×

පළමු වටයේදී ට්‍රම්ප්ගෙන් 73 දෙනෙකුට ජනාධිපති සමාව – බහුතරය දූෂිතයන්

තව පැය කිහිපයකින් ජෝ බයිඩන් ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර, ට්‍රම්ප් විසින් මේ ගෙවා දමන්නේ ජනපති ධුරයේ අවසන් පැය කිහිපයයි.


ට්‍රම්ප්ගේ ‘ජනාධිපති සමාව‘ ලැයිස්තුව ප්‍රකාරව සමාව ලබන පිරිස අතර අති බහුතරය, අපරාධ යුක්තිය සම්බන්ධ ව ප්‍රතිසංස්කරණ පිළිබඳ කතා කළ උපදේශකයන් විසින් මෙහෙයවූ නඩුවලට අදාළ අය ය. ඒ අනුව ඇමරිකාවේ දැනට පවතින අපරාධ යුක්තික ක්‍රමය අනුව වරදකරුවන් බවට තීරණය වූ බොහෝ දෙනා මේ අතර සිටිති. සුළු වැරදිවලට දීර්ඝ කාලීන දඬුවම් විඳිමින් සිටි කිහිප දෙනෙක් ද එහි වෙති.

නමුත් අතිශයින්ම මතභේදාත්මක නම් කිහිපයක් ද මේ ලැයිස්තුවේ ඇත. ඔවුන් සියලුම දෙනා ට්‍රම්ප්ට ජනපති ධුරය ලබාගැනීමට උදව් කළ, ඔහුගේ උපදේශකයන් ලෙස කටයුතු කළ සහ අනතුරුව විවිධ දූෂණ වංචාවලට වරදකරුවන් වූ ට්‍රම්ප් ආධාරකරුවන් ය.

ස්ටීව් බැනන්

ස්ටීව් බැනන් එයින් කෙනෙකි. ට්‍රම්ප්ගේ “We Build the Wall” ඔන්ලයින් ප්‍රචාරණ ව්‍යාපෘතියේදී ඔහු, අරමුදල් ලබාදුන් අයට වංචා කළ චෝදනාවට වැරදිකරු වූ අතර, ඔහු අභියාචනයක් යොමු කර තිබිණි. 2016 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ස්ටීව් බැනන් දැඩි වෙහෙසක් ගත් බව නොරහසකි. ට්‍රම්ප් අවසාන දින කිහිපය පුරාම ස්ටීව් බැනන්ට ජනාධිපති සමාව දීමට සාකච්ඡා ගණනාවක් පවත්වා තිබේ.

තවද ජනවාරි 6 කැපිටල් හිල් වෙත එල්ල වූ මැර ප්‍රහාරය සමග ද ස්ටීව් බැනන්ගේ සම්බන්ධයක් ඇති බවට සැක පළ කෙරේ.

එලිටය් බ්‍රොයිඩි

එලියට් ද අතීතයේදී ට්‍රම්ප් වෙනුවෙන් අරමුදල් රැස් කළ ප්‍රධාන පෙළේ පුද්ගලයෙකි. ඔහු සිර දඬුවම් විඳිමින් සිටියේ, විදේශීය කෝටිපතීන්ගෙන් ඩොලර් මිලියන ගණනක් ට්‍රම්ප් වෙනුවෙන් රැස් කිරීමේදී සිදුකළ වංචාවක් සම්බන්ධයෙනි.

ලී වෙයින් සහ කොඩැක් බ්ලැක්

ප්‍රකට රැප් ගායක ලී වෙයින් ද ට්‍රම්ප් වෙතින් ජනපති සමාව ලබා ඇත. ඔහු මයාමි හිදී නීතිවිරෝධී ලෙස ගිනි අවි භාවිතා කිරීම නිසා වරදකරුවෙකු වූ අයෙකි. ජනවාරි 28 දා සිට ඔහුගේ දඬුවම ආරම්භ වීමට නියමිත ව තිබිණි. තවත් රැප් ගායකයෙකු වන කොඩැක් බ්ලැක් ද ආයුධ චෝදනාවකට වරද පිළිගත් අයෙක් වේ.

කළු සල්ලි සුදුකළ රුසියානු ඔත්තුකාරියගේ පෙම්වතා

මරියා බුටිනා නමැති රුසියානු ඔත්තුකාරිය, කළු සල්ලි සුදුකිරීම සහ වංචාවන් සම්බන්ධයෙන් ඇමරිකාවේදී වරදකාරියක වූ අයෙකි. ඇගේ පෙම්වතා වූයේ පෝල් එරික්සන් නමැති කොන්සවේටිව් මතධාරී දේශපාලන ක්‍රියාකාරිකයෙකි. ඔහුට ද ට්‍රම්ප් සමාව දී ඇත.

මේ අතර, දේශපාලන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළ උතුරු කැරොලිනාවේ රොබිය් හේයිස් , ඩේට්රොයිට් හි හිටපු නගරාධිපති – මිනිස් ජාවාරම, බදු වංචා යනාදී බරපතළ වැරදි සඳහා වරදකරුවෙකු වූ ක්වාමේ කිල්පට්‍රික් හට ද ට්‍රම්ප් සමාව දී ඇත. ඉන්සයිඩර් ට්‍රේඩින් හෙවත් අභ්‍යන්තර තොරතුරු අනවරසරයෙන් ලබාගෙන ඔට්ටු ඇල්ලූ වෘත්තීමය ක්‍රීඩා ඔට්ටුතබන්නෙකු වූ විලියම් වෝල්ටර්ස්ද, ඔත්තුකරුවෙකු ලෙසට ඇමරිකානු නීතියෙන් වරදකරුවෙකු කර තිබුණු ඊශ්‍රායල් ගුවන් හමුදා නිලධාරියෙකු වන ඒවියම් සෙලා හට ද ට්‍රම්ප්ගේ සමාව ලැබී තිබේ.

බොහෝ දෙනා බලාපොරොත්තු වූ පරිදි, ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයන් හෝ කැපිටල් හිල් ප්‍රචණ්ඩකාරීත්වයට හවුල් වූ ඔහුගේ අනුගාමිකයන් හෝ දැනට මෙම ලැයිස්තුවේ නැත.

නමුත් ට්‍රම්ප්ට තව පැය කිහිපයක් ඉතිරිව තිබේ. අවසාන මිනිත්තුවේදී ඔහු කුමක් කරාවිදැයි කිසිවෙකුට කිව නොහැක.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි