×

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සත්කාර ඒකකයේ – බොරිස් ජොන්සන් දැන්ම ඉඳන් සුදුකොඩි එල්ලනවා ද?

“මේ සතියේ මම වෙනසක් පොරොන්දු වුනා. අද මාගේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඉදිරිපත් කරන සංශෝධන අංක 10 කාර්යාලය ක්‍රියාත්මක වන ආකාරය වැඩිදියුණු කරාවි; මාගේ කැබිනට් මණ්ඩලයේ පසුපෙළේ භූමිකාව එය ශක්තිමත් කරාවි; රට දියුණු කිරීම සඳහා අප නිර්වචනය කළ මෙහෙයුම් වේගවත් කරාවි.”


ආන්දෝලනාත්මක “පාර්ටිගේට්” විමර්ශනයත් සමඟ එක්සත් රාජධානියේ දේශපාලන පිටිය දැඩි සෙයින් උණුසුම් වූ කාලවකවානුවක් ලෙස ඉකුත් දින කිහිපය හැඳින්විය හැකිය.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ රජයේ නිලධාරීන්ට කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කරමින් රැස්වීම් මාලාවක් පැවැත්වීමට අදාළව බරපතල චෝදනා එල්ල වූ අතර, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ම ඉල්ලීම පරිදි පැවැත්වූ කැබිනට් විමර්ශනයේදී ද රජයට අවාසිදායක අන්දමේ නිගමන කිහිපයක් ම සභාගත වී තිබිණි.

බොරිස් ජොන්සන් ඇතුළු රජයේ නිලධාරීන් විවිධ අවස්ථාවන්හී දී බීමතින් සිටි බවත්, කොවිඩ් මාර්ගෝපදේශ උල්ලංඝනය වන හා “සාධාරිනීකරණය කිරීමට අපහසු” වැරදි රජය පාර්ශවය අතින් සිදුව ඇති බවත්, සමස්ත ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය “බරපතල අන්දමින් අසමත් වී ඇති” බවත් හා මීට අදාළ පොලිස් විමර්ශන අවසාන වන තුරු නොසිට සිදුවූ වරද නිවැරදි කර ගැනීමට රජය වහා කටයුතු කළ යුතු බවත් එම නිගමන අතර වේ. මෙම විමර්ශනය මෙහෙයවූයේ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකා සූ ග්‍රේ මහත්මිය විසිනි.

සමස්ත පාර්ටිගේට් සංවාදය පුරාවටම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හැසිරුනේ තක්කඩියකු ලෙසින් බව ඔබ කාටත් මතක ඇත. බ්‍රිතාන්‍ය රජය කළ වරද සම්බන්ධයෙන් මුල්ම වරට මාධ්‍ය වාර්තා පළවන විට එකී සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් කැබිනට් විමර්ශනයක් ඉල්ලා සිටි බොරිස් ජොන්සන්, කැබිනට් විමර්ශනය හරහා ද තම පාර්ශවයට අවාසිදායක සොයාගැනීම් පිටතට ගලා එන විට පාර්ලිමේන්තුව තුළ පවසා සිටියේ පොලිස් විමර්ශන අවසාන වන තුරු සියල්ල ඉවසා වදාරන ලෙස ය. එමෙන්ම මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ වැලනොකැඩී මතුවූ ප්‍රශ්න වලට පිළිතුරු සපයනු වෙනුවට දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩිභාවය මනාව පසක් කරමින් විපක්ෂයට පරිභව කිරීමට ද බොරිස් ජොන්සන් කටයුතු කළේය.

කියවන්න: සුනිල් පෙරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?

පාර්ටිගේට් නිසා නික්ම ගිය (වාමාංශික) දක්ෂිණාංශිකාව මුනිරා මිර්සා!

බ්‍රිතාන්‍ය පාලනාධිකාරියට එල්ලකළ කුලුගෙඩි පහරක් බඳුවූ මෙම චෝදනාව මධ්‍යයේ විපක්ෂය පාර්ශවයෙන් පමණක් නොව පාලක පක්ෂය වූ බ්‍රිතාන්‍ය කොන්සර්වේටිව් පක්ෂයෙන්ද බොරිස් ජොන්සන්ට එරෙහි විවේචන එල්ල වන්නට විය. බොහෝ දෙනෙකු ජොන්සන් ට බල කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් සිය ධුරයෙන් වහා ඉල්ලා අස්වන ලෙසය. කෙසේවෙතත්, බොරිස් ජොන්සන් තම ස්ථාවරය වෙනස් කර ගැනීමට සූදානම් බවක් පෙන්වන්නේ නැත.

බ්‍රිතාන්‍ය රජයට එරෙහිව එල්ලවූ මෙම බරපතල චෝදනාව හමුවේ නො. 10 ඩවුනිං වීදියේ රජයේ කාර්යාල නිලධාරීන් පස්දෙනෙකු මේ වන විට ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ. මේ අතර ප්‍රතිපත්ති උපදේශිකා එලේනා නාරොසන්ස්කි, ජ්‍යෙෂ්ඨ සිවිල් සේවක මාර්ටින් රෙනෝල්ඩ්ස්, සන්නිවේදන අධ්‍යක්ෂ ජැක් ඩොයිල් සහ මාණ්ඩලික ප්‍රධානී ඩෑන් රෝසන්ෆීල්ඩ් ඇතුළත් ය. ඩෑන් රෝසන්ෆීල්ඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති මුත්, ඔහු වෙනුවට වෙනත් පුද්ගලයකු ධුරයේ පිහිටුවන තුරු කාර්යාලයේ රැඳී සිටින බව දැනුම් දී ඇත. මොවුන්ගෙන් කිහිප දෙනෙකුම ආන්දෝලනාත්මක පාර්ටිගේට් හමුවීම් වල සිටි බවට සාක්ෂි සහිතව තහවුරු වූ පුද්ගලයන් ය.

මින් වඩාත්ම කැපී පෙනෙන ඉල්ලා අස්වීම වන්නේ ප්‍රධාන ප්‍රතිපත්ති නිලධාරිනී මුනිරා මිර්සා ගේ ඉල්ලා අස්වීමයි.

ඇතැම් රාජ්‍ය නායකයන් ඔවුන්ගේ කීර්තිනාමය අත්ලෙන් ගිලිහුන දූවිලි පිඩක් සේ නැතිකර ගනිමින් ජනතා අප්‍රසාදයට පාත්‍ර වූ අවස්ථා ඉතිහාසයේ අපමණ ඇත. මේ බොහෝ අවස්ථාවන් වලදී එසේ වීමට හේතු වී තිබෙන්නේ තමා වටා සිටි උපදේශක මණ්ඩලය විසින් ලබා දුන් වැරදි අවවාද අනුශාසනා ය. ප්‍රවීණ ලේඛක උපුල් සන්නස්ගල මොවුන් වරක හැඳින්වූයේ “වටපඩයන්” කියා ය. කෙසේවෙතත්, රාජ්‍ය නායකයකු කොපමණ දූෂිත හෝ අකාර්‍යක්ෂම වූව ද, මාණ්ඩලික සේවකයන් යනු ඔහු ආරක්ෂා කිරීමට බැඳී සිටින පිරිසකි. යහපාලනයක් සඳහා වූ අවවාද අනුශාසනා ලබා දීමට ඔවුහු කටයුතු කරති. තම පෞද්ගලික මතය පසෙක ලා යහපත් පාලන තන්ත්‍රයක් පවත්වා ගැනීමට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන මාණ්ඩලික සේවකයකුගේ ඉල්ලා අස්වීම, ඉහත සඳහන් කළ අන්දමේ වටපඩයකු තම රාජ්‍ය නායකයාගේ කීර්තිනාමය පළුදු කළාට වඩා බරපතල තත්ත්වයකි. මුනිරා මිර්සා ගේ ඉල්ලා අස්වීම කැපීපෙනෙන්නට හේතුව මෙයයි.

මුනිරා යනු කවුද? මුනිරා යනු බ්‍රිතාන්‍ය පාලනාධිකාරියේ තවත් එක් වටපඩයකු නොවේ. මුනිරා මිර්සා හා බොරිස් ජොන්සන් අතර සබඳතාවය දශකයකට එහා අතීතයකට දිවයන්නකි. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම බොරිස් ජොන්සන් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු බවට ඔබට මතක ඇත. බොරිස් ජොන්සන් ට මිර්සා හමුවන්නේ බ්‍රිතාන්‍ය සඟරාවක් වන ස්පෙක්ටේටර් හි සංස්කාරකවරයකු වශයෙන් ඔහු කටයුතු කළ සමයේ ය. ජොන්සන් දේශපාලනයට අවතීර්ණ වීමෙන් අනතුරුව මිර්සා ඔහු සමඟ වසර 14 ක කාලයක් එක්ව වැඩකටයුතු කළාය. ඇය අග්‍රාමාත්‍යවරයාගේ දිගුකාලීන සගයකු වන අතර, බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය තුළ ඇගේ භූමිකාව කොපමණ ප්‍රභලද කිවතොත් තම ධුරකාලය තුළ වඩාත්ම බලවත් කාන්තාවන් පස්දෙනා අතරට මිර්සා ඇතුළත් කිරීමට පවා ජොන්සන් කටයුතු කර ඇත.

ඔබ මිර්සා ගේ පසුබිම් කතාව කියවා බැලුවහොත් සැබවින්ම ඈ ජොන්සන් ප්‍රමුඛ කන්සර්වේටිව් පක්ෂය අනුගමනය කරන දක්ෂිණාංශික දේශපාලනය හා අසළින් වත් තැබීමට නොහැකි චරිතයකි. වාර්ගික අසමානාත්මතාවය (racial inequality) හා ආයතනික වෙනස්කොට සැලකීම් (institutionalised discrimination) වලට එරෙහිව ප්‍රභල හඬක් නැඟි ඈ ඇටමිඳුලෙන්ම වාමාංශික මතධාරිනියකි. එහෙත්, යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය නික්මයාම හෙවත් බ්‍රෙක්සිට් විවාදයේදී ඊට සහාය පළ කිරීම ද ඇතුළුව, ජොන්සන් සමඟ දිගුකලක් දක්ෂිණාංශික දේශපාලනයක් කරගෙන ආ මිර්සා දක්ෂිණාංශික දේශපාලනයේ ද මානව හිතවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය සැමවිටම පවත්වා ගැනීමට ජොන්සන්ට සහාය වූවා ය.

පාර්ටිගේට් ආරවුල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කෙරෙන විට ඊට පිළිතුරු සපයනු වෙනුවට බොරිස් ජොන්සන් එක් අවස්ථාවක කුප්‍රකට ළමා කාමාතුරයකු වූ ජිමී සැවයිල් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු නොකිරීම පිළිබඳව එංගලන්තයේ හිටපු ප්‍රධාන අභිචෝදකයකු වන වත්මන් කම්කරු පක්ෂ නායක කියර් ස්ටාර්මර්ට පරිභව කළේය. මෙය මිර්සා ට දරා ගැනීමට නොහැකි වන්නට ඇත. මන්ද, ජිමී සැවයිල් පිළිබඳ නඩුකටයුත්තේ දී, එවකට ප්‍රධාන අභිචෝදක වූ කියර් ස්ටාර්මර්ට සැවයිල් ට එරෙහි නෛතිකමය වශයෙන් තීන්දුවක් ගැනීමට හැකියාවක් නොමැති බව නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් බොහෝ අවස්ථාවන් වල පෙන්වා දුන්නා පමණක් නොව, අදාළ නඩුකටයුත්තේ නෛතික පසුබිම පිළිබඳව ජොන්සන් පෞද්ගලිකව ම දැනුවත් කිරීමට කටයුතු කරන ලද්දේ මිර්සා ය. සැවොම බැහැර කරන ලද නීති තර්කයක් මෙසේ ගෙනහැර පෑම හරහා දක්ෂිණාංශික දේශපාලනයේ තක්කඩිභාවය මනාව ඔප්පුකරමින් තම වැරදි වසා ගැනීමට විපක්ෂයට තඩිබෑ බොරිස් ජොන්සන් ට එරෙහිව හඬ නැඟීමට ඔහුගේ දිගුකාලීන මිතුරිය මුනිරා මිර්සා පසුබට නොවූවා ය. මෙය ස්ටාර්මර්ට එල්ලකළ පෞද්ගලික මඩගැසීමක් බවට අර්තනඟමින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා මිර්සා පවසා සිටියේ මෙවැන්නකි.

“ඔබගේ විරුද්ධවාදීන් කිසිදිනක අවබෝධ කර නොගන්නා තරමට ඔබ හොඳ මිනිසෙකි. එම නිසා, විපක්ෂ නායකතුමාට අශික්ෂිත චෝදනාවක් කරමින් ඔබ මෙතරම් පහත් තැනකට වැටීම ඉතාම කණගාටුදායක ය.”

මිර්සා අවසාන මොහොත වන තුරු ඉවසා සිටියාය. අවසානයේ ඈ විසින් ම ගත් තීරණයක් මත සිය තනතුරෙන් ඉවත් වීමට මිර්සා කටයුතු කළාය. එහෙත්, ඈට පෙර බ්‍රිතාන්‍ය රජයේ අකටයුතුකම් සම්බන්ධයෙන් වාචික වූ තැනැත්තෙකි ඩොමිනික් කමිංස්. ජොන්සන්ගේ පළමු ප්‍රතිපත්ති උපදේශක වූ කමිංස් ඔහුගේ ධුරයෙන් නෙරපා හැර දැමුවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ අක්‍රමිකතා රැසක් පිළිබඳව ඔහු හඬ නැඟීම නිසාවෙනි. කමිංස් පිළිබඳව වෙනම ලිපියකින් සාකච්ඡා කළ යුතුය.

ජොන්සන්ට එරෙහි වැලනොකැඩී විශ්වාසභංග! “ඉතිං මට ගානක් වත් නෑනේ!”

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග ලිපි ඉදිරිපත් කිරීම දැනටමත් ආරම්භ වී තිබේ. මොවුන්ගෙන් බොහෝ දෙනෙකු කොවිඩ් සීමාවන් මැද බොරිස් ජොන්සන් කටයුතු කළ ආකාරය එක එල්ලේම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන් ය. විශ්වාසභංගයක් වලංගුවීමට, 1922 බලගතු ටෝරි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ (1922 Committee of Tory backbenchers) සභාපති ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රේඩි වෙත මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ගේ විශ්වාසභංග ලිපි ඉදිරිපත් විය යුතුය.

බීබීසී පුවත් සේවය වාර්තා කරන අන්දමට, දැනටමත් පාලක පක්ෂයේ විශ්වාසභංග ලිපි 17ක් ඉදිරිපත් වී තිබේ!

මේ අතර, නික්ම ගිය නො. 10 ඩවුනිං වීදියේ කාර්යාල නිලධාරීන් වෙනුවට දැනටමත් නව නිලධාරීන් පත්කර ගැනීම බොරිස් ජාන්සන් විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, කැබිනට් කාර්යාල අමාත්‍ය ස්ටීව් බාර්ක්ලේ මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්ව ඇති අතර, ජොන්සන් ලන්ඩනයේ නගරාධිපති ධුරය හෙබවූ සමයේ ඔහුගේ උපදේශකයකු වූ ගුටෝ හැරි සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස පත්ව ඇත. මතුව ඇති තත්ත්වයේ බරපතලභාවය පිළිබඳව ජොන්සන්ට ගානක් වත් නැති සෙයකි. ජොන්සන් පවසන්නේ නො. 10 ඩවුනිං වීදියේ කාර්යාලය වඩාත් හොඳින් මෙහෙයවීම දැන් ආරම්භ වී ඇති බව ය.

නො. 10 ඩවුනිං වීදියේ නව කාර්යාල නිලධාරීන් පත්කිරීමට සමඟාමීව බොරිස් ජොන්සන් පවසා සිටියේ මෙවැන්නකි;

“මේ සතියේ මම වෙනසක් පොරොන්දු වුනා. එවිට බ්‍රිතාන්‍ය ජනතාව අපව තෝරා පත්කර ගැනීමට හේතුවූ කාර්යය ද සමඟ අපට ඉදිරියට යාමට හැකිවේවි. අද මාගේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ඉදිරිපත් කරන සංශෝධන අංක 10 කාර්යාලය ක්‍රියාත්මක වන ආකාරය වැඩිදියුණු කරාවි; මාගේ කැබිනට් මණ්ඩලයේ පසුපෙළේ භූමිකාව එය ශක්තිමත් කරාවි; රට දියුණු කිරීම සඳහා අප නිර්වචනය කළ මෙහෙයුම් වේගවත් කරාවි.”

කෙසේවෙතත්, සිදුවීමට අදාළව ලබාගත් ඡායාරූප 300 කට අධික ප්‍රමාණයක් සහ විවිධ තොරතුරු ඇතුළත් ලේඛන පිටු 500 කට වැඩි ප්‍රමාණයක් සාක්ෂි වශයෙන් මේ වන විට මෙට්‍රොපොලිටන් පොලීසියට ලැබී තිබේ. නො. 10 ඩවුනිං වීදියේ පැවැත්වූ හමුවීම් (මාධ්‍ය වාර්තා වලට අනුව සාද) 12 කට අදාළව පොලිස් විමර්ශන තවමත් ක්‍රියාත්මක වන අතර, මේ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී නියමිත ය.

ජොන්සන් තවමත් තමාට එරෙහිව එල්ල වූ චෝදනා වලට පිළිතුරු දීමට කටයුතු කර නැත. නො. 10 කාර්යාලයෙන් නික්ම ගිය නිලධාරීන් වෙනුවට නව පත්වීම් ලබා දෙමින් නව ගමනක් ආරම්භ කරන බව ඔහු දිගින් දිගටම පවසයි. ඒ අනුව, බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට තවත් එක් සුළු අවස්ථාවක් ඉතිරිව තිබෙන මොහොතේ, එහි මළගමට සුදුකොඩි එල්ලීමේ වෑයමක බොරිස් ජොන්සන් නිරත වන බවයි අපට නම් පෙනී යන්නේ.

ප්‍රමෝද් චින්තක පීරිස්

ඡායාරූප: බීබීසී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි