×

පිනෝචේගේ දරුණුම හමුදා ගෝලයන්ට වසංගතයේ පිහිටෙන් නිදහස

මේ වන විට චිලී රාජ්‍යෙය් ක්‍රියාත්මක, වසංගතය පාලනය කිරීමට අදාළ නව නීතියකින් නියම කර තිබෙන්නේ අඩු-අවදානම් සිරකරුවන් 1,300 දෙනෙකුව නිදහස් කිරීමට ය.


කෙසේ නමුත් මෙම නව නීතියට මුවා වී හිටපු චිලී ආඥාදායක ඔගස්ටෝ පිනෝචේගේ ක්‍රෑර ක්‍රියාවලට දායක වූ, බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුකළ බවට සැලකෙන පිනෝචේ යුගයේ ඉහළ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුද අද දිනයේ නිදහස ලබා ගත්තේ කොරෝනා වසංගතයට මුවා වෙමිනි.

හදිසි කෙටුම්පතක් ලෙස අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් කළ මෙමගින් මුලින් අදහස් කළේ සුළු වැරදිවලට සිරගත කළ අය, වයස අවුරුදු 2 ට වඩා කුඩා දරුවන් සිටින අය, වියපත් හෝ දැඩි ලෙස ගිලන් වූ සිරකරුවන් අතරින් දැනටමත් සිය දඬුවමෙන් භාගයක් ගෙවා ඇති අය නිදහස් කිරීමට ය.

නමුත් මේ සහනය, අපකීර්තිමත් පුන්ටා පියුකෝ බන්ධනාගාරයේ (Punta Peuco) රැඳවියන් ද මෙමගින් නිදහස් කරන ලෙස දැඩි බලපෑමක් ආණ්ඩුවට කළේ සෙනෙට් සභිකයන් 14 දෙනෙකු විසිනි. මේ බන්ධනාගාරයේ රඳවා තබා සිටින්නේ පිනෝචේගේ ආඥාදායක පාලන සමයේ මානව හිමිකම් උල්ලංඝනයන්ට වරදකරුවන් වූ 70 දෙනෙකි.

ඔවුන් සුරසැප විඳිමින් සිටින බව දැක්වුණේ චිලී රාජ්‍යයේ 2018 ජාතික මානව හිමිකම් වාර්තාවේ ය.

එයට අනුව මේ රැඳවියන් රඳවා තබා තිබෙන්නේ පුද්ගලික සිරකුටිවල ය. නමුත් ඒවා සිරකුටිවලට වඩා මන්දිරවලට සමාන බව කිව හැක. මනා ලෙස ආලෝකමත් ඒවායේ පුද්ගලික නාන කාමරය බැගින් ඇති අතර, රැඳවියන්ට සැටලයිට් රූපවාහිනී සේවාවන් නැරඹිය හැකිය. පරිගණක පහසුකම් පමණක් නොව ටෙනිස් පිටි පවා ඔවුන්ගේ සුඛ විහරණය සඳහා වෙන් කර තිබේ.

මේ තත්වය, චිලී රාජ්‍යයේ තිබෙන සෙසු බන්ධනාගාරවල වාතාවරණයට වඩා හාත්පසින්ම වෙනස් ය. ඒවා අඳුරු, ගූඪ, අවම පහසුකම් යන්තමින් තිබෙන ස්ථාන වන අතර, කොවිඩ් වැනි වසංගතයක් පහසුවෙන්ම පැතිර යාම සඳහා අවශ්‍ය වන සෑම සාධකයක්ම පාහේ ඒවායේ තිබේ.

පිනෝචේ කළේ කුමක්ද?

ඇමරිකාවේ සහාය ලැබූ හමුදා කුමන්ත්‍රණයක් මගින් 1973 වසරේ චිලී රාජ්‍යයේ බලය මිලිටරි ජුන්ටාව විසින් අල්ලා ගන්නේ ප්‍රජාතාන්ත්‍රික ලෙස බලයට පත්වූ සැල්වදෝර් අයියන්දේ ව බලයෙන් පහ කරමිනි.1974 වසරේ දෙසැම්බරයේ මිලිටරි ජුන්ටාව විසින් ඔගස්ටෝ පිනෝචේ ‘උත්තරීතර‘ නායකයා ලෙස පත්කරනු ලබයි. සැබවින්ම මේ මිලිටරි ජුන්ටාවේ නායකයා වූයේ ද පිනෝචේ ය. ඒ සමගම චිලී රාජ්‍යෙය් වාමාංශිකයන්, සමාජවාදීන්, දේශපාලන විසම්මුතිකවාදීන් ඝාතනය කිරීම ආරම්භ වෙයි. මේ කාලය තුළ දස දහස් ගණනක් දෙනා ඝාතනය කිරීම සහ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සිදුවිය.

පිනෝචේගේ 17 වසරක ආඥාදායකත්වය තුළ ඝාතන, අතුරුදන්වීම්, වධහිංසා සහ පැහැරගැනීම් 3,428 ක් සිදු වූ බව වාර්තා කරන්නේ 1991 වසරේ පත් කරන ලද චිලී රාජ්‍යයේ ජාතික සත්‍ය හා සංහිදියා කොමිසමයි. නමුත් සැබෑ තත්වය මෙයට වඩා අතිශයින් දරුණු බවට ප්‍රකට මතයක් තිබේ.

මෙම මානව හිමිකම් උල්ලංඝනයන්ට දායකත්වය ලබාදුන් මැනුවෙල් කොන්ට්‍රිරාස් වැනි රහස් පොලිස් නායකයන් ද රඳවා තබා තිබුණේ මෙම අපකීර්තිමත් බන්ධනාගාරය තුළ ය. ඔහු 2015 වසරේ මිය ගිය නමුත් තවමත්, මෙම අපරාධ සඳහා වරදකරුවන් බවට පත්වූ හමුදා නිලධාරීහු ගණනාවක් මෙහි සිටිති.

මෙම නිලධාරීන් මුදා හැරීමට ගන්නා ලද උත්සාහය සම්බන්ධයෙන් චිලී රාජ්‍යය තුළ මහත් ආතතියක් නිර්මාණය වී තිබේ. ගතවූ මාස 6 ක කාලය මුළුල්ලේ ද චිලී රාජ්‍යය තුළින් දැකගත හැකි වූයේ නොසන්සුන්කාරී වාතාවරණයකි. නමුත් මෙවැනි පසුබිමක් තුළ චිලී ජනපති සෙබස්තියන් පිනේරා (Sebastián Piñera) පසුගිය සතියේ කියා තිබුණේ මානව හිමිකම්වලට වරදකරුවන් වූ අයට ද ගෞරවයෙන් යුතුව මිය යාමට අයිතියක් තිබෙන බවයි.  මේ අනුව තවමත් චිලී දේශපාලනයේ නොමැකෙන සෙවණැල්ලක් සේ පවතින පිනෝෂේගේ ඒකාධිපතිත්වයට කොවිඩ් වසංගතයෙන් අත් වුණේ ආශිර්වාදයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි