×

‘‘පළවෙනියා මම වුණත් – අන්තිමයා මම නොවේවි..‘‘ – කමලා දේවි හැරිස්

56 හැවිරිදි කමලා දේවි හැරිස් සෙනසුරාදා රාත්‍රියේ සිදු කළේ ඇමරිකානු ඉතිහාසයේ පත් වීමට නියමිත පළමු උප ජනාධිපතිවරියගේ, එම තනතුරට පත් වූ පළමු සංක්‍රමණික දියණියකගේ, ආසියානු-අප්‍රිකානු සම්භවයකින් යුත් පළමු කාන්තාවගේ කතාවයි.


ඩෙලවෙයා හි රථ ගාලක රැස්වූ ජන ගඟක් අමතා කළ මේ කතාව අසා කඳුළු සැලුවෝ අපමණ ය. එයින් අති බහුතරය ස්ත්‍රීන් සහ ගැහැණු ළමුන් ය. සිය වාහනවල ආසනවලට, මුව වැසුමට මුවා වී ඔවුහු කඳුළු සැලුවහ.

ඈ සුදු වතින් සැරසී සිටියේ සර්වජන ඡන්ද බලය කාන්තාවන්ට ද හිමිවිය යුතු යැයි අරගල කළ විමුක්තිකාමිනියන් සිහිවන්නට ය. ඈ කතාව ආරම්භ කළේ රථ නළා විජයග්‍රාහී ලෙස හඬවමින්, හැඬුමෙන්ම ඝෝෂා කළ අයගේ හඬට ඉඩ දීමෙන් පසුව ය. ඩිමොක්‍රටික්වරුන්ගේ විජයග්‍රාහී රැළිය ඇරඹුණේ ඇගේ කතාවෙනි. ජෝ බයිඩන් පවා, ඇගෙන් පසුව පෝඩියම වෙත යන්නට තීරණය කර ගෙන සිටියේය.

‘‘අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සිදුවන්නේ අරගලයෙන්..‘‘ ඇය කතාව ඇරඹුවාය. ‘‘එයට කැපවීම අවශ්‍යයි. නමුත් එ් කැපවීම තුළ සතුට තිබෙනවා. ප්‍රගතිය තිබෙනවා. මොකද, ජනතාව වන අපට තමයි, වඩාත් යහපත් අනාගතයක් ගොඩනැංවීමේ බලය තිබෙන්නේ..‘‘

ඈ තබන විරාමයක් විරාමයක් පාසා ප්‍රීතිඝෝෂාවන් නැගුණේය.

‘‘ඔවුන්ගේ අරගලය දෙස ආපසු හැරී බලන විට, ඔවුන්ගේ තිර අධිෂ්ඨානය සහ ඔවුන්ගේ දැක්මේ ශක්තිය දෙස බලන විට විය හැක්කේ කුමක්ද යන්න, වී තිබෙන දෙයින් සපථ වෙනවා..‘‘ ඇය කීවාය. ‘‘මා සිටගෙන සිටින්නේ ඔවුන්ගේ දෙඋර මතයි..‘‘

ඡන්ද බලය, සමානාත්මතාවය සහ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ කාන්තාවන් වෙනුවෙන් ඇය සිය උපහාරය පිදුවාය. ඒ නායිකාවන් ‘‘බොහෝ විටම නොසලකා හැර තිබෙන බවත්, නමුත් නිරන්තරයෙන්ම ඔවුන් අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ කොඳු නාරටිය බව සනාථ වී තිබෙන බව‘‘ත් කීවාය.

තැබූ සෑම පියවරකදීම කමලා දේවි හැරිස් වාර්ගික සහ ස්ත්‍රීපුරුෂ සමාජභාවී බාධක කුඩු පට්ටම් කර තිබේ. වෘත්තියෙන් නීතීඥවරියක වූ ඈ, මුලින්ම කැලිෆෝනියාවේ පළමු දිස්ත්‍රික් ඇටර්නිවරිය බවට පත්වූ කළු ජාතික කාන්තාව වූවාය. එනම් එම ජනපදය සඳහා නීතිපතිවරිය බවට පත් වූවාය. 2016 වසරේදී මුල් වරට සෙනෙට් සභාවට තේරී පත් වූ විට, සෙනෙට් සභාවට එදාමෙදාතුර පැමිණි දෙවැනි කළු ජාති කාන්තාව බවට පත් වූවාය.

කමලා දේවි හැරිස්ගේ ඉන්දියානු මව සහ ජැමෙයිකානු පියා හමුවී තිබෙන්නේ ඔවුන් දෙදෙනා ඇමරිකාවේ බර්කෙලි හි කැලිෆෝනියා සරසවියේ ඉගෙන ගනිමින් සිටි සමයේදී ය. සිය මව වන ශ්‍යාමලා ගෝපාලන් හැරිස් ඇමරිකාවට පැමිණ තිබෙන්නේ 1958 වසරේ වයස අවුරුදු 19 දී බව ද කමලා හැරිස් සිය කතාවේදී සිහිපත් කළාය.

ඇගේ ළමා විය සහ යොවුන් විය පිරී තිබෙන්නේ අරගලවලට මැදි වූ මිනිසුන්ගේ මතකවලිනි. කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටි අයගෙන් ඇගේ නිවස කුඩා කල සිටම පිරී තිබිණැයි වාර්තා වේ. අනතුරුව දේශපාලනයට පිවිසි පසුව, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුදු ජාතිකත්ව උන්මාදය තුළ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය තුළින් උපන් ”Black lives matter‘‘ වැනි සමාජ ව්‍යාපාරවල කමලා දේවි හැරිස් ප්‍රමුඛත්වය ගැනීම පුදුමයට කාරණයක් හෝ අහම්බයක් නොවේ. පොලිස් ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික අයුක්තිය වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටියාය. අවසානයේ ඇය ඩිමොක්‍රටික් පක්ෂයේ උප ජනාධිපති අපේක්ෂිකාව බවට පත්වන්නේ පක්ෂයේ පරම්පරාගත අධිපතිවාදී උරුමය වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවී ලෙස තුලනය කළ හොඳම තේරීමක් ලෙස ය. තවද ඇය, සංක්‍රමණිකයන්ගේ දියණියක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිරන්තරයෙන් හිංසාවට සහ අවමානයට ලක් කළ ප්‍රජාවක් ද නියෝජනය කරන්නීය.

‘‘ප්‍රජාතන්ත්‍රවාදය යනු තත්වයක් නොව, ක්‍රියාවකි..‘‘ යැයි කොංග්‍රස් සභික ජෝර්ජ් ලුවිස්ගේ කතාවක් උපුටා දක්වමින් කමලා හැරිස් මෙසේ කීවාය.

‘‘ඔහු එයින් අදහස් කළේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහතික කළ එකක් නොවන බවයි. එය රඳා පවතින්නේ අප කොයිතරම් දුරට ඒ වෙනුවෙන්, එය ආරක්ෂා කර ගැනීමට සහ එය කිසිවිටෙකත් සුළුකොට නොසලකන්නේ කොයිතරම් දුරකට සහ, ඒ වෙනුවෙන් සටන් කළ යුතුද යන කැමැත්ත අනුවයි..‘‘

‘‘අප කළ යුතු සැබෑ කාර්යයන් පටන් ගන්නේ දැනුයි.. ආර්ථිකය නැවත ගොඩනැංවීම, වසංගතය පරාජය කිරීම සහ, අපේ යුක්තික ක්‍රමයේ සහ සමාජයේ මුල් බැසගෙන තිබෙන පද්ධතිගත ජාතිවාදය මුලින්උපුටා දැමීම අප කළ යුතුමයි..‘‘

‘‘මෙතැනට පැමිණි පළවෙනියා මම වුණත්,. අන්තිමයා මම නොවේවි..‘‘



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි