×

නිව්ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1.8 ක් ගෙවන්නට සූදානම්

නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට තවමත් ලංකාවෙන් පිටවීමට අවසර ලැබී නැත.


ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ හිමිකරුවන්, ගින්න නිවීම ඇතුළු තත්වය පාලනය කිරීම සඳහා කළ උපකාරය වෙනුවෙන් ඩොලර් මිලියන 1.8 ක් ගෙවීමට තීරණය කර තිබේ.

රක්ෂණ මුදලින් කොටසක්

මෙය ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ සාගර පරිසර සංරක්ෂණ අධිකාරිය (MEPA) විසින් ලබාදුන් සේවාවන් වෙනුවෙන් සිදුකරන ගෙවීමකි.

සැප්තැම්බර් 3 වැනිදා ගින්න ඇති වූ දිනයේ සිට සැප්තැම්බර් 15 දක්වා මෙම ගින්න මැඬලීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රශංසනීය කාර්යභාරයක් සිදු කළේ මහා සමුදුරු විනාශයක් වළක්වා ගනිමිනි.

නිව් ඩයමන්ඩ් නෞකාවේ රක්ෂණ සමාගම වන ‘වෙස්ට් ඔෆ් ඉංග්ලන්ඩ්‘ සමාගමෙන් නෞකා විපත වෙනුවෙන් ලැබෙන රක්ෂණ මුදලින් කොටසකින් මෙම ගෙවීම සිදුකිරීමට නියමිත බව MEPA සභාපතිනී ධර්ශනී ලංකාපුර පවසයි.

කපිතාන් තවමත් ලංකාවේ

කුවේටයේ සිට ගෙන ආ බොරතෙල් බැරල් මිලියන 2 ක් සහිත මෙම නෞකාව මේ වන විට පවතින්නේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ මඩකලපුවට කිලෝමීටර 122 ක් (නාවික සැතපුම් 66 ක්) ඈතිනි.

ශ්‍රී ලංකා සාගර පරිසර සංරක්ෂණ අධිකාරිය තවදුරටත් ප්‍රකාශ කරන්නේ නෞකා විපතින් තුවාළ ලැබූ එක් නාවිකයෙකු ශ්‍රී ලංකාවේ පුද්ගලික රෝහලක තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට තවමත් ලංකාවෙන් පිටවීමට අවසර ලැබී නැත.

මෙම අති දැවැන්ත, වසර 20 ක් පැරණි – සුපිරි තෙල් නෞකාවේ හිමිකරු වන්නේ ග්‍රීසියේ පෝර්ටෝ එම්පෝරියස් නෞකා සමාගම (Porto Emporios Shipping Inc) යි.

සබැඳි

ලංකාවට නුදුරින් ගිනිගන්නා තෙල් බැරල් මිලියන 2 ක් සහිත නෞකාව- මහා පරිසර විනාශයක් අත ළඟ ද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි