×

පුටින් අභ්‍යවකාශයට යැවූ රුසියානුවන් තිදෙනා පාට මාරු කරයි – යුක්රේනයට සහාය දැක්වීමක්දැයි සැකයක්

රුසියාව විසින් අභ්‍යවකාශයට යැවූ ගගනගාමීන් තිදෙනෙකු අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වාර්තා කර තිබෙනවා.


ඔවුන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වාර්තා කිරීමෙන් පසුව නිකුත් කර ඇති දර්ශන පිළිබඳව මේ වනවිට ලොවපුරා දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.

රුසියානු ගගනගාමීන් සඳහා වන සම්මත නිළ ඇඳුම සරල නිල් පැහැයෙන් යුක්ත වන අතර ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශගත වීමට පෙර ඔවුන් සැරසී සිටියේද නිල් පැහැති වර්ණයෙනි. කෙසේ නමුත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වාර්තා කරන විට ඔවුන් කහ පැහැති වර්ණයෙන් සැරසී සිටියේය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව ලොවපුරා බොහෝ රටවල්, ජාත්‍යන්තර සංවිධාන රුසියානු ආක්‍රමණයට එරෙහිවෙමින් යුක්රේනයට සහාය පළකළ අතර යුක්රේනයට සහාය දැක්වීම සංකේතවත් කිරීම සඳහා යුක්රේන ධජයේ වර්ණ භාවිතා කරයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය රුසියානු ගගනාගාමීන් තිදෙනාද කහ පැහැති වර්ණයෙන් සැරසී සිටියේ යුක්රේනයට සහාය පළ කිරීම සඳහාද යන්න මේ වනවිට කතාබහට ලක්ව තිබෙනවා.

කෙසේ නමුත් රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, ගගනගාමීන් යුක්රේනයට සහයෝගය දක්වන බව ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම ආයතනය පවසන්නේ ගගනගාමීන් තිදෙනාම මොස්කව් Bauman කාර්මික විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන බැවින් ඔවුන් එම විශ්වවිද්‍යාලයේ ලාංඡනයේ වර්ණවලින් සැරසී සිටි බවයි.

මේ සම්බන්ධයෙන් ගගනගාමීන් පවසා තිබෙන්නේ තමන් භාවිතා කරන ඇඳුම්වල වර්ණය තෝරා ගැනීම ගගනගාමීන්ගේ අයිතියක් බවයි.

අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ලඟා වූ ඩෙනිස් මැට්වීව්, ඔලෙග් ආර්ටෙමියෙව්, සර්ජි කෝර්සකොව් යන ගගනගාමීන් තිදෙනා ඉදිරි මාස 06 ක පමණ කාලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කරනු ඇත.

රුසියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක එකතුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ. එහි වැඩි බරක් දරන්නේ අභ්‍යවකාශ මෙහෙයුම්වල බලවතුන් දෙදෙනා වන ඇමරිකාව හා රුසියාවයි.

යුක්රේන අර්බුදය හේතුවෙන් දෙරට අතර සබඳතා බිඳවැටී තිබෙන නමුත්, අභ්‍යවකාශ ගවේෂණ කටයුතු සඳහා ඉන් කිසිදු බාධාවක් සිදුව නොමැත.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි