×

පාකිස්ථානය ස්ත්‍රී දූෂකයන්ට රසායනික වන්ධ්‍යාකරණයෙන් පවා වැට බඳින හැටි

ස්ත්‍රී දූෂකයන්ව රසායනික වන්ධ්‍යාකරණයට ලක් කිරීම සහ තීන්දුව මාස 4 ක් තුළ ලබාදීම ඇතුළත්ව පාකිස්ථානයෙන් ස්ත්‍රී දූෂණයට එරෙහිව දැඩි නීති රැසක්


පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය විසින් පසුගිය මාසයේදී හඳුන්වා දුන් ස්ත්‍රී දූෂණ මර්දනය කිරීම සඳහා වූ නව නීති මාලාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි ව ඇත.

පාකිස්ථාන ජනපති අරිෆ් අල්වි විසින් සිය අත්සන මෙයට යොදා ඇති අතර, එතැන් පටන් දින 120 ක් ගිය පසු මෙම නීති පාකිස්ථානය තුළ බලාත්මක වීම ආරම්භ වේ. මෙම දින 120 ක කාලය ලබා දී තිබෙන්නේ නව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ට ය.

මෙමගින් අරමුණු කරන්නේ ස්ත්‍රී දූෂණ නඩු ඉක්මන් කිරීම සහ දඬුවම් දැඩි කිරීමයි.

ඒ යටතේ,

  • ලිංගික වරදකරුවන් සඳහා ජාතික මට්ටමේ රෙජිස්ට්‍රියක් සකස් කිරීම
  • වින්දිතයන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම
  • තෝරාගත් ඇතැම් ස්ත්‍රී දූෂකයන් සඳහා රසායනික වන්ධ්‍යාකරණය සිදුකිරීම ද ඇතුළත් ය.

Special fast-track courts හෙවත් විශේෂ – වේගවත් අධිකරණ විසින් ස්ත්‍රී දූෂණ නඩු හැකි ඉක්මනින් අසා නිම කිරීමට ද මේ යටතේ සිදුවනු ඇත.

නඩු තීන්දුව මාස 4 ක් ඇතුළත ලබාදීමට මේ අනුව කටයුතු සැලසීම සුවිශේෂී ජයග්‍රහණයකි.

සමූහ ස්‍ත්‍රී දූෂණ අති බහුලයි

පාකිස්ථානයේ මෑත භාගයේදී ඉන්දියාවේ මෙන්ම සමූහ ස්ත්‍රී දූෂණ අතිබහුල වී ඇත. මෙවැනි අලුත්ම සිද්ධිය පසුගියදා ලාහෝරයෙන් වාර්තා විය. සිය දරුවන් දෙදෙනා ඉදිරියේදී මවක් සමූහ ස්ත්‍රී දූෂණයට සහ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වීම මෙහිදී සිදුව තිබුණේය. කෙසේ වෙතත් මෙම සිදුවීමට පසු දිනයේ පාකිස්ථානයේ ජ්‍යේෂ්ඨතම පොලිස් නිලධාරියා කියා තිබුණේ මෙම සිදුවීමට කාන්තාව ද වගකිව යුතු බවයි.

මෙම මතභේදාත්මක ප්‍රකාශයත් සමග රටපුරා උද්ඝෝෂණ රැල්ලක් පැන නැගිණ.

විවේචන රැසක්

මේ නිසා නීති සැර වූ පමණින් අපරාධ අඩු නොවනු ඇති බවත්, අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කරන නිලධාරීන් නිවැරදි දැක්මක් ඇතිව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් විචාරකයෝ පෙන්වා දෙති. වින්දිතයාටම දොස් පැවරීම, ඔවුන්ගේ වරදක් නිසා මෙය සිදුවූ බව හැඟවීම ආසියානු රටවල ස්ත්‍රී දුෂණ ඇතුළු ලිංගික අපරාධවල ගොදුරු බවට පත්වන්නන් ගේ සුලබ ඉරණමකි.

මේ යටතේ සමූහ ස්ත්‍රී දූෂණයන්ට ගොදුරු වන කාන්තාවන් ට පමණක් සාධාරණය ඉටුවනු ඇතැයිද ප්‍රබල විවේචනයක් තිබේ. එයට හේතුව පාකිස්ථාන ෂරියා නීතිය යටතේ තනි පුද්ගලයෙකු විසින් කාන්තාවක දූෂණය කරන අවස්ථාවක ඒ බව සනාථ කිරීමට තවත් තිදෙනෙකුගේ සාක්ෂි උවමනා වන නිසා ය.

උපරිම දඬුවම මරණ දණ්ඩනය

එක්කෝ මරණ දඬුවම නැතිනම් වසර 10-25 අතර සිර දඬුවමක් පාකිස්ථාන නීතිය යටතේ දූෂකයන්ට හිමි වේ. නව නීති යටතේ සමූහ ස්ත්‍රී දූෂණ සඳහා මෙය මරණ දඬුවම හෝ ජීවිතාන්තය තෙක් සිර දඬුවම් දක්වා දීර්ඝ වේ.

පාකිස්ථානයේ ස්ත්‍රී දූෂණ සහ ලිංගික අඩන්තේට්ටම් කොතරම් උග්‍ර අතට හැරී තිබෙනවාද යත්, බන්ධනාගාරගත කර සිටින කාන්තාවන්ගෙන් 72%ක් කිසියම් ආකාරයක කායික ලිංගික හිරිහැරයකට හෝ ස්ත්‍රී දූෂණයට ලක් ව ඇති බව සඳහන් ය. 2019 වසරේදී පාකිස්ථානය ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිරිහැර පිළිබඳ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ 1,000 කට වඩා ස්ථාපිත කළත් නඩු දික්ගැස්සීම ඒවායේදී ද දැකගත හැකි විය.

රසායනික වන්ධ්‍යාකරණය

පාකිස්ථාන නීතියට මේ අතර, රසායනික වන්ධ්‍යාකරණය ඇතුළත් වන්නේ ප්‍රථම වරට ය.

මෙහිදී සිදුකරන්නේ පුරුෂ ශරීරය තුළ ටෙස්ටෙස්ටිරෝන් හෝමෝනය පවතින සාන්ද්‍රණය අඩු කිරීමයි. එය ඔවුන්ව ලිංගික වරදකරුවන් ලෙස වර්ගීකරණය කිරීමේම කොටසකි.

ඉන්දුනීසියාව 2016 වසරේ පටන් ළමා කාම අපරාධ සඳහා රසායනික වන්ධ්‍යාකරණය සිදුකරනු ලබයි.

මේ අතර පෝලන්තය ළමා දූෂණ සඳහා 2009 වසරේ පටන් රසායනික වන්ධ්‍යාකරණය අනිවාර්ය කර තිබේ.

දඬුවම් සැර වැඩිලු

ස්ත්‍රී දූෂණය බරපතළ අපරාධයක් බව නීතිපොත්වල සඳහන් වුවත්, සමාජය එය එතරම් බරපතළ ආකාරයට ගණන් නොගැනීම විශාල සමාජයීය ඛේදවාචකයකි.

මේ නිසා, ස්ත්‍රී දූෂණයට මරණ දඬුවමෙන් දඬුවම් නොකළ යුතු යැයි ද ප්‍රබල මතයක් ගතානුගතික පාකිස්ථාන සමාජය තුළ තිබේ. මේ අනුව නව දඬුවම් සැර වැඩි බවත්, ඒවා නීති බවට පත් කිරීමට පෙර විශේෂඥ උපදෙස්වලට භාජනය නොකළ බවටත් චෝදනා එල්ල වෙමින් තිබේ.

කෙසේ නමුත් ස්ත්‍රී දූෂණය කොතරම් බරපතළ වරදක්දැයි හොඳින්ම දන්නේ වින්දිත කාන්තාවන් ය. සමාජය කාන්තාවන්ට නිතරම කියන්නේ ‘‘දූෂණයට ලක් වීමෙන් වළකින්න‘‘ යනුවෙනි. නමුත් මේ ලිපිය සමග දැක්වෙන ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන පුවරුවේ සඳහන් පාඨය හොඳින් කියවා බලන්න. ‘‘දූෂණයට ලක් වීමෙන් වළකින්න‘‘ යන්න, ‘දූෂණය නොකරන්න‘‘ යන ස්ත්‍රීවාදී යුක්ති සහගත බවෙන් වෙනස් කිරීමට කාලය දැන් පැමිණ තිබේ.

ගැහැණුන්ට එළියට යන්න එපා යැයි නොකියන්න. ඒ වෙනුවට පුරුෂයන්ට මනුෂ්‍යයන් සේ හැසිරෙන හැටි කියා දෙන්න!

මේ, නූතන පාකිස්ථානයට වඩාත්ම ඔබින කියමනයි.

ප්‍රධාන ඡායාරූපය
© Reuters – Demonstrations against sexual violence took place across Pakistan in recent months following a shocking assault in September



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි