×

පාර්ටිගේට් ජරමරය: සද්දයක් නැති මෙට්‍රොපොලිටන් පොලීසිය රුසියාවේ ඔත්තුකාරයෙක් ද?

ඒ අනුව මෙට්‍රොපොලිටන් පොලීසිය යනු ප්‍රජාතන්ත්‍රවාදය ඉටුකිරීම නම් මෙහෙවරේ විරුවෙක් ද, නැතහොත් රුසියානු ඔත්තුකාරයෙක් ද යන ගැටළුව අප හමුවේ දිගහැරේ!


රටක අර්බුදයක් නිර්මාණය වී ඇති මොහොතක නිහඬව සිටීම, නැතහොත් ‘ලෝ ප්‍රොෆයිල් යාම’ මිනිසුන්ට එම ප්‍රශ්නය අමතක කරවීමට ඇති හොඳ උපායමාර්ගයක් බව දේශපාලන තක්කඩිකමේ කුසලාන දිනූවන් භාවිතයෙන්ම දන්නා දෙයක්. එසේත් නැතිනම් අර්බුදය වැසීමට වෙනත් අර්බුදයක් නිර්මාණය කිරීම, හෝ වෙනත් අර්බුදයකට එරෙහිව නැඟී සිටීම ගිලිහී ගිය තම කීර්තිනාමය යළි ලබා ගැනීමට ඇති උපායමාර්ගයක් බව ද මෙවන් ඈයෝ හොඳින් දනිති.

බ්‍රිතාන්‍යයේ ආන්දෝලනාත්මක පාර්ටිගේට් විමර්ශනය ද මීට උදාහරණයක්. පාර්ටිගේට් විමර්ශනය නිසා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු රජයට එල්ල වූයේ සුළුපටු චෝදනාවක් නොවේ. කොවිඩ් වසංගතය නිසා පැනවූ සෞඛ්‍ය රෙගුලාසි මැද ලක්ෂ සංඛ්‍යාත ජනයා එම රෙගුලාසි පිළිපදිමින් කරකියාගත නොහැකිව නිවෙස් වලට කොටුවී සිටිය දී එම රෙගුලාසි අමුඅමුවේ උල්ලංඝනය කරමින් නො. 10 ඩවුනිං වීදියේ රජයේ කාර්යාලයේ සවුදිය පුරමින් කා බී විනෝද වූ බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුට එල්ල වූ චෝදනාවට අදාළව පොලිස් විමර්ශනයක් පමණක් නොව, කැබිනට් විමර්ශනයක් ද දියත් විය.

කියවන්න:

යුක්රේනයේ වලි නේ, ඉතිං අපි පාර්ටිගේට් විමර්ශන අතාරිමු!

පාර්ටිගේට් ජරමරය: “සොරි” කියපු බොරිස් ජොන්සන්ට මෙට්‍රොපොලිටන් පොලීසියෙන් නෛතික ප්‍රශ්නමාලාවක්!

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සත්කාර ඒකකයේ – බොරිස් ජොන්සන් දැන්ම ඉඳන් සුදුකොඩි එල්ලනවා ද?

සුනිල් පෙරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?‍

පාර්ටිගේට් සිදුවීම මහජන අවධානයට යොමුවූ මොහොතේ පටන් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා හැසිරුණු අන්දම පිළිබඳව පෙර ලිපි කිහිපයකින් ම අපි ඔබ සමඟ සාකච්ඡා කර ඇත්තෙමු. සියලු කරුණු බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට අවාසිදායක දිශාවට යොමුවද්දී, පාලක පක්ෂය වන බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් ද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අවි අතට ගත් අයුරු අපි දුටුවෙමු; පාලක පක්ෂය තුළින්ම බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග ලිපි ඉදිරිපත් වූ අයුරු ද දුටුවෙමු.

එහෙත් බොරිස් ජොන්සන්ට හොඳ ඉල්ලමක් පෑදුනි. ලොවක් කලඹමින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට කටයුතු කිරීමත් සමඟ අගතියට පත් යුක්රේනය වෙනුවෙන් පෙනී සිටීමට යුරෝපා කලාපයේ රාජ්‍යයන් වෙත ස්වයංසිද්ධව පැවරුනු වගකීම හමුවේ වැඩිපුරම දොඩමළු වූ රාජ්‍ය නායකයකු වූයේ බොරිස් ජොන්සන් ය. යුක්රේනයට සිදුවූ අගතිය පිළිබඳව බොරිස් ජොන්සන් කතා නොකළ ස්ථානයක් නොමැති තරම්ය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත පවා මහජනතාව අමතමින් යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින බව බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා යන විරුදාවලිය ලද බොරිස් ජොන්සන් එක රැයින් වීරයකු බවට පත්විය.

පාර්ටිගේට් විමර්ශනයේ වත්මන් තත්ත්වය කෙබඳු ද? බොරිස් ජොන්සන් ඇතුළු බ්‍රිතාන්‍ය රජයට එල්ල වූ චෝදනා සැකයෙන් ඔබ්බට ඔප්පු වන්නේ නම් ඊට අදාළව දඩ ගෙවීමට පවා සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලීසිය වරක ප්‍රකාශ කර තිබිණි. කෙසේවෙතත් පසු අවස්ථාවක මෙට්‍රොපොලිටන් පොලීසිය පවසා සිටියේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද ඇතුළුව අදාළ සැකකරුවන් වෙත පාර්ටිගේට් සිදුවීමට අදාළව ප්‍රශ්නාවලියක් යොමුකර ඇති බවත්, දඩමුදලක් අය කිරීමට කටයුතු නොකරන බවත් ය. මෙම ප්‍රශ්නාවලියට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා පිළිතුරු සැපයූ බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් දැන් එම ප්‍රශ්නාවලිය ඉදිරිපත් කර ම සති තුනක් පමණ ගතවී හමාරය. අයකරපු දඩයකුත් නැත, විමර්ශනය ගැන වාර්තා වූ යාවත්කාලීනයක් ද නොමැත.

දැනට වාර්තා වන අන්දමට ස්කොට්ලන්ඩ්යාඩ් පරීක්ෂකවරුන් පාර්ටිගේට් සැකකරුවන් වෙත ප්‍රශ්නාවලි යොමුකිරීමේ ක්‍රියාවලිය අවසාන කර නැති අතර, ඊට අදාළ දඩ පිළිබඳව නිවේදනයක් කර ද නොමැත. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයට එරෙහිව ගොනුවූ චෝදනා 16 කින් 12 කට අදාළව විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදුකරනු ලබයි. රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමට පවා හැකියාවක් ඇති මෙම ගැටළුව කෙරේ සංවේදී පුද්ගලයන් පොලීසියට බලකර සිටින්නේ කඩිනමින් විමර්ශන අවසාන කරන ලෙසයි. කොවිඩ් විධිවිධාන මධ්‍යයේ සාද පැවැත්වීමට අදාළව වයිට්හෝල් කාර්ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් වෙත ප්‍රශ්නාවලිය යොමුකර අවසාන වූ විට ඒ පිළිබඳව නිවේදනයක් කරන බව පොලීසිය පවසා ඇති මුත් තවමත් ඒ පිළිබඳ යාවත්කාලීනයක් ලබා දී නැත.

වරක බ්‍රිතාන්‍ය ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍යවේදියකු රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කර සිටියේ යුක්රේනයේ පවතින තත්ත්වය හමුවේ ඊට අදාළව බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් බොරිස් ජොන්සන් වෙත පැවරෙන වගකීම් ඉටුකිරීමට පාර්ටිගේට් විමර්ශනය අතහැර දැමිය යුතු බවයි. මීට සමඟාමීව, බ්‍රිතාන්‍ය පාලක පක්ෂයේ ජ්‍යෙෂ්ට මන්ත්‍රීවරුන් ද ඊයේ (04) දින පවසා සිටියේ පාර්ටිගේට් විමර්ශනය කඩිනමින් අවසාන කළ යුතු බවත්, එවිට රුසියාව න්‍යෂ්ඨික අවි අතට ගැනීමට එරෙහිව කටයුතු කිරීම කෙරේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට අවධානය යොමුකිරීමට හැකිවනු ඇති බවත් ය. හිටපු කන්සර්වේටිව් පක්ෂ නායක ශ්‍රීමත් ඉයන් ඩන්කන් ප්‍රකාශ කර සිටියේ ද මෙම විමර්ශනය තුළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බොරුකියූ බව ඔප්පු නොවන්නේ නම් ඔහු වහා නිදහස් කළ යුතු බවය.

පාර්ටිගේට් විමර්ශනයට අදාළ සිදුවීම් මාලාව මේ වන විට කාටත් රහසක් නොවේ. කොවිඩ් විධිවිධාන අමුඅමුවේ උල්ලංඝනය කළ සාද වලට සහභාගී වූයේ කවුද නොවූයේ කවුද යන්න මුළු ලොවම දැනගෙන හමාර ය යැයි නිගමනයක් ලබා දීමට තරමට එය ප්‍රසිද්ධ ය. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව ගොනුවී ඇති ඡායාරූප ඇතුළු සාක්ෂි ඒ තරමට ප්‍රභලය.

කෙසේවෙතත්, මෙට්‍රොපොලිටන් පොලීසියේ මෙම ප්‍රමාදය දේශපාලනික වශයෙන් බොරිස් ජොන්සන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බවක් පෙනෙන්නට තිබේ. යුක්රේනයේ මතුව ඇති තත්ත්වය හමුවේ බ්‍රිතාන්‍යයට රුසියාවට එරෙහිව නැඟී සිටීමට පාර්ටිගේට් විමර්ශනය බාධාවක් වන බවට නිර්මාණය වී ඇති මතය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වීම මීට හේතුවයි. අප පෙර පෙන්වා දුන් පරිදි ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා යන විරුදාවලිය ලද බොරිස් ජොන්සන් දැන් බොහෝ දෙනෙකුට වීරයකු වී ඇත. ඒ අන් කවරක් නිසා නොව රුසියානු ආක්‍රමණයට එරෙහිව ඔහු සෘජුවේ සිය මතය ප්‍රකාශ කිරීම නිසා ය. දැන් ගොඩනැඟෙමින් පවතින තර්කය වනුයේ ඊට පවතින එකම බාධාව වනුයේ පාර්ටිගේට් විමර්ශනය බවයි.

ඒ අනුව, කල්මරමින් ඇදෙන පාර්ටිගේට් විමර්ශනය බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට සිදුකරන අසාධාරණයක් ය යන මතය ක්‍රමක්‍රමයෙන් ගොඩනැඟෙමින් පවතී.

පාර්ටිගේට් විමර්ශනය කඩිනමින් අවසන් විය යුතුය යන මතයේ අපිද සිටිමු. හැබැයි ඒ රුසියානු ආක්‍රමණය හමුවේ බොරිස් ජොන්සන් වීරයකු කරවීමට නොව, බ්‍රිතාන්‍යයේ ගිලිහී යන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ නීතිය කඩකිරීමට අදාළව නෛතික ප්‍රශ්නාවලියකට මුහුණ දීමට සිදුවූ පළමු අග්‍රාමාත්‍යවරයා බොරිස් ජොන්සන් ය. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා බලා සිටින්නේ පාර්ටිගේට් සිදුවීම පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා දීමට පොලිස් විමර්ශන අවසාන වන තුරුය. එමෙන්ම, බොහෝ පාර්ශව පෙන්වා දෙන පරිදි රුසියානු ආක්‍රමණය අභියස බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මෙසේ සිරකර තැබීම ‘අතිශයින්’ අසාධරණය. ඔවුන්ගේ තර්කය අනුව මෙට්‍රොපොලිටන් පොලීසිය මේ මොහොතේ කටයුතු කරන අන්දම බ්‍රිතාන්‍යය පමණක් නොව සමස්ත යුරෝපා කලාපයටම සිදුකරන අසාධාරණයක් ය.

කෙසේවෙතත්, රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර පාර්ටිගේට් සිදුවීමට අදාළ පොලිස් විමර්ශන අවසාන වනතුරු සියල්ල ඉවසා වදාරා සිටින ලෙස පාර්ලිමේන්තුව තුළ පවසා සිටියේ ද මේ බොරිස් ජොන්සන් සහ ඔහුගේ හෙන්චයියන්ම ය.

ඒ අනුව මෙට්‍රොපොලිටන් පොලීසිය යනු ප්‍රජාතන්ත්‍රවාදය ඉටුකිරීම නම් මෙහෙවරේ විරුවෙක් ද, නැතහොත් රුසියානු ඔත්තුකාරයෙක් ද යන ගැටළුව අප හමුවේ දිගහැරේ!

ප්‍රමෝද් චින්තක පීරිස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි