×

නොවැම්බර් 23 – දවසේ වැදගත්කම

අද නොවැම්බර් 23 වැනි දා යි. ලෝක සිතියමේ අද වැනි දවසක...


1924 – එඩ්වින් හබල් ගේ සොයා ගැනීමක් වන, ඇන්ඩ්‍රොමීඩා නෙබියුලාව ක්ෂිර පථයෙන් ඔබ්බෙන් වූ තවත් මන්දාකිණියක් බව මුල් ම වතාවට ප්‍රකාශයට පත් වෙයි. මේ අනුව අපගේ ක්ෂීරපථයට ළඟින්ම පිහිටි නෙබියුලාව හෙවත් මන්දාකිණිය එය බව ද සොයා ගැනේ.Messier 31, M31, NGC 224 යන නම්වලින් ද හැඳින්වෙන ඇන්ඩ්‍රොමීඩා, සර්පිලාකාර මන්දාකිණියකි. එය පිහිටා තිබෙන්නේ දළ වශයෙන් පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 2.5 ක් ඈතිනි.

1963 – ඩොක්ට හූ ඉපදෙයි

බ්‍රිතාන්‍ය ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් ලෙස සැලැකෙන, වර්තමානය වන විට ලොව දිගු ම කාලයක් විකාශයට පත් වූ මාලා නාටකය ද වන ඩොක්ටර් හූ (Doctor Who) කතා මාලාවේ පළමු වෘතාන්තය තිරගත වන්නේ අද වැනි දිනක ය. මෙය විද්‍යා ප්‍රබන්ධ ගණයට ගැනෙන කතා මාලාවකි.

‘ටාඩිස්‘ නමැති අජටාකාශ යානයක නැගී අවකාශය හරහා කාල තරණය කරන, වසර 2000 ක ඉතිහාසයක් ඇති අබිරහස් චරිතයක් වටා ගෙතුණු මේ කතා මාලාව බීබීසී සහ පීබීඑස් රූපවාහිනී සේවාවන් ඔස්සේ විකාශය වෙමින් ලොව පුරා අතිමහත් ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ගත්තේය.

1976 – කිමිදුම් මිනිසා ජැක් මේයෝල්

හුස්ම ගැනීම පහසු කරන මෙවලම් නොමැතිව මුහුදේ මීටර් සියයක් ගැඹුරට කිමිදුණ ප්‍රථම මිනිසා බවට ජැක් මේයෝල් පත් වෙයි. ප්‍රංශ ජාතික කිමිදුම්කරුවෙකු වූ ජැක් හෙවත් ජේකස් මේයෝල් ‘නිදහස් කිමිදුම‘ වෙනුවෙන් වන ලෝක වාර්තා රැසකම හිමිකරු ද වේ. ඔහුගේ අසාමාන්‍ය කිමිදුම් හැකියාව පර්යේෂණ රැසකට ද බඳුන් වී තිබේ. ඒවායින් සොයා ගැනුණේ කිමිදෙන අවස්ථාවලදී ඔහුගේ හදවතේ ගැස්ම, එම ජලජ පරිසරයට අනුරූපී ලෙස වෙනස් වන බවයි. මිනිසුන් ජලයෙන් බිහිවූ බව තරයේ විශ්වාස කළ ඔහු, පසු කලෙක omo Delphinus: the Dolphin Within Man යනුවෙන් ඒ පිළිබඳ පොතක් ද රචනා කළේය.

1992 – ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය

ලොව ප්‍රථම ස්මාර්ට් ජංගම දුරකතනය වන IBM Simon හඳුන්වා දෙනු ලැබෙයි. මිට්සුබිෂී ඉලෙක්ට්‍රික්ස් සමාගම විසින් නිෂ්පාදනය කළ මෙය, අන්තර්ජාතික ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගැනිණි. එහි ටච් ස්ක්‍රීන් එකක් හෙවත් ස්පර්ශ තිරයක් තිබීම විශේෂ ලක්ෂණයක් විය. 1994 අගෝස්තු – 1995 පෙරබවාරි කාලය තුළ මෙහි ඒකක 50,000 ක් විකිණී තිබේ.

අද වන විට ලොව පුරා තිබෙන ස්මාට් දුරකථන ප්‍රමාණය බිලියන 3.5 කි.

2001 – සයිබර් අපරාධ පිළිබඳ බුඩාපේස්ට් සම්මුතිය

සයිබර් අපරාධ සම්බන්ධ සම්මුතිය (Convention on Cybercrime) හංගේරියාවේ බුඩාපෙස්ට්හිදී අත්සන් තබනු ලබයි.

සයිබර් අපරාධ සම්බන්ධ බුඩාපෙස්ට් සම්මුතිය යන නමින් ද, බුඩාපෙස්ට් සම්මුතිය (Budapest Convention on Cybercrime) යන නමින් ද මේ නිසා මෙය හැඳින්වේ. පරිගණක හෝ සයිබර් අපරාධ පිළිබද වූ ප්‍රථම අන්තර්ජාතික සම්මුතිය යි. ලොව පුරා රටවල් දේශීය වශයෙන් සයිබර් අපරාධ මර්දනය සඳහා වන සිය නීතිරාමුවල මුල් ගල වශයෙන් සලකන්නේ මෙයයි.

2004 – ජෝර්ජියාවේ අගනුවර වන ටිබ්ලිසි පිහිටා ඇති ශුද්ධ වූ ත්‍රිත්වයේ දෙව්මැදුර පාරිශුද්ධත්වයට පත් කරනු ලැබෙයි. මෙය එරට පිහිටා ඇති විශාලතම ආගමික දේවස්ථානය යි.

2006 – අයෝමය කාන්තාව එලන් ජොන්සන් ලයිබීරියාවේ ජනපති පදවියට

එලන් ජොන්සන් සර්ලීෆ් ලයිබීරියාවේ ජනාධිපතිනිය ලෙස තෝරා පත් කර ගැනෙයි. ඇය මෙලෙස අරාබි රාජ්‍යයක නායකත්වයට පත්වූ ප්‍රථම කාන්තාව ද වෙයි. 2006-2018 අතර කාලය තුළ ලයිබීරියාවේ 24 වන ජනපතිනිය ලෙස කටයුතු කළ ඇය, ආර්ථික විද්‍යාඥවරියක ද වූවාය. ලයිබීරියාවේ කාන්තාවන්‘ සාමය ගොඩනැගීමේ කාර්යය සඳහා පූර්ණ වශයෙන් සහභාගි කරගැනීමත්, කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ අරගලයත් වෙනුවෙන් 2011 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තේ ද ඇය විසිනි.මෙයට අමතරව ගාන්ධි සාම ත්‍යාගය ද ඇය විසින් දිනාගෙන තිබේ. ලයිබීරියාවේ පමණක් නොව මුළු මහත් අප්‍රිකාවෙන්ම බිහිවූ කීර්තිමත් චරිතයක් වන ඇය, මේ වන විට 82 හැවිරිදි ය. ඇය ලයිබීරියාවේ ‘අයෝමය කාන්තාව‘ ලෙස ද හැඳින්වේ.

2011 – අරාබි වසන්තයට යේමනයත් එක් වෙයි

අරාබි වසන්තයේ ම දිගුවක් ලෙස සැලැකෙන ජනතා නැගී සිටීමක ප්‍රතිඵලයක් වශයෙන් යේමනයේ ජනාධිපති අලි අබ්දුල්ලා සාලෙහ් උප ජනාධිපතිවරයා සමග එකඟතාවකට එළඹෙයි. ඒ හරහා ජනාධිපතිවරයා ගේ බලය උප ජනාධිපතිවරයාට පැවැරි ඒ වෙනුවට ඔහුට නීතිමය මුක්තිය ලබා දෙනු ලැබිණ. සාලෙහ් ජනාධිපතිවරයා නිල වශයෙන් ජනාධිපති ධූරයෙන් නික්ම ගියේ ඉන් මාස තුනකට පසුව ය.

කෙසේ නමුත් 2017 දෙසැම්බර් මාසයේදී අලි අබ්දුල්ලා සාලේ, වෙඩි තබා ඝාතනය කරනු ලැබීය.

2019 – අවසන් සුමාත්‍රා රයිනෝ සමුගනියි

සුමාත්‍රානු රයිනෝ මැලේසියාවෙන් වඳ වී ගොස් ඇති බවට ප්‍රකාශයට පත් කෙරෙයි. මේ අවසානයට ජීවත් වූ 25 වියැති ඉමාන් නම් සුමාත්‍රානු රයිනෝ ගැහැණු සත්වයා පිළිකාවකින් මිය යාමෙන් අනතුරුව ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි