×

පාර්ටිගේට් ජරමරය: “සොරි” කියපු බොරිස් ජොන්සන්ට මෙට්‍රොපොලිටන් පොලීසියෙන් නෛතික ප්‍රශ්නමාලාවක්!

ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය සඳහන් කරන අන්දමට මෙම ප්‍රශ්නාවලිය සඳහා නෛතික පදනමක් ඇති අතර, එම නෛතික පදනම මත පිළිතුරු සපයන්නා අවංකව පිළිතුරු සැපයීමට බැඳී සිටී.


කොවිඩ් විධිවිධාන ක්‍රියාත්මක වන අතරවාරයේ  ඒවා අමුඅමුවේ උල්ලංඝනය කරමින් එක්සත් රාජධානියේ නො 10 ඩවුනිං වීදියේ රජයේ කාර්යාලවල අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු පැවැත්වූයේ යැයි කියන සාද වලට අදාළව එරට මෙට්‍රොපොලිටන් පොලීසියේ විමර්ශනය මේ වන විට දියත් වෙමින් පවතී.

මෙම සිදුවීම් මාලාව පිළිබඳව මීට ඉහත දී අප ඔබට තොරතුරු වාර්තා කළ අතර, සිදුවීමට අදාළව ජ්‍යෙෂ්ඨ සිවිල් සේවිකා සූ ග්‍රේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ කැබිනට් විමර්ශනයේදී රජය පාර්ශවයට අවාසිදායක වන අන්දමේ නිරීක්ෂණ රාශියක් සොයාගැනීමට හැකිවූ බවට අපි ඔබට සැලකළෙමු. “පාර්ටිගේට්” හෙවත් නො 10 කාර්යාල වල පැවැත්වූයේ යැයි කියන සාදවල “සාධාරණීකරණය කිරීමට අපහසු” අන්දමේ වැරදි සිදුව ඇති බවත්, බ්‍රිතාන්‍ය පාලනාධිකාරියේ “බරපතල අසාර්ථකභාවය” ඉන් පිළිඹිමු වන බවත්, මෙම වැරදි පොලිස් විමර්ශන අවසාන වනතුරු බලා නොසිට නිවැරදි කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවත් සූ ග්‍රේ මහත්මියගේ වාර්තාවේ සඳහන්ව තිබිණි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, විපක්ෂය පාර්ශවයෙන් පමණක් නොව පාලක පක්ෂය වූ බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ සාමාජිකයන්ගේ විරෝධය ද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට එල්ල විය. එතනින් ද නතර නොවී බොරිස් ජොන්සන්ට එරෙහිව විශ්වාසභංග ලිපි ඉදිරිපත් කිරීමට පාලක පක්ෂ සාමාජිකයන් 14 දෙනෙකුම මේ වන විට කටයුතු කර තිබේ. බ්‍රිතාන්‍ය නීතියට අනුව, පාලක පක්ෂ නායකයාට එරෙහි විශ්වාසභංගයක් වලංගු වීමට නම්, 1922 බලගතු ටෝරි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කමිටුවේ (1922 Committee of Tory backbenchers) සභාපති ශ්‍රීමත් ග්‍රැහැම් බ්‍රේඩි වෙත මන්ත්‍රීවරුන් 54 දෙනෙකු ගේ විශ්වාසභංග ලිපි ඉදිරිපත් විය යුතුය.

කියවන්න:

ප්‍රජාතන්ත්‍රවාදය දැඩි සත්කාර ඒකකයේ – බොරිස් ජොන්සන් දැන්ම ඉඳන් සුදුකොඩි එල්ලනවා ද?

සුනිල් පෙරේරාට ගීතය වැරදුනා වත් ද? ප්‍රජාතන්ත්‍රවාදයේ තක්කඩියා හෙවත් බොරිස් ජොන්සන් ලංකාවේ පොරක් ද?

මෙම විමර්ශනයට අදාළව මෙට්‍රොපොලිටන් පොලීසියට ඡායාරූප 300 කට අධික සංඛ්‍යාවක් හා පිටු 500 කට අධික ලේඛන සාක්ෂි වශයෙන් ලැබී තිබිණි. මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් මෙම විමර්ශනයට අදාළව ප්‍රශ්නාවලියක් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ලබා දී ඇති අතර, ස්කයි නිව්ස් පුවත් සේවය වාර්තා කරන අන්දමට ඔහු මේ වන විට ඒවාට පිළිතුරු සපයා තිබේ.

.
නෛතික ප්‍රශ්නමාලාවක්!

සිදුවීමට අදාළ කාලසීමාව තුළ රටේ කොවිඩ් විධිවිධාන මධ්‍යයේ පැවැත්වූ සාදවලට පැහැදිලි කිරීමක් ඉල්ලා මෙම ප්‍රශ්නාවලිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට යොමුවී තිබේ. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය සඳහන් කරන අන්දමට මෙම ප්‍රශ්නාවලිය සඳහා නෛතික පදනමක් ඇති අතර, එම නෛතික පදනම මත පිළිතුරු සපයන්නා අවංකව පිළිතුරු සැපයීමට බැඳී සිටී.

මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දින 07 ක කාලයක් ලබා දී තිබිණි. මෙම ප්‍රශ්නාවලිය බොරිස් ජොන්සන් ට ලබා දී තිබුණේ ඉකුත් සිකුරාදා (18) දින ය. නො 10 ඩවුනිං වීදියේ කාර්යාල මාධ්‍ය ප්‍රකාශකවරයකු තහවුරු කරන අන්දමට බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රශ්නාවලියට පිළිතුරු සපයා ඇත. මීට ඉහත දී ඩවුනිං කාර්යාලය පවසා සිටියේ අදාළ ප්‍රශ්නාවලියට අග්‍රාමාත්‍යවරයා සැපයූ පිළිතුරු ප්‍රසිද්ධියට පත් නොකරන බවයි.

මෙම සිදුවීමට සම්බන්ධ අවස්ථා 16 කින් 12 ක්ම කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කිරීමේ පදනම මත විමර්ශනයට ලක්වන අතර, ඉන් 06 ක්ම බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගොනුවූ චෝදනා වලට අදාළය. මෙම අවස්ථාවන්ට සම්බන්ධ වූයේ යැයි කියන පුද්ගලයන් 50 දෙනෙකු පමණ විමර්ශනයට යටත් ව සිටින බව වාර්තා වේ.

මෙම සිදුවීමට සම්බන්ධ අයට එරෙහිව දඩයක් පැමිණවීමට කටයුතු නොකරන බව මෙට්‍රොපොලිටන් පොලීසිය පවසයි. කෙසේවෙතත්, මෙම හමුවීම් වලදී සැකයෙන් ඔබ්බට කොවිඩ් විධිවිධාන උල්ලංඝනය කර ඇති බව තහවුරු වූවහොත් දඩයකට යටත් කිරීමේ හැකියාව ඇති බව පොලීසිය මීට ඉහත නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙට්‍රොපොලිටන් පොලීසියේ ප්‍රශ්නාවලියේ අන්තර්ගතය පිළිබඳ මාධ්‍යයට තොරතුරක් ලබා දී නොමැති මුත්, සිවිල් සේවකයන් නියෝජනය කරන වෘත්තීය සමිතියක් වන Association of First Division Civil Servants (FDA) අනාවරණය කර සිටියේ, අදාළ ප්‍රශ්නාවලිය පාර්ටිගේට් සිදුවීමට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඔවුන් කැබිනට් විමර්ශනයට ලබා දුන් සාක්ෂි පිළිබඳ සටහන් පරිශීලනය කිරීමට හැකි වන පරිදි සකස් කර ඇති බවයි.

.
සොරි කියූ බොරිස් ජොන්සන් ගැන පෙර විමර්ශනය නොකළ සිදුවීමක් පොලීසියේ ඇස ගැටෙයි!

සූ ග්‍රේ මහත්මියගේ පාර්ටිගේට් වාර්තාව සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සමාව අයැද ඇති බවත්, නො 10 කාර්යාලයේ වෙනස්කම් රාශියක් ඉදිරියේදී සිදුවනු ඇති බවට ඔහු පොරොන්දු වූ බවත් දක්ෂිණාංශික හිතැති බ්‍රිතාන්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත්, පාර්ටිගේට් ආරවුල සමඟ රජයේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙකුම ධුරයෙන් ඉල්ලා අස්වූ අයුරු පිළිබඳව ද අපි ඔබට වාර්තා කළෙමු.

ඉකුත් සතියේ නො 10 කාර්යාලයේ නත්තල් සාදයක් අතරතුර විවර කළ මත්පැන් බෝතලයක් අසල සිටින බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා බවට හැඟවෙන ඡායාරූපයක් සමාජගත වූ අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය නොකිරීමට මෙට්‍රොපොලිටන් පොලීසිය තීරණය කර තිබිණි.

කෙසේවෙතත්, අදාළ ඡායාරූපය සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා දැන් මෙට්‍රොපොලිටන් පොලීසියේ අවධානය යොමුව ඇති බවයි ස්කයි නිව්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරන්නේ. මෙම ඡායාරූපයේ බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා යැයි හැඟවෙන පුද්ගලයා අසල නත්තල් හිස්වැස්මක් පැළඳ සිටින පුද්ගලයකු ද, නත්තල් සැරසිල්ලක් සිරුරේ දවටා ගෙන සිටින තවත් පුද්ගලයකු ද, විවර කළ මත්පැන් බෝතලයක් සහ කෙටි ආහාරයක් ද දිස්වෙයි.

මෙම ඡායාරූපය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට එරෙහි ප්‍රභල සාක්ෂියක් වනු ඇත.

ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශවයන් ගෙන් ඉල්ලීම් ලැබී ඇතත්, බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් සිටී. මේ වන විටත් පාලක පක්ෂයේ විශ්වාසභංග ලිපි 14ක් ටෝරි පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කමිටුවට ලැබී ඇත. ලිපි 54ක් ලැබුණහොත් බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වීමට සිදුවේ. එහෙත් ඔහු මෙම විශ්වාසභංගයෙන් ජයග්‍රහණයට පත්වූවහොත් දිගටම බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර ඉදිරි වසරක කාලයක් යනතුරු ඔහුගේ බලයට අභියෝග කිරීමට කිසිවකුට හැකි නොවනු ඇත.

.
බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දින වලපල්ලට යනවා ද? මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී ගේ ඉල්ලා අස්වීම

මේ අතර මෙට්‍රොපොලිටන් ප්‍රධාන පොලිස් නිලධාරිනී ක්‍රෙසිඩා ඩික් මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ. මෙය බොරිස් ජොන්සන්ගේ පාර්ටිගේට් සිදුවීමට සබඳතාවක් නොමැති මුත්, මෙසේ ඉල්ලා අස්වීමට හේතුව සොයාබලද්දී, එක්සත් රාජධානියේ ප්‍රජාතන්ත්‍රවාදය දිනෙන් දින වලපල්ලට යනවා ද යන බරපතල ගැටලුව පැනනඟියි.

ඩේම් ක්‍රෙසිඩා ඩික් යනු මෙට්‍රොපොලිටන් පොලීසියේ පළමු කාන්තා පොලිස් කොමසාරිස්වරියයි. මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස් ඩේම් ක්‍රෙසිඩා ඩික් මහත්මිය ඉල්ලා අස්වී තිබෙන්නේ පොලීසිය තුළ සිදුව ඇතැයි කියන ඇතැම් අකටයුතුකම් හමුවේ ඇගේ නායකත්වය පිළිබඳව විශ්වාසයක් නොමැති බවට ලන්ඩන් නගරාධිපති සදික් ඛාන් මහතා පැවසීම නිසා ය. මෙම අකටයුතුකම් අතර ලිංගික හිංසන, ස්ත්‍රී-විරෝධී ක්‍රියාකලාප හා වෙනස්කොට සැලකීම් ආදිය ඇතුළත් බවට සඳහන්.

වරක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පාර්ටිගේට් සිදුවීමට අදාළ ප්‍රශ්නකිරීම් හමුවේ පිළිතුරු ලබාදෙනු වෙනුවට විපක්ෂයට පරිභව කිරීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කටයුතු කළේය. කුප්‍රකට ළමා කාමාතුරයකු වූ ජිමී සැවයිල් ගේ නඩු කටයුත්තේ බොහෝ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම නීති සම්පාදකයන් විසින් බැහැර කර තිබූ තර්කයක් ගෙනහැර පාමින් කම්කරු පක්ෂ නායකයාට තඩි බෑමට ඔහු එම අවස්ථාව යොදාගත්තේය.

එමෙන්ම බ්‍රිතාන්‍ය පාලනාධිකාරිය පිළිබඳ කිසිඳු විශ්වාසයක් නොමැති බවට විපක්ෂයෙන් පමණක් නොව පාලක පක්ෂයෙන් ද විවේචන එල්ල වෙමින් පවතී. මෙහි උච්ඡතම අවස්ථාවක් ලෙස බොරිස් ජොන්සන් ගේ දකුණු අත බඳුවූ මුනිරා මිර්සා ගේ නික්ම යාම උදෘත කළ හැකිය.

මීට ඉහත අවස්ථාවක බ්‍රිතාන්‍ය රජයේ අකටයුතුකම් සම්බන්ධයෙන් දොඩමළු වූ ජොන්සන් ගේ පළමු ප්‍රතිපත්ති උපදේශක වූ ඩොමිනික් කමිංස් ධුරයෙන් නෙරපා හැරීමට රජය කටයුතු කළේය. මෙවන් සිදුවීම් දාමයන් රැසක් හමුවේ බ්‍රිතාන්‍ය රජය පිළිබඳව දිනෙන් දින ජනතාව කෙරේ පවතින විශ්වාසය ගිලිහී යන බවක් පෙනෙන්නට තිබේ. එය රජයක් පෙරලීමකින් අවසාන වූවහොත් අප පුදුම විය යුතු නැත.

ප්‍රමෝද් චින්තක පීරිස්

ඡායාරූප: බීබීසී / ස්කයි නිව්ස්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි