×

පිහි ඇනුම් ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය – සත්ව සුබ සාධනය සහ මහජන සේවය සඳහා කැප වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයා: ශ්‍රීමත් ඩේවිඩ් ආමස්

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු සාමාජිකයෙකු ලෙස කටයුතු කළ ශ්‍රීමත් ඩේවිඩ් ආමස් පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්ව ඊයේ රාත්‍රියේ ඝාතනයට ලක් විය.


ොපොලිසිය මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ද මෙම රැස්වීමට සහභාගි වූ අයෙකු බව සඳහන් ය. සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ඝාතකයා අවස්ථා ගණනාවක් ඔහුට පිහි ප්‍රහාර එල්ල කළ බවයි. එම අවස්ථාවේදීම හදිසි ගිලන් රථ සේවා අපරාධය සිදුවූ ස්ථානය වෙත කැඳවා ඇති නමුත්, ශ්‍රීමත් ඩේවිඩ් ආමස්ගේ දිවි බේරාගත නොහැකි විය.

69 හැවිරිදි ශ්‍රීමත් ඩේවිඩ් ආමස්, අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයෙකි. ඝාතනය පිළිබඳ පුවත පළ වූ වහා, බටහිර ලන්ඩනයේ සිටි බොරිස් ජොන්සන් වහාම සිය සියලු කටයුතු නවතා දමා කම්පනයෙන් සහ කණගාටුවෙන් යුතුව ආපසු පැමිණ තිබේ.

බ්‍රිතාන්‍ය දේශපාලකයන් මෙම ඝාතනය, බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හඳුන්වති. ගතවූ පස් වසර තුළ මෙවැනි ප්‍රහාරයකට ලක් වූ දෙවැනි බ්‍රිතාන්‍ය දේශපාලනඥයා ඔහු ය. 2010 වසරේදී ලේබර් පක්ෂ මන්ත්‍රී ස්ටීවන් ටිම්ස් ද මෙවැනිම පිහි ඇනුම් ප්‍රහාරයකට ලක් වූ අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකි විය. මේ අතර, 2016 වසරේදී ලේබර් පක්ෂයේ ජේ කොක්ස් තරුණ මන්ත්‍රීවරිය බ්‍රෙක්සිට් ජනමත විචාරණයට ඔන්න මෙන්න කියා තිබියදී වෙඩි තබා ඝාතනය කෙරිණි.

මේ සිදුවීමත් සමග, සිය ඡන්ද බල කොට්ඨාසයන් තුළදී දේශපාලකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද බරපතළ සංවාදයක් මතු වෙමින් ඇත.

හුදු දේශපාලකයෙක් නොවූ මිනිසෙක්

සිය ඡන්දදායකයන් හමුවීමට නැගෙනහිර ලන්ඩනයට ගොස් සිටින අවස්ථාවේදී මෙය සිදුව තිබේ. බ්‍රිතාන්‍යයේ වැඩිම කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වූ ශ්‍රීමත් ඩේවිඩ් ආමස්, සිය ඡන්ද දායකයන් අතරට නොපැකිළව ගිය චරිතයෙකි. සෑම මසකම 1 වැනි සහ 3 වැනි සිකුරාදා දිනයේ ඔහු සිය ඡන්ද දායකයන් සමග රැස්වීම් යොදාගෙන තිබිණි. ඒ අර්ථයෙන් ඔහු, පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමෙන් පසුව ඊළඟ ඡන්දය තෙක් ආසනයේ හුළං නොවැදෙන ශ්‍රී ලංකාවේ දේශපාලකයන්ට වඩා බෙහෙවින් වෙනස් චරිතයකි.

1983 වසෙර්දී බැසිල්ඩන් නගරය නියෝජනය කරමින් මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රීමත් ඩේවිඩ් ආමස් 2015 දී බ්‍රිතාන්‍ය මහරැජින අතින් නයිට් පදවියෙන් පුද ලබන්නේ ඔහුගේ මහජන සේවය අගයමිනි.  ශ්‍රීමත් ආමස් ලන්ඩනයට ආවේ ගියේ දුම්රියෙනි. බ්‍රිතාන්‍යයේ බොහෝ දුම්රිය මගීන් හෝ පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කරන ප්‍රභූන් මෙන් පොතක් හෝ පත්තරයක් දිගහැරගෙන වටපිට නොබලා යන්නෙකු නොව,  එම ගමන්වලදී නිතරම ජනතාව සමග සංවාදයේ යෙදෙමින් ගමන් කළ අයෙක් ලෙස ඔහු ප්‍රකට ය. පාර්ලිමේන්තුවේදී සක්‍රිය ලෙස විවාදවලට සම්බන්ධ වූ මෙම ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයා එහිදී සිය මැතිවරණ බල ප්‍රදේශය වූ එසෙක්ස් හි ප්‍රශ්න ජාතික තලයට යොමු කළේය.

මිනිසුන්ට පමණක් නොව සතුන්ට ද ආදරය කළ මිනිසෙක්

ශ්‍රීමත් ඩේවිඩ් ආමස්ගේ වෙබ් අඩවියේ ඔහුගේ ප්‍රමුඛතාවන් ලෙස සඳහන් වන්නේ ‘සත්ව සුබසාධනය සහ ජීවිත ගැටළු ය. ඔහු දරුවන් පස් දෙනෙකුගේ පියෙකු විය. අවසාන වශයෙන් පසුගිය මාසයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෙවත් ‘හවුස් ඔෆ් කොමන්ස්‘ හිදී ඔහුගේ හඬ අවදි වූයේ සත්ව සුබ සාධනය පිළිබඳ විවාදයක් ඉල්ලා සිටීම සඳහා ය.

 

ශ්‍රීමත් ඩේවිඩ් ආමස් ඝාතනයට ලක් වූ බෙල්ෆෙයාර් මෙතෝදිස්ත පල්ලියේ නිල පුවරුවක මෙවන් වැකියක් සඳහන් ය.

‘‘සියලු දෙනාම සාදරයෙන් පිළිගනු ලැබේ. මෙය පැරණි මිතුරන් මුණ ගැසෙන සහ ආගන්තුකයන්ට නිවස මෙන් දැනෙන ස්ථානයකි.‘‘

කෙසේ නමුත් ආගන්තුකයෙකුගේ පෙර සැලසුම් කළ ම්ලේච්ඡ පිහි ප්‍රහාරයකට ලක් වූ ශ්‍රීමත් ඩේවිඩ් ආමස්, අවසානයේ එම දෙව්මැදුරු බිම මත ලේ විලක් මැද දෙනෙත් පියා ගත්තේය.

මෙය ‘ත්‍රස්තවාදී සිදුවීමක්‘ බව බ්‍රිතාන්‍ය පොලිසිය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. සැකකරු ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ අයෙකු බව ඔවුන්ගේ මතයයි. ආගම් විසින් ආගන්තුකයෙකුව පවා පවුලේ අයෙකු ලෙස පිළිගන්නා ලෙස කියා ඇති නමුත්, අන්තවාදය ඉස්මතු වන විට පවුලේ අය පවා ත්‍රස්තවාදීන් වීම මේ ලෝකයට අලුත් දෙයක් නොවේ. අතීතයේ ත්‍රස්ත ප්‍රහාර ගණනාවකින්ම බැට කා සිටින මහා බ්‍රිතාන්‍යය මේ වන විට දෙදරුම් කා තිබෙන්නේ, අන්තවාදය විසින් රටේ උත්තරීතර ආයතනයේ නියෝජිතයන් ද දඩයම් කිරීමේ ප්‍රවණතාවක් මතු ව ඇති නිසා ය.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි