඉන්දියාවේ නිත්‍යානන්ද වෙත ඉන්ටපෝල් වෙතින් නිල් නොතීසි නිකුත් කර තිබේ. ඒ, අතුරුදන්ව සිටින හෝ හඳුනාගත්/නොගත් අපරාධකරුවෙකු වශයෙනි.


self-styled godman හෙවත් තමන් විසින්ම තමන්ව දෙවි කෙනෙක් ලෙස හඳුන්වා ගන්නා නිත්‍යානන්ද, ඉන්දියාවේ ප්‍රකට සාමි වරයෙකි.

පසුගිය වසරේ ඔහු ස්ත්‍රී දූෂණ නඩුවකට අපරාධ චෝදනා ලබා සිටියදී ඉන්දියාවෙන් පළා ගොස් තිබෙන්නේ විදේශ ගමන් බලපත්‍රය ද රහිතව බව කියැවේ. එයට හේතුව ඔහුගේ අපරාධ වාර්තාව හේතුවෙන් ඉන්දීය රජය විසින් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කර තිබීමයි.

ඔහු කුමන හෝ මාර්ගයකින් ඉක්වදෝරයට පළා ගොස් ඇතැයි සැක පළ වේ. කෙසේ නමුත් නවදිල්ලියේ ඉක්වදෝර තානාපතිවරයා සඳහන් කරන්නේ, තම රට විසින් කිසිදු ආකාරයක දේශපාලන රැකවරණයක් ස්වාමි නිත්‍යානන්ද හට ලබා දී නොමැති බවයි.

වරක් ගුජරාට් පොලිසිය ස්වාමි නිත්‍යානන්ද ව අත්අඩංගුවට ගැනීමට වෙහෙස වූයේ, ඔහුට දරුවන් පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ හෙයිනි.

ඔහු විසින් රටේ විවිධ පළාත්වලින් දරුවන් පැහැරගෙන විත්, ඔවුන්ව සිය ආශ්‍රමයට අරමුදල් එක්රැස් කිරීමේ කටයුතුවල යොදවන බවට චෝදනා එල්ල වී තිබිණි.

මීට පෙර ස්ත්‍රී දූෂණ චෝදනා 2 ක් ඔහුට නැගී තිබේ. 2010 වසරේදී ඔහු නිළියක සමග යහන්ගත වී සිටින අන්දම රැගත් වීඩියෝවක් ද අන්තර්ජාලයට එක් වී තිබිණි.

උපතින් තමිල්නාඩු වැසියෙකු වන නිත්‍යානන්දගේ සත්‍ය නම රාජශේකරන් ය. 2000 වසරේ මුල භාගයේ ඔහු විසින් සිය පළමු ආශ්‍රමය බෙන්ගලුරු හි විවෘත කළ අතර, පසුව ඔහු ආශ්‍රම ජාලයක හිමිකරුවෙකු බවට පත් විය.

කෙසේ නමුත් ස්වාමි නිත්‍යානන්ද විසින් ඉක්වදෝරය අසල දූපතක් මිලට ගෙන ඇති බවත්, එහි සුපුරුදු පරිදි සිය ආශ්‍රමය පවත්වාගෙන යන බවටත් පසුගිය වසරේ වාර්තා පළ විය.

Nithyananda TV යනුවෙන් වෙනම ෆේස්බුක් පිටුවක් ද ඔහුට ඇති අතර, අද දිනයේද එම පිටුව යාවත්කාලීන කර ඇති බව පෙනේ.

ධර්මයේ සළුවලට මුවා වූ තවත් අපරාධකරුවෙකු වන නිත්‍යානන්ද ‘සාමිතුමා‘ ද අවසානයේ සිය වැජඹීම උදෙසා තෝරාගෙන තිබෙන්නේ දූපතකි! මෙවැනි අයට දූපත්වලදී සිය පැවැත්ම තහවුරු කර ගැනීම කොහොමත් ලෙහෙසි ය!

The News Minute Nithyananda

The News Minute



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි