×

පිටුවහල් දෙවියෝ – දලයි ලාමා වහන්සේ

පිටුවහල් දෙවියන්ගේ පුද්ගලික ජීවිතය ගැන දුලබ කතාවක්.


තිබෙතයේ අධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමන්ගේ පෞද්ගලික ජීවිතයේ තතු අනාවරණය කෙරෙන දුර්ලභ ගණයේ ඡායාරූප ඇතුළත් කෘතියක් 2014 වසරේදී නිකුත් විණ. මේ කෘතිය නම් කර තිබෙන්නේ “අ ගෝඩ් ඉන් එක්සයිල්” (A God In Exile) යනුවෙනි.

කෘතිය රචනා කළේ ඉන්දීය ජාතික ඡායාරූප ශිල්පී රඝු රායී ය. දලෙයි ලාමාතුමන්ගේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ ඡායාරූප විශාල සංඛ්‍යාවක් ගැනීමට රඝු රායීට දශක හතරකට නොඅඩු කාලය තුළ ඉඩ ලැබී ඇත. එසේ ලබාගත් ඡායාරූපවලින් සෑහෙන සංඛ්‍යාවක් විස්තරත් සමඟම “අ ගෝඩ් ඉන් එක්සයිල්” කෘතියට ඇතුළත් කර තිබේ.

The Dalai Lama watching the TV series, Mahabharata | RAGHU RAI

The Dalai Lama watching the TV series, Mahabharata | RAGHU RAI

රඝු රායී විස්තර කරන අන්දමට දලෙයි ලාමාතුමාගේ ඡායාරූපයක් ඔහුට පළමුවරට ගන්නට ඉඩ ලැබී තිබෙන්නේ 1975 වසරේදී ය. ඒ පළමු ඡායාරූපය ගන්නට ගිය ගමන තරමක දුෂ්කරතාවලින් පිරුණු එකක් වී යැයි කියා රඝු රායී පවසයි. එයට හේතුව දලෙයි ලාමාතුමන්ගේ ආරක්ෂක අංශ, මාධ්‍යවේදීන්ට සහ ඡායාරූපශිල්පීන්ට දලෙයි ලාමාතුමන් අසලට පිවිසීම වැළක්වීම ය. මේ බාධාව මඟ හැර යන්නට රඝු රායී සමත්ව වුණේ තරමක් දුර සිට දලෙයි ලාමාතුමන් දෙස බලා හිඳිමිනි. තමන් දෙස බලා සිටින රඝු රායීව දලෙයි ලාමාතුමන් ඒ අවස්ථාවේදී දැක තිබේ. වහාම ක්‍රියාත්මක වුණු රඝු රායී උන්වහන්සේගේ ඡායාරූප ලබාගැනීමට තමන් කැමති යැයි කියා අඟවා ඇත. ඊට අනුමැතිය පළකරන්නාක් මෙන් දලෙයි ලාමාතුමන් සිනාසුණු බව රඝු රායී බී.බී.සී.යට පවසා තිබිණ. රඝු රායීට දලෙයි ලාමාතුමන්ගේ ජීවිතයට සම්බන්ධ ඡායාරූප ලබාගන්නට මඟ පෑදුණේ එතැන් පටන් ය. ඒ මුල්ම ඡායාරූපය ගැනීමෙන් වසර කිහිපයක් ඉක්ම යනවිට දලෙයි ලාමාතුමන් සමඟ ගැඹුරු මිත්‍රත්වයක් ඇති කරගන්නට රඝු රායී සමත්ව ඇත. දලෙයි ලාමාතුමන්ගේ පෞද්ගලික ජීවිතයේ අවස්ථාවන් පවා කාචයට හසු කරගන්නට රඝු රායිට හැකි වුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

RAGHU RAI

RAGHU RAI

1959 මාර්තු මාසයේදී තිබෙතය සහ චීනය අතර අර්බුධකාරී වාතාවරණයක් ඇතිවන විට වත්මන් දලෙයි ලාමාතුමන් වයස අවුරුදු විසි ගණන්වල පසු වූ තරුණයෙකු විණ. උපතේදී එතුමන්ට තැබුණේ ටෙන්සින් ග්යට්සෝ (Tenzin Gyatso) යන නමයි. ඇතිවුණු අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් ටෙන්සින් ග්යට්සෝට තිබෙතයෙන් ඉවත් වී ආරක්ෂාකාරී තැනෙකට පිවිසෙන්නට සිදු විණ. ඒ අවස්ථාවේදී ඔහුට සහය දුන්නේ එවක ඉන්දීය රජයයි. ඉන්දියාවේ උතුරු පෙදෙසෙහි පිහිටි ධරම්සාලා නමැති ප්‍රදේශයට ටෙන්සින් පැමිණියේය. ඔහු එහි පැමිණීමත් සමඟම 80,000කට අධික ඔහුගේ අනුගාමිකයෝ ද එම පෙදෙසට පැමිණ පදිංචිය ඇරැඹුහ. එතැන් පටන් අද දක්වා උන්වහන්සේ වැඩ වසන්නේ එම පෙදෙසෙහි ය.

RAGHU RAI

RAGHU RAI

මෙයට වසර තුනකට පෙර ධරම්සාලාහිදී දලෙයි ලාමාතුමන්ගේ අසූ වෙනි උපන් දිනය සැමරිණ. උත්සව අවස්ථාවට දලෙයි ලාමාතුමන්ගේ වැඩිමහල් සොයුරු ග්යාලෝ තොන්ඩුප් ද (Gyalo Thondup) පැමිණ සිටියේය. දලෙයි ලමාතුමන්, තම වැඩිමහල් සොයුරා හඳුන්වන්නේ “කරදරකාරයකු” හැටියටයි.

RAGHU RAI

RAGHU RAI

රඝු රායි, දලෙයි ලාමාතුමන්ව බැහැදැකීමට වරක් ගියේය. ඒ අවස්ථාවේදී දලෙයි ලාමාතුමන් රඝු රායී ඉදිරියට පැමිණියේ බළලෙකු සුරතල් කරමිනි. වත්මන් දලෙයි ලාමාතුමන් සතුන් සුරතල් කිරීමට බෙහෙවින් ප්‍රිය කරන බව රඝු රායි සඳහන් කරයි.

” … අමතක නොවන හැඟීම් එතුමන් මා තුළ ඇතිකර තිබෙනවා. මෘදුබව, දයාන්විතබව සහ ආශ්චර්යය උන් වහන්සේගෙන් පළවෙනවා. …. එතුමන්ගේ පුණ්‍යවන්ත චර්යාව සමඟ බැඳුණු අවංක කරුණා ගුණය වගේම අහංකාරයෙන් තොර බව මා හැමවිටම දකිනවා. …” යනුවෙන් රඝු රායී පවසයි.

RAGHU RAI

RAGHU RAI

දලෙයි ලාමාතුමන් වැඩවසන ආරාමයෙහි බොහෝ වැඩකටයුතු උන්වහන්සේගේ මැදිහත්වීමෙන් සිදුවන බව රඝු රායි සිය කෘතියේ සඳහන් කර තිබේ. රූපවහිනිය අලුත්වැඩියා කරගැනීම, ගෙවත්තෙහි පැල සිටවීම, ඒවාට සාත්තු සප්පායම් කිරීම ඒ අතර ප්‍රධාන ය. ආරාමය පිහිටි වත්තෙහි බොහෝ ශාක වගා කෙරුණේ දලෙයි ලාමාතුමන්ගේ අතින් බැව් සඳහන් වේ. තමන් සිටවා සාත්තු සප්පායම් කර වර්ධනය කරනු ලැබූ රුක් ගොමු අතර හිඳ විවේක ගැනීමට දලෙයි ලාමාතුමන් බෙහෙවින් ප්‍රිය කරන බව සඳහන් වේ.

RAGHU RAI

RAGHU RAI



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි