×

පාරිසරික නොබෙල් ත්‍යාගය හෙවත් 2021 ‘බ්ලූ ප්ලැනට් සම්මානය‘ ශ්‍රී ලාංකිකයෙකුට : මහාචාර්ය මොහාන් මුණසිංහ ජපානයේදී සම්මානිත වීමට සූදානමින්

2021 බ්ලූ ප්ලැනට් සම්මානය - සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ (Munasinghe Institute for Development - MIND) ආරම්භක සභාපති මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධානතම ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබීමට නියමිතය.


වර්ෂ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යාඥ හා ආර්ථික විද්‍යාඥ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා තෝරාගෙන තිබේ.

“පාරිසරික නොබෙල් ත්‍යාගයකට” සමාන යැයි සැලකෙන ඉහළම ජාත්‍යන්තර සම්මානය වන බ්ලූ ප්ලැනට් සම්මානයට ජපානයේ ‘අසාහි ග්ලාස්’ පදනම විසින් අනුග්‍රහය දක්වන අතර බ්ලූ ප්ලැනට් ත්‍යාගය මේ වසරේ දී පිරිනැමෙනුයේ 30 වන වරටය. තීරක මණ්ඩලය විසින් 2021 වර්ෂය සඳහා සම්මානලාභීන් දෙදෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවේ මහාචාර්ය මොහාන් මුනසිංහ සහ ඇමරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය වී. රාමනාදන් යන මහතුන්ය. ගෝලීය පාරිසරික ගැටලු විසඳීම සඳහා සිදු කර ඇති විශිෂ්ට සේවය අගයමින් මෙම සම්මානය මේ විද්‍යාඥ දෙපළට ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ උපත ලැබූ මහාචාර්ය මුණසිංහ විසින් හඳුන්වා දී ඇති අද්විතීය සංකල්ප ලෙස සැලකෙන ඒකාබද්ධ සහ විෂයාන්තර ‘තිරසරාර්ථික’ රාමුව (‘Sustainomics’ framework), පරිසරය, ආර්ථිකය හා සමාජය යන ත්‍රිවිධ අංශ මත පදනම් වූ තිරසාර සංවර්ධන ත්‍රිකෝණය (sustainable development triangle), ‘සමතුලිත හරිත අන්තර්ග්‍රාහී සංවර්ධනය (BIGG – balanced inclusive green growth)’ සහ ‘සහස්‍ර පරිභෝජන ඉලක්ක (MCGs) වැනි නව්‍ය සංකල්ප අගයමින් මෙම සම්මානය පිරිනැමේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්-රාජ්‍ය කමිටුවේ (අයිපීසීසී) උප සභාපති ලෙස ඔහු 2007 දී නොබෙල් සාම ත්‍යාගය බෙදා ගත්තේය. එවන් ජයග්‍රහණයක් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය. ඔහුගේ පර්යේෂණ සහ සංකල්ප පරිසරය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ගෝලීය ගිවිසුම් කිහිපයකට දායක වී තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන මහාචාර්ය මුණසිංහ එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ඇත. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්‍ෂණ ආයතනයෙන් (MIT) විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ SM සහ වෘත්තීය EE උපාධි ද, කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, කැනඩාවේ කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන් සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන සිටී. මීට අමතරව මහාචාර්ය මුනසිංහ හට සම්මාන ආචාර්ය උපාධි කිහිපයක් ද ප්‍රදානය කෙරී ඇත. ශාස්ත්‍රීය ග්‍රන්ථ සියයකට අධික සංඛ්‍යාවක කතුවරයා වන ඔහු පිළිගත් විද්‍යා සඟරාවල තාක්‍ෂණික නිබන්ධ හාරසියයකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. එමෙන්ම, මහාචාර්ය මුණසිංහ ප්‍රමුඛ පෙළේ ගෝලීය විද්‍යා ඇකඩමි කිහිපයකම සාමාජිකයෙකි.

මෙම සම්මානය පිළිගනිමින්, මහාචාර්ය මුණසිංහ මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රමුඛතම ගෝලීය පාරිසරික තිරසර සම්මානය වන 2021 බ්ලූ ප්ලැනට් සම්මානය ලැබීම ගැන මම බෙහෙවින් කෘතඥ වෙමි. මෙම සම්මානය මගින් වඩා හොඳ අනාගතයක් සාක්ෂාත් කර ගැනීම සඳහා අසාහි ග්ලාස් පදනමේ කැපවීම සංකේතවත් කරයි. මගේ බුද්ධිමය සංවර්ධනයට සහ චිත්තවේගීය බුද්ධියට නොමසුරුව දායක වූ මාගේ ගුරුවරුන්, උපදේශකවරුන්, වෘත්තීය සගයන්, පවුලේ අය සහ මිතුරන් ඇතුළු බොහෝ දෙනෙකුට මම ණයගැති වෙමි.”

තව දුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මොහාන් මුණසිංහ මෙසේ සඳහන් කරයි: “දශක 5 කට ආසන්න කාලයක් පුරා මා විසින් වර්ධනය කරන ලද ප්‍රධාන සංකල්ප සහ ඒවායේ ප්‍රායෝගික භාවිතයන් ලොව පුරා පිළිගෙන ඇති බව සම්මාන කමිටුව විසින් අගය කර තිබීම දිරිගන්වන සුළුය. මගේ පර්යේෂණ ආරම්භයේදී ඉංජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි මූලික අංශවල සිට බලශක්තිය, ජලය, ප්‍රවාහන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා පාරිසරික සම්පත් වැනි යෙදුම් අංශ දක්වා පැතිර ගොස් අවසානයේ දරිද්‍රතාව, ආපදා, දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධනය වැනි ඉතා පුලුල් සහ විෂයාන්තර ක්ෂේත්‍ර දක්වා විකාශනය වී ඇත. තිරසරාර්ථික රාමුව යන නව්‍ය සංකල්පය සමෝධානිත, විෂයාන්තර ක්‍රමවේදයක් ලෙස වර්ධනය කිරීමට මෙම පුලුල් අත්දැකීම මා හට උපකාරී විය. මගේ මෙතෙක් සිදු කරමින් සිටි ක්‍රියාදාමයන් සහ ගෞරවනීය බ්ලූ ප්ලැනට් ත්‍යාගය මගින් සපයන ලද ගෝලීය වේදිකාව ප්‍රයෝජනයට ගනිමින්, අපගේ පෘථිවිය සැමට සුරක්‍ෂිත කිරීමට මගේ නිහතමානී උත්සාහය දිගටම කරගෙන යන්නෙමි.”

බ්ලූ ප්ලැනට් ත්‍යාගය හිමි වන සෑම සම්මාන ලාභියකුටම සහතිකයක්, සමරු කුසලානයක් සහ ත්‍යාග මුදල් පිරිනමනු ලැබේ. මෙම සම්මාන උළෙල 2021 ඔක්තෝබර් 6 වන දින ටෝකියෝ නුවර කයිකන් හිදී පැවැත්වීමට නියමිතය. මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් බ්ලූ ප්ලැනට් ත්‍යාගය වෙනුවෙන් පවත්වනු ලබන සමරු දේශන 2021 ඔක්තෝබර් 7 සහ 9 යන දිනවල පිළිවෙලින් එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ (ෂිබුයා වෝඩ්, ටෝකියෝ) සහ කියෝතෝ විශ්ව විද්‍යාලයේ දී පැවැත්වෙනු ඇත.

– LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි