×

පිටසක්වල සටන්කාමියා ප්‍රෙඩෙටර් මිහිතලයට පා තබා වසර 34යි!

Predator - ප්‍රෙඩෙටර් සන්නාමය බාල මහළු කා අතරත් එක සේ ජනප්‍රියය. පළමු ප්‍රෙඩෙටර් චිත්‍රපටය තිරගත වූයේ 1987 වර්ෂයේ ජූනි මස 12 වන දිනදී ය.


Predator – ප්‍රෙඩෙටර් සන්නාමය බාල මහළු කා අතරත් එක සේ ජනප්‍රියය. පළමු ප්‍රෙඩෙටර් චිත්‍රපටය තිරගත වූයේ 1987 වර්ෂයේ ජූනි මස 12 වන දිනදී ය. මෙය හොලිවුඩයේ පිටසක්වල ජීවීන් පිළිබඳව පැවති සම්ප්‍රදායික පියාඹන පීරිසි සහ කුරුමිට්ටන් සම්ප්‍රදාය බිඳ දැමීමට සමත් වූ අතර, අන්තර් චක්‍රාවාට ජීවීන් හුදෙක් තවත් ලොවක් ආක්‍රමණය කරනු වෙනුවට දඩයම් ක්‍රීඩාවේ යෙදීමට සහ සටන් කිරීමට කැමැත්තක් දැක්වූ බවට පිළිඹිමු කළ අමුතුම අන්දමේ සංකල්පයක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට ප්‍රෙඩෙටර් චිත්‍රපටය සමත් විය.

පළමු ප්‍රෙඩෙටර් චිත්‍රපටයේ රඟපෑවේ ආර්නෝල්ඩ් ෂ්වාසනේගර්, කාර්ල් වෙදර්ස්, බිල් ඩියුක්, ෂේන් බ්ලැක්, කෙවින් පීටර් හෝල්, ජෙසි වෙන්ටුරා, එල්පිඩියා කැරිලෝ ඇතුළු නලුනිලියන් පිරිසකි. එහි දැක්වූයේ මධ්‍යම ඇමරිකාවේ ග්වාතමාලා වෙත අභ්‍යවකාශ යානයකින් පැමිණි යවුචා (yautja) විශේෂයට අයත් පිටසක්වල ජීවියකු ක්‍රීඩාව සඳහා මිනිසුන් එකින් එක දඩයම් කිරීමේදී ඊට එරෙහිව සටන් වදින හමුදා භට පිරිසක් පිළිබඳව ය.

ප්‍රෙඩෙටර් කතාමාලාව ලොවට හඳුන්වා දී අදට වසර 34ක් සපිරේ. මුල් චිත්‍රපටයෙන් පසු අනුබන්ධ හෙවත් සීක්වල් චිත්‍රපට ගණනාවක් ද, ඒ ආශ්‍රිත චිත්‍රකතා ගණනාවක් ද, පරිගණක ක්‍රීඩා ගණනාවක් ද මේ වන විට නිකුත් වී තිබේ. එපමණක් නොව ප්‍රෙඩෙටර් කතාමාලාව මේ හා සමානවම හොලිවුඩයේ පිටසක්වල ජීවීන් නිර්මාණය කිරීමෙහිලා ගෞරවයට පාත්‍රව සිටින ඒලියන් නම් කතා මාලාව සමඟ සංයෝජනය කොට ඒලියන් වර්සස් ප්‍රෙඩෙටර් නම් වූ ක්‍රොස්ඕවර් කතාමාලාවක්ද නිකුත් කර තිබේ.

ත්‍රාසජනක සහ සංත්‍රාස ජොනරාවන් රැගත් ප්‍රෙඩෙටර් කතාමාලාව හුදෙක් හොලිවුඩයේ පිටසක්වල ජීවී කලාවෙන් වෙනස් වීමට හේතු කිහිපයක් පවතී. එනම්, ප්‍රෙඩෙටර් කතාමාලාවේ පැමිණෙන යවුචා ජීවීන් සෑම විටම;

  • හමුදා මුහුණුවරක් ගැනීම සහ යුධ කේතයට අවනත වීම;
  • සාධාරණ සටනක් සඳහා ප්‍රතිවාදියා සතු අයිතියට ගරු කිරීම;
  • අධි තාක්ෂණික අවි සහ උපාංග භාවිතා කිරීම;
  • නායකයකු අනුගමනය කිරීම;
  • ගෝත්‍ර ගත වී ජීවත් වීම;
  • පරාජය භාර ගැනීමට මැලි නොවීම සහ;
  • මනුෂ්‍ය ලෝකය තුළ මෙන් විවිධ සම්ප්‍රදායන්, දේශපාලනික සහ සංස්කෘතික වටිනාකම් පවත්වා ගැනීම යි.

ප්‍රෙඩෙටර් සංකල්පය නිර්මාණය කරනු ලැබුවේ ජිම් තෝමස් සහ ජෝන් තෝමස් යන කලාකරුවන් දෙපළ විසින් වන අතර යවුචා නම් පිටසක්වල ජීවියා නිර්මාණය කරනු ලැබුවේ ස්ටෑන් වින්ස්ටන් නම් කලාකරුවා විසිනි. මනුෂ්‍ය හැඩයට යම් සමානකමක් දක්වන යවුචා ජීවීන් මනුෂ්‍යයකුට වඩා සිරුරෙන් උස සහ විශාල සත්ව විලාශයක් ගනු ලබයි. ඔවුනට ම ආවේණික භාෂාවන්, අක්ෂර, සංස්කෘතීන් සහ තාක්ෂණයක් හිමි යවුචා පිටසක්වල ජීවීන් ජීවත් වෙන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈත ග්‍රහලෝකයක ය.

සංස්කෘතික, දේශපාලනික, ආගමික හෝ සම්ප්‍රදාය මත පදනම් වූ අරගල ආදී මනුෂ්‍ය ලෝකය තුළ දක්නට ලැබෙන බෙදීම යවුචා හෙවත් ප්‍රෙඩෙටර් ජීවීන් අතර ද මනාව දක්නට ලැබේ. ඔවුන් සර්වයිවල් ඔෆ් ද ෆිටස්ට් හෙවත් ශක්තිවන්තයා ජයගනී නම් සමාජ ලක්ෂණය ප්‍රගුණ කළවුන් ය. ප්‍රෙඩෙටර් කතාමාලාව පසුපස ඇති දේශපාලනික කියවීම අවබෝධ කර ගැනීම හුදෙක් ප්‍රේක්ෂකයකු ගේ උනන්දුව නොවිය හැකිය. එහෙත් ප්‍රෙඩෙටර් සංකල්පය හරහා සංස්කෘතික, දේශපාලනික හෝ වෙනත් සමාජ හේතූන් මත බලය ලබා ගැනීමෙහි ලා යුධ වදින, කුසලාන එක්රැස් කරන, අවි දරන, දඩයම් කරන සහ අවසානයේ විනාශය කරා ළඟා වන මනුෂ්‍ය ගති ලක්ෂණය මිනිසුන්ටම කියා දීමට මෙම කලාකරුවන් සමත් වූ බවට අවබෝධ කර ගත යුතුය. එපමණක් නොව, යවුචා ජීවීන් සතු කාලය අභිබවා ආලෝක වර්ෂ වේගයෙන් අභ්‍යවකාශයේ ගමන් කිරීමට හැකියාව ඇති යානා, ප්ලාස්මා ගිනි අවි, සංකීර්ණ ආයුධ, වෛද්‍ය උපකරණ සහ ඖෂධ ආදී අධිතාක්ෂණික කරුණු රැසකගෙන් හඟවනු ලැබුවේ පරිණාමය සමඟ තාක්ෂණිකව දියුණු වීමට අරගල කරන මනුෂ්‍ය ගති ලක්ෂණයයි. එමෙන්ම, යවුචා ජීවීන් විවිධ අවස්ථාවන් වල පෘථිවියට පැමිණ ඇති බවත්, ඔවුන් සතු අධිසංකීර්ණ තාක්ෂණය දැක මවිතයට පත්වූ මිනිසුන් ඔවුන් ප්‍රේත ලෝකයෙන් පැමිණි අවතාර බවට විශ්වාස කිරීමට පෙළඹ ඇති බවත් ප්‍රෙඩෙටර් කතාමාලාව තුළින් පෙන්වයි. මෙමඟින් විද්‍යාත්මකව පැහැදිලි කළ නොහැකි දේ හමුවේ මිත්‍යා විශ්වාස වෙත යොමුවන මනුෂ්‍ය ගති ලක්ෂණය ද මනාව පිළිඹිමු කරයි.

මිනිසා තුළ ජීවත් වන සැඟවුනු යක්ෂයා ප්‍රබන්ධයකට ලක්කළ සිනමා කෘතියක් ලෙස ප්‍රෙඩෙටර් කතාමාලාව හැඳින්විය හැකිය. තාක්ෂණයේ හිනිපෙත්ත කරා මැරතන් තරඟයක නිරතව සිටින මිනිසා කෙදිනක හෝ මනුසත්භාවය අමතක කර දමන්නේද සහ ඒ තාක්ෂණය මතම විනාශ වන්නේ ද යන අනතුරු ඇඟවීම මිනිසාවම පිටසක්වල ජීවියකුට සමාන කොට පෙන්වීමට ප්‍රෙඩෙටර් කතාමාලාව සමත් වන බවට මාගේ කියවීමයි.

ප්‍රමෝද් චින්තක පීරිස් | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි