×

පිරිමියකු වන්නේ කෙසේ ද? ට්‍රම්ප් සහ බයිඩන් පිළිතුරු සපයති.

ඡන්ද දායකයන් අතර විශාල ස්ත්‍රී පුරුෂ සමාජභාව වෙනසක් ඇති තත්ත්වයක, ඉස්මතු වී ඇති එක් ආකාරයක පුරුෂ භාවයක් දැඩි බව අවධාරණය කරන අතර අනෙක අවධාරණය කරන්නේ දුර්වලයන්ට සහය වන බව යි.


2016 එක්සත් ජනපද ජනාධිපතිවරණය ස්ත්‍රීවාදය දැඩි පුරුෂභාවයට එරෙහි ව යන්නට සූදානම් කරද්දී, මෙවර ජනාධිපතිවරණය ඉන් ඉස්මතු වන පිරිමිකම හෙවත් පුරුෂභාවය කුමනාකාර වේ දැයි සොයා බලන්නට ස්ත්‍රීවාදින් පොළඹවන්නේ ය.

ජනාධිපති ට්‍රම්ප්, ඔහු ගේ පෞරුෂයෙන් සහ ප්‍රතිපත්තිවලින් ඔහු අධිපුරුෂභාවයෙන් යුතු අයකු ලෙස ඉදිරිපත් කර ඇත්තේ ය; දැඩි, සරලව කතාබහ කරන, අනෙකාට අගෞරව කරන්නට බිය නොවන පුරුෂෝත්තම වාදියකු ලෙස ඔහු ඔහුව ඉදිරිපත් කරයි. එය එසේ වන අතරතුර, ජෝ බයිඩන් අවධාරණය කරන්නේ පවුල, සහකම්පනය සහ අනෙකා පිළිබද සොයා බැලීම – ආදරණීය, සහයෝගී සහ ආරක්ෂාකරන පියා ගේ භූමිකාව යි.

ජාතික වශයෙන් ජෝ බයිඩන් සියයට නවයක පමණ ප්‍රතිශතයකින් ට්‍රම්ප්ට වඩා ඉදිරියෙන් සිටිය ද, පිරිමි ඡන්ද දායකයන් අතර ඉදිරියෙන් සිටින්නට ජනාධිපති ට්‍රම්ප්ට හැකි ව තිබේ. ඡන්ද ව්‍යාපාරයේ අවසාන දින කීපය ගත කරන මේ මොහොතේ, මේ පාර්ශව දෙක ම ‘පිරිමියකු සිටිය යුත්තේ කෙසේ ද’ යන්නට පිළිතුරු සපයමින් ජනතාව ගේ ආකර්ෂණය දිනා ගන්නට උත්සාහ දරමින් සිටිති.

පසුගිය සතියේ අයෙක් ජෝ බයිඩන් ඔහු ගේ පුතු වන හන්ටර් වැළද ගන්නා ජායාරූපයක් මුදා හැර, “මෙය නිසි පිය පුතු සම්බන්ධතාවක් ලෙස ඔබට පෙනෙන්නේ දැ”යි විමසුවේ ය. තවත් අයෙක් බයිඩන් මුව ආවරණයක් පැළඳීම හාස්‍යයට නැගුවේ ඔහු ඒ සමග කාන්තා පසුම්බියක් ද ගෙන යා යුතු යැයි කියමිනි. මෙහි පණිවුඩය පැහැදිලි ය: තමා පහසුවෙන් අනතුරට ලක්කළ හැකි අයකු ලෙස පෙනී සිටීම පිරිමිකම නොවේ.

ජෝ බයිඩන්

ජෝ බයිඩන් ගේ ඡන්ද ව්‍යාපාරය අපට යෝජනා කරන්නේ පිරිමින් තමන් ගේ පවුලේ සාමාජිකයන්ට ප්‍රසිද්ධියේ සෙනෙහස ප්‍රකාශ කිරීම, තමා වැරැදි බව ප්‍රකාශ කිරීම මෙන් ම ප්‍රසිද්ධියේ කදුළු හෙළීම ඔහුන් ගේ පිරිමිකමෙහි අඩුවක් නොවන බව යි.

“පුරුෂත්වය හා ඈඳී යන බයිඩන් ගේ ලක්ෂණ රැසක් තිබෙනවා – ආරක්ෂා කිරීම, (යම් යම් දේ) ලබා දීම, කැපකිරීම, පවුලකට යැපිය හැකි තැනැත්තා වීම” ලොව පුරා පිරිමිකම් හදාරා ඇති මානවවිද්‍යාඥයකු වන මහාචාර්‍ය මැතිව් ගට්මන් කියා සිටියි.

විසකුරු පිරිමිකම (toxic masculinity)

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් මහාචාර්‍ය ගට්මන් මෙසේ පවසයි: “කාන්තාවන් පහත් කොට සැලැකීම ඔහු ගේ සම්පූර්ණ ප්‍රතිරූපයට අත්‍යවශ්‍ය කරුණක්. බොහෝ පිරිමින් පමණක් නොව ගැහැණුන් පවා පිරිමියකු සිටිය යුත්තේ එසේ යැයි සිතනවා.” මේ පිළිබද ස්ත්‍රීවාදි දෘෂ්ටිකෝණයකින් බලන කල, එය ඇතැමෙකු විසකුරු පිරිමිකම (toxic masculinity) ලෙස හඳුන්වන සංකල්පය ම වග පැහැදිලි ය. රටකට, විශේෂයෙන් ම ලොව බලවත් ම රටකට මෙහි ඇති අනිටු ප්‍රතිඵලය නම් රාජ්‍ය නායකයා ම රටේ ජනගහණයෙන් අර්ධයකට ආසන්න කොටසක් ඉතිරි අර්ධයට වඩා පහත් යැයි සැලැකීම යි.

පුරුෂත්වයේ ඩොන්ල්ඩ් ට්‍රම්ප් ගේ අර්ථකතනය ඡන්ද දායකයන් විශාල ප්‍රමාණයක් ඇද බැඳ තබා ගන්නා අතර, එය ඔහුට කලකට ඉහත සහයෝගය දැක් වූ සුදු ජාතික කාන්තාවන් ගේ අකැමැත්තට ද හේතු වී තිබේ. නිව් යෝක් ටයිම්ස් සහ සියෙනා සරසවිය විසින් පවත්වන ලද ජාතික සමීක්ෂණවලට අනුව මෙවර එක්සත් ජනපද ජනාධිපතිවරණයේ විශාල ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වෙනසක් තිබේ; කාන්තාවන් විශාල අගයකින් බයිඩන්ට සහය පළ කරන අතර, එතුළ සුදු ජාතික කාන්තාවන් අඩකටත් වඩා ප්‍රමාණයක් වෙති. විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ඇති පුරුෂයන් ගේ සහය ද බයිඩන්ට ලැබෙන වග පෙනෙන්නට තිබේ.

ඉහත කියූ සමීක්ෂණයට අනුව, විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා නොමැති පුරුෂයන් 67%ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය පළ කරති. එසේ ම, කුඩා නමුත් වැදගත් විය හැකි කළු ජාතික සහ ලතින් ඇමරිකානු පිරිමින් කොට්ටාසයක් ඩිමොක්‍රටික පක්ෂයෙන් ට්‍රම්ප් වෙත ඔවුන් ගේ සහය වෙනස් කොට ඇත. ජනාධිපති ට්‍රම්ප් ගේ දැඩි ප්‍රතිරූපය මීට හේතුවක් විය හැකි යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ (The Newyork Times)

දේශපාලන විද්‍යාඥවරියක වන මොනිකා මැක්ඩර්මොට් ගේ පර්‍යේෂණවලට අනුව සම්ප්‍රදායිකව ද ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ ද්විත්වය ඒවා සාම්ප්‍රදායික ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් දක්වන ආකල්ප විෂයයෙහි වෙනස් ආකාර දෙකක් ගනියි. මේ අනුව ඩිමොක්‍රටික පක්ෂය වඩාත් “ස්ත්‍රීභාවයෙන් යුතු” පක්ෂය බව ද එය ඔවුන් ගේ ප්‍රතිපත්තිවලින් තවදුරටත් විද්‍යමාන වන බව ද ඈ කියා සිටියි. මේ අනුව ඔවුන් වැඩි වශයෙන් බදු පනවන්නට කැමැති ඔවුන් රැක බලාගන්නට කැමැති නිසා යි!

මෙලෙස බලන කල, ට්‍රම්ප් ගේ සහ බයිඩන් ගේ පිරිමිකම් ඔවුන් ගේ ප්‍රතිපත්තිවල ද දෘෂ්‍යමාන වන වග කිව හැකි ය. “කොරෝනා වෛරසයට ඔබේ ජීවිතය පාලනය කරන්නට දෙන්න එපා” යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ‘ශක්තිය’ සංකල්පීය වශයෙන් ඉස්මතු කරමින් කියයි.

එය එසේ වන අතර ජෝ බයිඩන් රැකබලා ගැනීමේ සංකල්පය තම ආර්ථික යෝජනාවල අන්තර්ගත කොට ඇත්තේ තුරුණු වියේ ළමුන්ට, වැඩිමහලු තැනැත්තන්ට සහ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට සහය පළ කිරීමේ ඇ. ඩො. බිලියන 775ක සැලැස්මක් ඉදිරිපත් කරමිනි. ට්‍රම්ප් කොරෝනා වෛරසය ‘චීන වෛරසයක්’ ලෙස හංවඩු ගසන අවස්ථාවක බයිඩන් කොරෝනා වෛරසය හේතුවෙන් විපතට පත් පවුල්වලට තම සංවේගය ප්‍රකාශ කර සිටියි. තවදුරටත් සංහිඳියාව පවත්වාගැනීමට සහ බලය බෙදා ගැනීමට ඔහු සපථ කරන්නේ උප ජනාධිපති ධූරයට කාන්තාවක් – කමලා හැරිස් යෝජනා කරමිනි.

කෙසේ නමුත්, සිහියේ තබා ගත යුතු දෙයක් නම් ට්‍රම්ප් -බයිඩන් දෙපාර්ශවය ම හැත්තෑ විය ද ඉක්මවූ සුදු ජාතික- එනම් ඇමරිකාවේ බහුතරය නියෝජනය කරන පිරිමින් බව යි. එක්සත් ජනපදයට මෙන් ම ශ්‍රී ලාංකික සමාජයට ද අදාළ වන මෙම නියැදිය වෙනස් කිරීමට නම් ජන සමාජය තුළ ස්ත්‍රීවාදී ආකල්පමය වෙනසක් ම අවශ්‍ය වනු ඇත. නමුත් ‘ස්ත්‍රීවාදී‘ යන වචනය ඇසුණු විට ද කුපිත වන සහ අපහසුතාවයන්ට පත් වන සමාජයන් තුළ මෙය ලෙහෙසි නොවනු ඇත.

Newyork Times පුවත් සේවාවේ පළ වූ
What Makes a Man Manly? Trump and Biden Offer Competing Answers ලිපිය ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි